Monday, November 17, 2025
Epaper
Home විශේෂාංගපරෙස්සමෙන් සැලකිල්ලෙන්

පරෙස්සමෙන් සැලකිල්ලෙන්

by Shanaka Lakehouse

ආදරණීය දුවේ පුතේ,

දිය නෑම යනු මිනිස් ජීවිතය පුරා විඳිය යුතු ප්‍රබෝධජනක සතුටකි. එහෙත් අපගේ නොසැලකිලිමත්කම සහ අවදානම් සහිත තීරණ හේතුවෙන් එම සතුට ක්ෂණිකව මාරාන්තික ඛේදවාචක බවට පෙරළෙන්නේ අප සමාජයට ඉතිරි කරන්නේ සදාකාලික කම්පනයකි. ශ්‍රී ලංකා පොලිස් වාර්තා සහ මාධ්‍ය ආයතන මඟින් ලබා දෙන දත්ත අනුව ශ්‍රී ලංකාවේ වසරකට 800කට අධික සංඛ්‍යාවක් දියේ ගිලීමෙන් මිය යන බවට වාර්තා වේ. පසුගියදා හලාවත දැදුරු ඔයේ දී විනෝදයට ගිය තරුණයින් සිවු දෙනකුගේ ජීවිත අහිමි වීම වැනි ඛේදවාචක අපට කියා පාන්නේ අනාරක්ෂිත ජලාශ සහ ගංගා ආශ්‍රිතව අප කොතරම් අවදානම් සහිත තත්ත්වයක සිටින්නේ ද යන්නයි.

විශේෂයෙන්ම මේ දිනවල පාසල් නිවාඩු කාලයයි. බොහෝ දරුවන් සහ තරුණයින් විනෝදය සොයා ස්වාභාවික ජලාශ හා මුහුදු වෙරළ වෙත ඇදී යති. එවන් මොහොතක මවුපියන් හෝ භාරකරුවන් දරුවන්ගේ ආරක්ෂාව ගැන දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍යම වේ. නුපුරුදු ජලාශ, ගංගා හෝ අවදානම් මුහුදු වෙරළ වෙත යාමෙන් ඔවුන් මුළුමනින්ම වළක්වා ගැනීමට මවුපියන් වගබලා ගත යුතුය. නිවාඩු සමයේදී මවුපියන් විසින් දරුවන් පිළිබඳව දක්වන අධීක්ෂණය සහ ඔවුන්ගේ චාරිකා සැලසුම් කිරීමේදී මැදිහත් වීම කාලීන අවශ්‍යතාවයකි.

නොදන්නා ස්ථානවල ඇති අවදානම ඉතා වැඩිය. බොහෝ අය තමන්ගේ පිහිනුම් හැකියාව ගැන අසාධාරණ ලෙස අධිතක්සේරු කරති. එහෙත් නුපුරුදු දිය කඳක ඇති සැබෑ ස්වභාවය කිසිවිටෙකත් නිවැරදිව නොදනී. ගංගා සහ දිය ඇලිවල එක්වරම ගැඹුරු වන සැඟවුණු දියවළවල් තිබිය හැකිය. මුහුදේදී තත්ත්වය වඩාත් අවදානම්සහගත වන්නේ ක්ෂණිකව ඇතිවන සැඩ රළ පහර හේතුවෙනි. මුහුදේ පිටතට ගලා යන මෙම දියවැල් අතිශයින් භයානක වන අතර දක්ෂ පිහිනුම්කරුවකුට වුවද ගොඩට ඒමට අපහසු වේ. එමෙන්ම ගංගා හා මුහුදු පතුලේ ඇති ගල් හෝ මඩ වළවල්, මෙන්ම සත්ත්ව අනතුරු ද මාරාන්තික විය හැකිය. එබැවින් නොදන්නා හෝ අනතුරුදායක බවට සලකුණු කර ඇති ස්ථානවල දිය නෑමෙන් මුළුමනින්ම වැළකී සිටීම නුවණට හුරුය.

මත්පැන් හෝ මත්ද්‍රව්‍ය පානය කර දිය නෑමට යාම ඉතා භයානකය. මන්දයත්, මත් වූ විට විනිශ්චය කිරීමේ සහ නිවැරදි තීරණ ගැනීමේ හැකියාව බිඳ වැටේ. තහනම් සීමා හෝ අනතුරු ඇඟවීමේ පුවරු නොසලකා හැරීමෙන් වළකින්න. දිය නෑමට පෙර තමන්ගේ හැකියාව සහ සීමාවන් ගැන සිතන්න. අන් අයගේ අභියෝගවලට මුහුණ දීමට හෝ වික්‍රමාන්විතයන්ට ගොස් අවදානම් තීරණ ගැනීමෙන් වළකින්න. මේ නිවාඩු කාලයේ විනෝද ගමන්.. නෑදෑ හිතවතුන් බැලීමට යෑමේදි වෙන කවරදාටත් වඩා ඉතාම සැලකිල්ලෙන් දරුවන් ගැන සොයා බලා ඇස් මානයේම තබාගැනීමට මවුපියන් වන ඔබ අමතක කරන්න එපා.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?