වෛද්‍ය විද්‍යාව යනු නිරන්තරයෙන් පරිණාමය වන මිනිස් ජීවිත රැකගැනීමටත්, එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් කැප වූ ක්ෂේත්‍රයකි. පිළිකා සඳහා වූ එන්නත් වැනි සොයා ගැනීම් මඟින් වෛද්‍ය විද්‍යාවේ දියුණුව කොතරම් වේගවත් විප්ලවකාරී ද යන්න ලෝකයට පෙන්වා දුන්නේය. එවැනි ගෝලීය සෞඛ්‍ය නවෝත්පාදන රැල්ලක් මධ්‍යයේ අපගේ ආඩම්බරයට හේතු වන සොයා ගැනීමක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වේ.
වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකය පුරා බිලියනයක අධික පිරිසක් පීඩා විඳින රෝගයක් නම් අධි රුධිර පීඩනයයි. අපේ රටේ වැඩිහිටි ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් අධික රුධිර පීඩනයෙන් පෙළෙන බවට වාර්තා වන අතර, රජයේ නොමිලේ ලබා දෙන ඖෂධ ඇතුළු ප්‍රතිකාර ක්‍රම රාශියක් පැවතිය ද නිසියාකාර රුධිර පීඩන පාලනයක් පවත්වාගෙන යන්නේ රෝගීන්ගෙන් කුඩා කොටසක් පමණි.
ඒ අනුව මෙම අභියෝගයට පිළිතුරක් සොයමින් අධි රුධිර පීඩනයෙන් පීඩා විඳින රෝගීන් සඳහා ත්‍රිත්ව පෙති මාලාව වෙනුවට ලොව ප්‍රථම වතාවට මෙම පෙති තුනේම ඖෂධ ගුණය කැටිකොට එක් පෙත්තක් නිපදවීමේ සාර්ථක අධ්‍යයනයක් ශ්‍රී ලංකාවේ සිදුකර තිබේ. කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික අත්හදා බැලීම් ඒකකය, විදේශ විශ්ව විද්‍යාල හා පර්යේෂණ ආයතන කිහිපයක් සමඟ එක්ව මෙම සාර්ථක අධ්‍යයනය සිදුකර තිබේ. ඒ පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මාධ්‍ය හමුවක් පැවැත්වූහ.
එම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික අත්හදා බැලීම් ඒකකයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය හා අධ්‍යක්ෂ අසිත ද සිල්වා මහතා, හෘද රෝග විශේෂඥ ගෝඨාභය රණසිංහ මහතා, ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බිම්සර සේනානායක මහතා, හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී ගලප්පත්ති මහතා, ස්නායු රෝග පිළිබඳ විශේෂඥ උදය රණවක මහතා සහභාගි වූහ.
එහිදී පරීක්‍ෂණ කණ්ඩායම් ප්‍රධානී කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික අත්හදා බැලීම් ඒකකයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය හා අධ්‍යක්ෂ අසිත ද සිල්වා මහතා පැවසූ පරිදි මෙම පරීක්ෂණ කටයුතු අවුරුදු දහයක් තුළ සිදුකර ලබාගත් අග්‍රඵලයකි. මෙම පරීක්ෂණය ලංකාවේ සිටින හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු, රෝහල් ගණනාවක් මුල් කරගෙන සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල හා පරීක්‍ෂණ ආයතන සමඟ එක්ව සිදුකර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය ගණනය කරමින් ඇස්තමේන්තු කර ඇති පරිදි ලෝකයේ මරණයට වැඩිපුරම හේතු වන්නේ අධික රුධිර පීඩනයයි. අවුරුද්දකට මිලියන දහයක් පහළොවක් අතර ප්‍රතිශතයක් ලෙස සියලු මරණවලින් 15%ක් සිදුවන්නේ අධි රුධිර පීඩනය නිසායි. ලෝකයේ ජනගහනයෙන් 33%කට අධික රුධිර පීඩනය පවතින අතර ශ්‍රී ලංකාව තුළ 37%කට පමණ අධි රුධිර පීඩනය පවතී. සුවකිරීමට බෙහෙතක් නොමැති අතර නමුත් පාලනය කිරීමට හැකියාව ඇත. පාලනය කිරීමෙන් හෘද රෝග, ආඝාතය, වකුගඩු ආදී රෝග අවම කර ගත හැකිය. මෙහිදී ඖෂධ තුනක් එක් කොට එම මාත්‍රාවට සරිලන පරිදි එක ඖෂධයක් ලෙස නිෂ්පාදන කර ඇත. දිනකට එක් පෙත්තක් පමණක් ප්‍රමාණවත් වන බැවින් මෙය රෝගීන්ට පහසුවකි. මෙම ක්‍රමවේදය තුළින් අධි රුධිර පීඩනය 88%කට පාලනය කර ගැනීමට හැකියාව ලැබෙයි. ඒ වගේම මෙම ඖෂධයේ මිල සම්බන්ධව ද මේ වන විට පරීක්ෂණයක් සිදු කරමින් පවතී. බෙහෙත් වර්ග තුනම එක්කොට ගත් මුදල 100යි නම් ඊට වඩා 30% කින් පමණවත් අඩු විය යුතු යන මතයේ සිටින බව මහාචාර්ය අසිත ද සිල්වා මහතා පැවසුවේ ය.
මෙම ඖෂධයේ පවතින විශේෂත්වය නම් ප්‍රධාන වශයෙන් රුධිර පීඩනය පාලනය කරන විට එමඟින් හෘද රෝග, ආඝාත, වකුගඩු ආදී රෝග අවම කිරීමට හැකි වීමයි.
අධි රුධිර පීඩනය පාලනය කිරීම මඟින් හෘද රෝග අවම කිරීම පිළිබඳව අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතාට අනුව ලංකාවේ අවුරුදු 30 සහ 80 අතර පිරිසගේ 35%කට අධි රුධිර පීඩනය පවතී. මේ අලුත් ඖෂධය මඟින් ඉතාම ඉක්මනින් අධි රුධිර පීඩනය පාලනය වීම පමණක් නොව පරීක්ෂණවලින් හෙළි වී ඇති ආකාරයට ඖෂධය දවස පුරාම පවතී. එය හෘදයාබාධ වළක්වා ගැනීමට ඉතාම වැදගත් වේ. මෙම ඖෂධය මඟින් නිවැරදිව අධි රුධිර පීඩනය පාලනය කරනවා නම් හෘදයාබාධවල 20%ක වගේ අඩුවීමක් සිදුවේ.
අධි රුධිර පීඩනය පාලනය කිරීම මඟින් ආඝාත තත්ත්වයන් අවම කර ගැනීමට මෙම ඖෂධයට හැකියාව පවතී. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය බිම්සර සේනානායක මහතා පැවසූ පරිදි අංශභාගය ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත කරන එම රෝගය බහුලව වැලඳෙන රෝගයකි. සාමාන්‍යයෙන් 80%ක් පමණ අයට මෙය සෑදෙනුයේ රුධිරවාහිනිය අවහිර වීම නිසා ලේ කැටියකින් සහ රුධිරවාහිනියක් පිපිරී යෑමෙන් ලේ ගැලීමකිනි. මෙහිදී සමීක්ෂණය මඟින් සොයාගෙන ඇත්තේ මෙම ඖෂධයෙන් අධි රුධිර පීඩනය පාලනය කරමින් සහ එමඟින් මේ තත්ත්වය ඇතිවීම හැකිතාක් දුරට අඩු කිරීමට හැකිද යන්නයි. පරීක්ෂණයෙන් පසු පෙනී ගොස් ඇත්තේ නොසිතූ තරම් විශාල සාර්ථකත්වයක් පවතින බවයි. එනම් අංශභාගය නැවත ඇති වීම 60%කින් වළක්වා ගැනීමට මෙම ඖෂධයට හැකියාව ලැබෙන බවයි.
ඒ අනුව ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට මෙම සොයා ගැනීම මහත් වූ ගෞරවයකි.ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අනුමැතිය හිමිවී ඇති මෙම ඖෂධය නුදුරේම ලංකාවේ රෝගීන්ට භාවිත කිරීමට සැලසෙනු ඇත. එමඟින් අනාගතයේදී අධි රුධිර පීඩනය පාලනය කරමින් එමඟින් සෑදෙන නොයෙක් රෝග වර්ග ද අවම කරමින් මිය යන මරණ සංඛ්‍යාව අඩු කිරීමට මෙම සොයා ගැනීම මඟින් පිටිවහලක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
TEXT චතූ වීරසිංහ
