Monday, November 17, 2025
Epaper
Home ස්වයං රැකියාඅභියෝග හමුවේ ඇති ලාක්ෂා කර්මාන්තයට නව පණක් ලබාදීම අපේ අරමුණයි

අභියෝග හමුවේ ඇති ලාක්ෂා කර්මාන්තයට නව පණක් ලබාදීම අපේ අරමුණයි

- ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති සිසිර අමරබන්දු

by Sachintha Lakehouse

ලාංකේය ලාක්ෂා අභිමානය ජාත්‍යන්තරයට රැගෙන යන ප්‍රදර්ශනය “ලංකාර – 2025 ” නොවැ. 21,22,23 මහනුවර KCC හිදී

ශ්‍රී ලාංකේය කලා ශිල්ප අතර සුවිශේෂී ස්ථානයක් හිමි කර ගන්නා ලාක්ෂා කර්මාන්තය වසර දහස් ගණනක අභිමානවත් උරුමයකට හිමිකම් කියයි. එය ශ්‍රී ලාංකේය සියුම් කලාවක අතීත උරුමය පැවැත්ම තහවුරු කරන කර්මාන්තයකි. අලංකරණයටත්, ආරක්ෂාවටත්, විසිතුරු භාණ්ඩ මත වෛවර්ණ ද්‍රව්‍යයන් ආලේප කර වියළා ගැනිම ශිල්පීය තාක්ෂණයයි. දළදා මාලිගාවට සහ විහාරස්ථානවලට අවශ්‍ය සේසත්, ධජ පතාක, රිටි සහ පූජා භාණ්ඩ ඇතුළු දැව භාණ්ඩ ලාක්ෂා සැරසිල්ලෙන් හැඩ වූ යුගයක් අපට තිබිණි.

මාතලේ ‘හපුවිද‘ ගම්මාන පවා පැවතියේ මෙම කර්මාන්තය මුල්කරගෙන ය. ශ්‍රී ලංකාවේ ලාක්ෂා කර්මාන්තය ලොව අන් රටවලට වඩා සුවිශේෂී වූයේ ස්වාභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිත කිරීම නිසාය. නමුත් අද වන විට මෙම කර්මාන්තයේ නියැළෙන්නේ ශිල්පීන් තිහක් පමණ වූ අතළොස්සකි. මෙම ඓතිහාසික කර්මාන්තය රැක ගැනීමට ජාතික මෝස්තර මධ්‍යස්ථානය ගෙන යන නව්‍යකරණ වැඩසටහන කාලීනව ඉතාමත්ම වැදගත් සාර්ථක ඉදිරි පියවරකි. එම සාර්ථක වූ වැඩසටහනේ නියමුවා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති සිසිර අමරබන්දු මහතාය. මෝස්තර නිර්මාණ ශිල්පියකු ලෙසත්, ජනාධිපති කාර්ය සාධක බළකායේ Clean Sri Lanka වැඩසටහනේ සාමාජිකයෙකු ලෙසත් දැවැන්ත මෙහෙවරක් ඉටුකරන ඔහු ලාක්ෂා කර්මාන්තය රැක ගැනීම වෙනුවෙන් තව දින කිහිපයකින් මහනුවරදී පවත්වන “ලංකාර – 2025 ” දැවැන්ත ප්‍රදර්ශනය සමඟ නව්‍යතාවයේ කටයුත්තක් සමඟ ඔබ හමුවට පැමිණේවි.

ලාක්ෂා කර්මාන්තය අපේ රටේ සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රය විශාල ලෙස පෝෂණය කළ ඉතා සාර්ථක නිර්මාණශීලී ව්‍යාපාරයක්. මේ කර්මාන්තය මේ වන විට මුහුණපා තිබෙන අභියෝග මොනවාද?

ඇත්ත වශයෙන්ම ලාක්ෂා කර්මාන්තය කියන්නේ අපේ රටේ අතීත උරුමය තහවුරු කළ සාර්ථක කර්මාන්තයක්. වරක් සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව විශාල මුදල් ඉපයීමකට හැකි වූ මෙම කර්මාන්තය මෑත කාලීනව යම් පසුබෑමක් දකින්නට ලැබෙනවා. මේ කර්මාන්තය බිඳවැටීමට ප්‍රධාන හේතු කිහිපයක් බලපෑවා. පසුගිය කාල වකවානුවේ සංචාරක ක්ෂේත්‍රය බිඳවැටීම එක් ප්‍රධාන හේතුවක්. ඊටත් වඩා වැදගත් ගැටලුව වන්නේ අමුද්‍රව්‍ය සොයා ගැනීමේ දුෂ්කරතාවයි. මෙම සාම්ප්‍රදායික කර්මාන්තය සඳහා යොදා ගන්නා මහෝගනී සහ මාර වැනි දැව වර්ග සොයා ගැනීමත් ලාක්ෂා කෘමියාගෙන් ලබාගන්නා ලාක්ෂා සොයා ගැනීමත් ශිල්පීන්ට විශාල ගැටලුවක් බවට පත්වී තිබෙනවා. එසේම, බුරුමය, තායිලන්තය, චීනය සහ ඉන්දියාව වැනි රටවල නවීන උපකරණ යොදා ගනිමින් ලාක්ෂා කර්මාන්තය සිදු කිරීම නිසා අපට විශාල අභියෝගයක් එල්ල වී තිබීම ද තවත් හේතුවක්.

මෙම අභියෝග හමුවේ ජාතික මෝස්තර මධ්‍යස්ථානය විසින් සාම්ප්‍රදායික ලාක්ෂා කර්මාන්තය නැවත නඟා සිටුවීමට ගත් පියවර මොනවාද ?

මෙම සාම්ප්‍රදායික ලාක්ෂා කර්මාන්තය ජාත්‍යන්තරයට රැගෙන යාමේ අපේක්ෂාවෙන් දැවැන්ත ප්‍රදර්ශනයක් මහනුවර නගරයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එම ප්‍රදර්ශනය පැවැත්වීමෙන් අපේක්ෂා කරන්නේ අපේ දේශීය සංචාරක ව්‍යාපාරය තුළින් මෙම ලක්ෂා කර්මාන්තය ජාත්‍යන්තර තලයට රැගෙන යමින් එම ශිල්පීන් රැක ගනිමින් ඔවුන්ට වෙළඳපොළක් නිර්මාණය කර දීමයි.

ඇත්ත වශයෙන්ම අභියෝග හමුවේ මෙම කර්මාන්තය රැක ගැනීම සඳහා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව අපි අඛණ්ඩ පර්යේෂණ තුළින් නවෝත්පාදන කිහිපයක් හඳුන්වා දුන්නා. සියවස් ගණනාවක් තිස්සේ වර්ණ හතරකට සීමා වී තිබූ සාම්ප්‍රදායික නිර්මාණයට මෙටැලික් වර්ණ ද ඇතුළුව වර්ණ පනහකින් යුත් නව වර්ණ සමුදායක් හඳුන්වා දුන්නා. ඊටත් වඩා වැදගත් වන්නේ සාම්ප්‍රදායික තැවරීමේ ක්‍රම යන්ට වෙනස්, පින්සල් භාවිතයෙන් පින්තාරු කිරීමට හැකි වන සේ දියර ලාක්ෂා හඳුන්වා දීමයි. එසේම මෙතෙක් දෑතින් කළ ලාක්ෂා නිමැවුමට, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හැකි වන සේ නවීන යන්ත්‍රයක් නිෂ්පාදනය කර හඳුන්වා දීමට ද අපි පියවර ගත්තා.

තාක්ෂණය සහ නව වර්ණ හඳුන්වා දීම හොඳ ආරම්භයක්. නමුත් අපට ආවේණික වූ සුවිශේෂී ලක්ෂණ මොනවාද?

අපේ අනන්‍යතාව පදනම් කරගත් සුවිශේෂී නිර්මාණ තාක්ෂණයක් අප සතුව තිබෙනවා. එනම් නියපොතු යොදා ගනිමින් කරන ඉතා සියුම් නිර්මාණ සඳහා ලෝකයේ ජාත්‍යන්තර වශයෙන් හොඳ ඉල්ලුමක් පවතිනවා. මෙම නියපොතු ආධාරයෙන් සිදු කරන කර්මාන්තය තුළින් ඉතා සියුම් ලෙස නිර්මාණ කිරීමේ හැකියාව පවතින අතර මෙම ශිල්පය යොදා ගනිමින් නිර්මාණ රාශියක් බිහිකිරීමේ වැඩපිළිවෙළක් අපි සකස් කරලා තියෙනවා.

මෙම කර්මාන්තය රැක ගැනීමට ඔබ ආයතනය විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සහ වෙළඳපොළ ප්‍රසාරණ සැලසුම් මොනවාද?

අපේ ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙස ‘ජාතික හැඩ වැඩ’ වැඩසටහන ආරම්භ කළා. එය සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අභිප්‍රායෙන් විශ්වවිද්‍යාලවලින් බිහිවන සෞන්දර්යවේදී දරුවන්ගේ හැකියාව ද යොදා ගනිමින් ආරම්භ කළ විශාල ව්‍යාපෘතියක්. මෙම වැඩසටහන මඟින් ලාක්ෂා කර්මාන්තයේ පවතින නවීනත්වය යොදා ගනිමින් අපි මෑතදී ලාක්ෂා ආභරණ යොදා ගනිමින් Fashion show එකක් පැවැත්වුවා. ඒ සඳහා සංචාරක ක්ෂේත්‍රයෙන් හොඳ ඉල්ලුමක් ලැබී තිබෙනවා. ඒ වගේම ලාක්ෂා කර්මාන්තය අපේ එදිනෙදා භාවිතයට යොදා ගන්නා ලී බඩුවලට යොදා ගැනීම තුළින් හොඳ වෙළඳපොළක් නිර්මාණය කර ගැනීමේ සැලැස්මක් ද අපි සකස් කර තිබෙනවා.

ලාක්ෂා කර්මාන්තයට අදාළ ශ්‍රී ලංකාවට ආවේණික හැඩතල සහ මෝස්තර සංරක්ෂණය කිරීමේ ඔබගේ වැඩපිළිවෙළ ඉතා වැදගත් අංගයක්. ඒ පිළිබඳ අපට විස්තර කළ හැකිද?

එයට හේතුව අපේ රටට අනන්‍ය වූ දේශීය හැඩතල හා මෝස්තර නිර්මාණ සංරක්ෂණය කර සංචිතයක් ලෙස ඩිජිටල්ගත කර නොතිබීම විශාල ගැටලුවක් වීමයි. මෙයට විසඳුමක් ලෙසින් අපේ සමීක්ෂණයක් පවත්වා ලාක්ෂා කර්මාන්තයට අදාළ ශ්‍රී ලංකාවට ආවේණික වූ හැඩතල හඳුනා ගනිමින් ඒවා සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කළා. විශේෂයෙන්ම මෙම සාම්ප්‍රදායික හැඩතල පිළිබඳව ප්‍රවීණත්වයක් උසුලන මහාචාර්යවරුන් සහ විදේශීය විද්වතුන්ගේ උපදෙස් මත එම සමීක්ෂණය සිදුකර ඒවා ඩිජිටල්ගත කිරීම තුළින් තරුණ පරම්පරාවට මෙම ආවේණික හැඩතල නිර්මාණ කටයුතු සඳහා යොදා ගැනීමට අවස්ථාව සලසා දීම අපේ අරමුණයි.

මෙම සියලු නවෝත්පාදන සහ සංරක්ෂණ වැඩසටහන්වල කූටප්‍රාප්තිය ලෙසයි “ලංකාර – Pride of Paradise 2025” ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ. නොවැම්බර් 21,22,23 යන දිනවල මහනුවර KCC හිදී මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කර තිබෙනවා.

අපේ ප්‍රධාන අරමුණු වන්නේ සාම්ප්‍රදායික ලාක්ෂා කර්මාන්තයේ සැබෑ ශිල්පීය හැකියාව සහ ඉතිහාසය නවීන නිර්මාණ සමඟ එක්ව ප්‍රදර්ශනය කිරීමයි. ඒ තුළින් දේශීය හා විදේශීය ගැනුම්කරුවන්, සංචාරක කර්මාන්තයේ නියැළෙන්නන් එකම වේදිකාවකට ගෙන ඒම තුළින්, ඉතිරි වී සිටින ශිල්පීන් 30 දෙනාට අඛණ්ඩ ආදායම් මාර්ග නිර්මාණය කර දීම අපේ ප්‍රමුඛතාවයි. එමෙන්ම නවීකරණය කරන ලද ලාක්ෂා නිර්මාණ ප්‍රදර්ශනය කිරීම තුළින් මෙය ආකර්ෂණීය, ලාභදායී වෘත්තියක් බව තරුණ පරම්පරාවට පෙන්වා දී ඔවුන් මෙම කර්මාන්තයට යොමු කරවීම ද අපේ ප්‍රබල අපේක්ෂාවක්.

ඔබගේ මෙම විස්තරාත්මක පැහැදිලි කිරීම ලාක්ෂා කර්මාන්තය රැක ගැනීමට ජාතික මෝස්තර මධ්‍යස්ථානය ගෙන යන දැවැන්ත මෙහෙයුම අවබෝධ කර ගැනීමට ඉතා වැදගත් වුණා. ලාක්ෂා කර්මාන්තයට නව පණක් ලබා දෙමින් එය ජාත්‍යන්තරයට ගෙන යන මෙම උත්සාහය සාර්ථක වේවායි තරුණී අපගේ ද ප්‍රාර්ථනයයි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?