Monday, November 17, 2025
Epaper
Home මනෝ උපදේශනසෝෂල් මීඩියා, බුලි කියන්නේ හිතනවාට වඩා දරුණු අපරාධයක්

සෝෂල් මීඩියා, බුලි කියන්නේ හිතනවාට වඩා දරුණු අපරාධයක්

by Shanaka Lakehouse

ලංකාවේ අපි දුප්පත් ආර්ථිකමය වශයෙන් විතරක් නෙමෙයි . ආකල්ප අතිනුත් අපි සෑහෙන්න දුප්පත්.

තවත් මනුස්සයෙක්ට හිනාවෙලා, තවත් මනුස්සයෙක්ට අපහාස කරලා තවත් මනුස්සයෙක්ට මානසික වද දීලා තෘප්තියක් ලබන්න කැමති වීම කියන්නේ අපි හිතනවාට වඩා අපි ආකල්ප අතින් හරිම දුප්පත්.

වර්තමානයේ තදින්ම ඔය තත්ත්වය දකින්න පුළුවන් අවකාශය තමයි සමාජ මාධ්‍ය කියන්නේ. සමාජ මාධ්‍යවලින් තරම් දරුණුවට මිනිස්සුන්ව බුලි කරන, මිනිස්සුන්ව ලැජ්ජා කරන, මිනිස්සුන්ට කතා හදන තැනක් වෙන නැති තරමටම මේ තත්ත්වය දරුණු වෙලා.

අකුරු ලියනවට ටැක්ස් ගහන්නේ නැති නිසා සහ රුපියල් පනහට සීයට ඩේටා කාඩ් ගන්න තියන නිසා, පට ගාලා ඉන්ටර්නෙට් එකෙන් සෝෂල් මීඩියාවලට ලොග් වෙන සමහර මිනිස්සු තමන්ගේ ති‍ෙයන පීඩාවන්, තරහවල්, ලෙඩවල්, ප්‍රශ්න මේ ඔක්කොගෙම පීඩනය අපි දන්නා හෝ නොදන්නා වෙනත් අහිංසක මනුස්සයෙක් පිටින් යවනවා. ඒ කාටහරි බැනලා, අපහාස කරලා, කමෙන්ට් කරලා පිටකරගන්න තරමටම මිනිස්සු පහත වැටිලා.

සමාජ මාධ්‍ය නිසා සිද්ධ වෙන අපරාධ දිනෙන් දින වැඩිවෙලා. සමාජ මාධ්‍යවල සිද්ධවෙන අපහාස නිසා සියදිවි හානිකර ගැනීම් පවා ඇති වෙන තත්ත්වයට ඇවිත්.

මනෝ උපදේශකවරුන්ට මේ සම්බන්ධ අත්දැකීම් බහුලයි. සමාජ මාධ්‍ය නිසා මිනිස්සු වේදනා විඳින විදිහ නිතරම හමුවෙනවා.

ඒ නිසා මේ ලිපිය කියවන හැමෝටම ඉතාම ආදරෙන් මේ ටික කියන්න කැමැතියි.

තමන්ට අකුරු ටයිප් කරන්න පුළුවන් වුණාට ලාභෙට ඉන්ටර්නෙට් ලැබුණුට අතට ස්මාර්ට් ෆෝන් එකක් ලැබුණ පළියට මිනිස්සුන්ගේ හිත් එක්ක සෙල්ලම් කරන්න එපා. ඔබ වැඩිය හිතන්නේ නැතුව ඔය ටයිප් කරන එක වචනයක් නිසා, එක කමෙන්ට් එකක් නිසා සමහරවිට මේ ලෝකේ කවුරුහරි මනුස්සයෙක් රැයක් නිදියන්නේ නැතිව දුකෙන් කල්පනා කර කර ඉන්නවා වෙන්න පුළුවන්. තවත් කෙනකුට ජීවිතේ එපා වෙලා තියෙන්න පුළුවන්.

ප්‍රසිද්ධ, අප්‍රසිද්ධ කාගෙ වුණත් අතිශය පෞද්ගලික කාරණා ඇදලා අරන් හිත් තුවාල කරන්න, පෝස්ට් ලියන්න, වීඩියෝ ශෙයා කරන්න, කතා හදන්න, කතා පතුරවන්න, ගිනි තියන්න කලින් තව පාරක් හිතන්න. ඒ හිත්වලට ඒ දේවල් කොහොම දැනෙනවා ඇත්ද කියලා නිකමට වගේ හිතලා බලන්න.

මිනිස්සුන්ගේ මොළය කියන්නෙත් අත, පය, කකුල වගේම තවත් එක අවයවයක්.

ආදරය අඩු වුණාම, වැඩිපුර දුක කලකිරීම දැනුණාම, දරාගන්න බැරි තරම් පීඩනයක් දැනුණම, බලාපොරොත්තු කඩ වුණාම, අරමුණක් නැති වුණාම, සමාජෙන් ප්‍රතික්ෂේප වුණාම, බොරු චෝදනාවලට වැරදිකාරයො වුණාම, වැඩිපුර වෙහෙස වෙලා කෙමිකල් බැලන්ස් වෙනස් වෙලා මොළයත් ලෙඩ වෙනවා. එතකොට ජීවිත ගේම් එක අතහරින්න කියලා මොළය සිතුවිලිවලින් හදවතට බල කරනවා. සමහරු යක්කු වගේ හැමදේම දරාගත්තට හැමෝටම එහෙම ඔරොත්තු දෙන්නෙ නැහැ.

දුක් වේදනා, අපහාස දරාගැනීමේ සීමාව ඉවර වුණාම සමහර මිනිස්සු උම්මත්තකයෝ වෙනවා. නැත්තම් ජීවිතේට තිත තියන්න තීරණය කරනවා. ඒ වගෙ වෙලාවට ඒ හිත් අසරණ වෙන හැටි දන්නවනම් ඔයාල හීනෙකින්වත්වත් කාගේවත් හිත් රිද්දන එකක් නැහැ. කාටවත් ජීවිත එපා කරවන එකක් නැහැ. ඒ හැඟීම පුදුම තරම් වේදනාබරයි.

අපි දන්න නොදන්න කාට හරි අපේ වචනෙකින්, අකුරකින්, බැල්මකින් කේලමකින්, කට කතාවකින් කාට හරිම මානසික පීඩනයක් ඇති වෙනවනම්, ඍණාත්මක බලපෑමක් වෙනවානම්, අපි හැමෝම මිනීමරුවො. ශරීර මරනවා වගේම මනස මරනවා කියන්නෙත් පාපයක්. මොකද විශාදය හැදිලා, මානසික ආතතිය දැනිලා විඳවමින් ජීවත් වෙනවා කියන්නෙ මරණයටත් වඩා වේදනාත්මක දරාගනීමක්.

අද නැතත් කවදාහරි දවසක ඒ වේදනාවල් දරාගන්නම බැරි වෙලා ඒ කෙනා සිය දිවි හානි කරගත්තොත් උසාවිවලින් වැරදිකාරයො නොවුණට වචනවලින් දායක වෙච්ච හැමෝම ඒ මරණවල මිනීමරුවො තමයි.

හිතට තට්ටු කරලා බලන්න. ඔයාගෙ කටිනුත් එහෙම මිනී මැරුම් වෙලා ති‍ෙයනවද කියලා. මොකද අතින් මැරුවත් කටින් මරණයට තල්ලු කෙරුවත් ඒ දෙගොල්ලොම මිනීමරුවෝ තමයි. ඒවා කවදාම හරි ගෙවන්න වෙන පව්.

ඔයා නොදන්නවා වුණාට සමාජ මාධ්‍ය කියන්නෙත් සමහර වෙලාවට මිනිස්සුන්ට ජීවිතේ එපා කරවන තැනක්.

ඒ නිසා ජීවිතයක් ගොඩදාන්න මිසක් ජීවිතයක් වළදාන්න දායක නොවෙන්න පරෙස්සම් වෙන එක මනුස්සයෙක් වෙලා ඉපදිච්ච අපි හැමෝගෙම වගකීමක්.

ඔයාගෙ ඔය කට කියන අවයවය ඇරෙන්නේ කාට හරි රිද්දන්න නම්, කැත කමෙන්ට් එකක් දාන්න නම්, කාවහරි ජජ් කරන්න නම්, කාටහරි නරකක් ප්‍රාර්ථනා කරන්න නම් කරුණාකරලා ඒ කට වහගෙනම ඉන්න. මොකද සෝෂල් මීඩියා බුලින් කියන්නේ ඔයා හිතනවට වඩා භයානක අපරාධයක්.

TEXT අචිනි ලක්මාලි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?