Monday, November 17, 2025
Epaper
Home Recipeස්වාභාවික පැණි රස සහ පෝෂණ ගු ණවල නිධානය

ස්වාභාවික පැණි රස සහ පෝෂණ ගු ණවල නිධානය

by Shanaka Lakehouse

රටඉඳි හෙවත් Dates යනු ෆීනික්ස් ඩැක්ටිලි ෆෙරා (Phoenix Dactylifera) නම් තාල වර්ගයේ ගසක ඵලයයි. වසර පන්දාහකට වඩා පැරණි ඉතිහාසයක් ඇති මෙය මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවේ කාන්තාර කලාපවල ප්‍රධාන ආහාරයක් ලෙස පැවත එයි. එහි ස්වාභාවික පැණි රසය නිසාම එය සොබාදහමේ කැන්ඩි ලෙස ද හැඳින්වේ.

ශ්‍රී ලංකාවේ අපිට රටඉඳි කියන්නේ බොහෝ විට පිටරටින් ආනයනය කරන පලතුරක් වුවත් එහි අඩංගු සුවිශේෂී පෝෂ්‍ය පදාර්ථ සහ සෞඛ්‍ය ප්‍රතිලාභ නිසා එය දිනපතා ආහාර වේලට එක් කර ගැනීම ඉතා වටිනා පුරුද්දකි. විශේෂයෙන්ම මුස්ලිම් සංස්කෘතිය තුළ උත්සව ආහාරයක් ලෙසත් නිරාහාරව සිටීමෙන් පසු ශක්තිය ලබාදෙන ආහාරයක් ලෙසත් එයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

රටඉඳි මඟින් ශරීරයට ලැබෙන වැදගත්ම සෞඛ්‍ය ප්‍රතිලාභ අතර ආහාර ජීර්ණය පහසු කරවීම, ස්වාභාවික ශක්ති වර්ධකයක් ලෙස ක්‍රියා කිරීම, හෘද සෞඛ්‍ය ආරක්ෂා කිරීම, ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත් වීම, මොළයේ ක්‍රියාකාරීත්වයට සහාය වීම, බර කළමනාකරණය කිරීමට ස්වාභාවික ක්‍රමයක් වීම, දිදුලන නීරෝගි සමක් ලබාදීම වැනි සෞඛ්‍ය ප්‍රතිලාභ පෙන්වාදිය හැකියි. මීට අමතරව ගර්භිණී සමයේ අවසන් කාලයේ දී රටඉඳි ආහාරයට ගැනීම ඉතා වැදගත් බවත් ඒ ඔස්සේ දරු ප්‍රසූතිය පහසු වන බවත් නව අධ්‍යයන හරහා ද සොයාගෙන ඇත.

රටඉඳි භාවිත කර රසවත් මෙන්ම පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර පාන රැසක් නිපදවා ගත හැකිය. ඒ අතර රටඉඳි මිල්කෂේක්. රටඉඳි පුඩිං, රටඉඳි ඩේට් බාර්ස්, රටඉඳි කේක්, රටඉඳි වයින් වැනි ආහාරපාන පෙන්වා දිය හැකිය.

රටඉඳි ඩේට් බාර්ස්

 

රටඉඳි කෝප්ප එකහමාරක්, බේකිං සෝඩා තේ හැඳි 1ක්, උණුවතුර කෝප්ප එකහමාරක් දමා මිනිත්තු 20ක් පමණ පෙඟෙන්න තබා පෙරා ගන්න. පසුව හොඳින් මිශ්‍ර කරගෙන එයට පාන් පිටි කෝප්ප 2ක් (ග්‍රෑම් 250), බටර් ග්‍රෑම් 150ක්, අයිසිං සීනි ග්‍රෑම් 75ක් දමා හොඳින් මිශ්‍ර කරගන්න.

පසුව මෙම පාන් පිටි මිශ්‍රණය පාච්මන්ට් කොළයක් යෙදූ බඳුනකට දමා ගන්න. ඉන්පසු පොල් කෝප්ප භාගයක් ගෙන පොල්ටික මඳ ගින්දරේ බැදගන්න. මෙයට සීනි කෝප්ප 1ක්, බිත්තර 2 ක්, පාන් පිටි මේස හැඳි 4ක්, රට ඉඳි ස්වල්පයක් හා රටකජු අවශ්‍ය පරිදි පොඩි කර දමා බේකිං සෝඩා හැඳි 1ක්, වැනිලා තේ හැඳි 2 ක් දමා හොඳින් මිශ්‍ර කරගන්න. පසුව කලින් සාදාගත් පාන් පිටි මිශ්‍රණය මතට වක්කර විනාඩි 15ක් පමණ සෙල්සියස් අංශක 180ට බේක් කරගන්න.

රටඉඳි මිල්ක්ෂේක්

රටඉඳි ග්‍රෑම් 250 ක් ගෙන එයට කුරුඳු ස්වල්පයක්, අයිස් කැට, නැවුම් කිරි දමා බෙලෙන්ඩරයක් ආධාරයෙන් පොඩි කරගන්න. පසුව එය පෙරා පොඩිකරගත් රටකජු ස්වල්පයක් දමා පානය කරන්න.

කැරමල් සෝස් සමඟ රටඉඳි පුඩිම

භාජනයක් ගෙන වතුර මිලිලීටර් 250ක් දමා එයට රටඉඳි මදුළු ග්‍රෑම් 200ක් එකතු කරගෙන එය මඳ ගින්නේ රත් කරන්න. පසුව එයට ආප්ප සෝඩා තේ හැඳි 1ක් හා බටර් හෝ මාගරින් මේස හැඳි 2 ක් දමා හොඳින් කලවම් කරගන්න. පසුව දුඹුරු සීනි කෝප්ප භාගයක් හා ගසාගත් බිත්තර 2ක් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. මෙයටම පාන් පිටි ග්‍රෑම් 100 හා බේකිං පවුඩර් තේ හැඳි හතරෙන් තුනක් ද යොදා හොඳින් මිශ්‍ර කරගන්න.

පසුව මෙම පුඩිං මිශ්‍රණය පාච්මන්ට් කොළයක් සහිත භාජනයකට දමා අවන් එකක් ආධාරයෙන් මිනිත්තු 30-40 ත් අතර කාලයක් සෙල්සියස් අංශක 180ට බේක් කරගන්න.

කැරමල් සෝස් එක සාදාගමු

මෙයට බටර් මේස හැඳි 3ක්, දුඹුරු සීනි කෝප්ප භාගයක්, නැවුම් කිරි මිලි, ලීටර් 200ක් හා ලුණු පිංචි 2ක් දමා අඩු ගින්නෙ මඳ උකු ගතියක් එන තෙක් හොඳින් මිශ්‍ර කරගන්න. පසුව බේක් කරන ලද පුඩිං එකට කැරමල් සෝස් එක්කර රස බලන්න.

TEXT නයනි මදුශානි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?