දිනක් අසෙනිගේ අම්මාත්, තාත්තාත් හාල් පිටි අග්ගළා සමඟ ඉඟුරු තේ බොමින් ගෙවා දමන හැන්දෑවරුවක අසෙනි ගැන කතා වෙති. අම්මා තේ කහටෙහි රසයට මුසු වුණු ඉඟුරු කෑල්ලක් ඉදිරිපස දත්වලින් විකමින් මෙසේ කියයි.
“එයා හොයන ජාතියෙ පිරිමි ඉන්නෙ එක්කෙනයි. ඒ මනුස්සයත් බැඳපු මිනිහෙක්. ඉතින් අපි එයාගේ ඉරණමට මොනවද කරන්නෙ.”
“ඔයා ඔය කියන්නෙ නිගූ ගැන නේද ?” අසෙනිගේ තාත්තාගේ වචනවල ඇත්තේ අම්මා කියූ දේ තහවුරු කෙරෙන ස්වරයකි. තම දියණියගේ අනාගතය කෙබඳු වේ දැයි යන දෙගිඩියාවෙන් බලා සිටින මාපිය යුවළකගේ ජීවන සන්ධ්‍යා තීර්ථයට රාස්සිගේ අව්ව එබිකම් කරයි. බැඳුම්වලත්, බිඳුම්වලත් විස්මය දෙස උපේක්ෂාවෙන් බලා සිටිනු විනා වෙනත් කළ හැකි දේ කුමක් ද?
අසෙනිගේ අම්මා කිරිකොස් ව්‍යංජනයට අවැසි කළමනා ඒදා අහවරව තේ කෝප්පයක් සාදා අසෙනි වැතිර සිටින දිවානය ළඟ ස්ටූලයෙන් තබයි. එහෙත් අසෙනි ගැලී සිටින ගැඹුරු කල්පනා කුණාටුවෙන් මඳකුදු නොමිදෙයි.
දෙදෙනකු අතර සම්බන්ධයක් ගොඩනැඟෙන්නේ ඒ දෙදෙනා තුළම එක හා සමාන මානසික ස්වභාවයක් හා ස්පන්දනයක් ඇති විටයි. සම්බන්ධයේ අතරමැදකදී දෙදෙනාගෙන් එක් අයෙකුගේ මානසික ස්වභාවය තියෙන තත්ත්වයෙන් වෙනස් වීමට හෝ එම ස්වභාවයේම අඩු වැඩි වීමක් හෝ සිදු විය නොහැකි ද? එබඳු විටෙක ඒ සම්බන්ධය කොතරම් ගිවිස ගැනීම් සමුදායක් පසු කර තිබුණද සැබෑ සම්බන්ධයේ අවසන් ඉමකට එය පැමිණ ඇති බව පිළිගත යුතුයි.
දවසකට දෙතුන් වතාවක් මැසේජ් කර තිබුණද නිගූ තමා කෙරෙහි දක්වන අවධානය අඩු වෙමින් යතැයි අසෙනිට සිතෙයි. ඔහු පසුගිය දිනවල වඩ වඩාත් දේශපාලනයට නැඹුරු වීම නිසා ඇති වුණු වෙනස තමා කියවාගෙන ඇත්තේ වැරදි ලෙසකින් යැයිද තමාම මවා ගත් අවතාර කුණාටුවකට නිකරුණේ බිය වැද සිටින්නේ යැයි ද ඇයට සිතෙයි.
නිගූගෙන් අසෙනිට ඇමතුමක් එයි. නිගූ යනුවෙන් තිරය මත දිස්වන විට අසෙනිගේ සිතෙහි අසීමිත සතුටක් ද සියුම් නෝක්කාඩු හැඟුමක් ද ඒත් සමඟම නොහිම් කුතුහලයක් ද ඇති වෙයි.
“අසී අද නම් කොහොම හරි ඔයා ළඟට එන්න ඕනෙ….”
නිගූ එසේ කියන විටම අසෙනිගේ මුවින් නැඟුණු නෝක්කාඩු වදන් පෙර කිසි දිනෙක ඔහු අසා නැත.
” ඉඳලා හිටලා හිතිච්චහම ළඟ තියාගෙන ටයිම් පාස් කරන්න ද මං ඉන්නෙ..”
***********
අරගලය කෙමෙන් දියවී පහවී යද්දී අනුරුද්ධ සහ නිගූ ඇතුළු පිරිස ද පසුබැස නිහඬ වෙති. කූඩාරම් ගලවා ඉවත් කොට අරගලකරුවන් පලවා හැර ඇතැමුන් අත්අඩංගුවට ගනිමින් තිබියදී ගෝල්ෆේස් අරගලය ගමට ගෙන යා යුතු යැයි ඔවුහු සිතති. ඒ වෙනුවෙන් කිහිපදෙනකු සමඟ දේශපාලන සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්වෙයි. එහෙත් අරගලයට ඍජුව සම්බන්ධ නොවූ දේශපාලන ව්‍යාපාරයක් ඔවුන් කරගෙන යමින් සිටි බිම් මට්ටමේ දේශපාලන ක්‍රියාකාරකම් තවදුරටත් සක්‍රිය කරවමින් සිටියි. නිගූ ඇතුළු කණ්ඩායමට ඔවුන් සමඟ එක්ව ගම් මට්ටමේ ජනතාව ක්‍රම වෙනසක් වෙනුවෙන් මෙහෙය වීමට සහ පෙළගැස්වීමට දායක වීමේ අවස්ථාව හිමි වෙයි. ඔවුහු විවේචනාත්මක ස්වරූපයකින් ඒ කාර්යයට සහභාගි වෙති.
මේ වැඩ අතර නිගූට අම්මා බැලීමට යාමත්, සාරා බැලීමට යාමත් පමණක් නොව, ඇතැම් දිනවල අසෙනිට මැසේජ් එකක් තැබීම පවා අතපසු වී යයි. අම්මා නිගූ තේරුම් ගනියි. නිගූ තාත්තාගේ මඟ යමින් ප්‍රගතිශීලී දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදීම පිළිබඳ සන්ධ්‍යා වනිගසුන්දර ඇතුළතින් සතුටු වෙයි. ඈ කිසිවිටෙකත් තියුණු ලෙස දේශපාලන අදහස් වෙනුවෙන් පෙනී නොසිටිය ද නිගූගේ හැසිරීම් තුළින් අමරනාත් ප්‍රක්ෂේපණය වන අයුරු දකින ඈ සියුම් ගූඪ සතුටක් ඉන් අත් විඳියි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිටි අවධියෙහි නිගූ, අනුරුද්ධ, සඳනායක ආදීන් සමඟ කිසියම් දේශපාලන ව්‍යාපෘතියක යෙදී සිටි බව කාංචනා දනියි. ඇත්තෙන්ම එය, විශ්වවිද්‍යාලයට එන්නට පෙර සිටම නිගූත්, අනුරුද්ධත් නියැළී සිටි දේශපාලන ව්‍යාපෘතියකි. පසුව සඳනායක සහ තවත් මිතුරෝ ඊට එක් වෙති. කාංචනා එදවස ද නිගූගේ දේශපාලන ක්‍රියාකාරකම් අනුමත කළේවත් ඒවාට අකුල් හෙළුවේවත් නැත. ඈ නිගූ සහ මිතුරන්ගේ දේශපාලනය හඳුන් වන්නේ ශාස්ත්‍රීයව විනෝද වීමක් ලෙසිනි.
අතීතයේ හැන්දෑවරුවක පේරාදෙණි සරසවියේ වූස් කැන්ටිමේ වඩේ කා ප්ලේන්ටි බොමින් සල්ලාපයේ යෙදී සිටි නිගූගේ මිතුරන්ට කාංචනා කී වචන නිගූට මතක් වෙයි. අනුරුද්ධ ශිෂ්‍ය සංගමයේ දේශපාලන දෘෂ්ටිය පිළිබඳ සැරට විවේචනය කරමින් මීට වඩා පරිකල්පනීය සමාජ ක්‍රමයක් පිළිබඳ සිහිනයක් තමන් සතුව ඇතැයි හඬ ගා කියමින් සිටි මොහොතකි. අනුරුද්ධගේ රැඩිකල් හැසිරීම් ඉදිරිපිට කවුරුත් තුෂ්ණීම්භූත වෙති. සාවධාන වෙති. එහෙත් මිතුරන් අතර වැඩි කතා බහක් නැති කාංචනා, අනුරුද්ධගේ කතාව ඉවර කරන්නත් පෙර කී වචනවලින් හැමෝම ඊටත් වඩා තුෂ්ණීම්භූත වෙති. ඒවා පිහි තුඩු මෙන් මුවහත් වචන වුවද ඈ ඒවා කියන්නේ සරදම් සිනහවක් ද මුවග රඳවා ගනිමිනි.
” අනේ ඔයාලගේ රැඩිකල් කතා ඔක්කොම කයිවාරු විතරයි. කටින් බතල තමයි….ඔයාලා පිරිමි වුණාට චුට්ටක්වත් ප්‍රායෝගික නෑ. ඒකට අර ශිෂ්‍ය සංගමේ ඉන්න කොකටුවා…යූනියන් එකට පුළුවන් තරම් කඩේ ගිහින් හැන්දෑවට කෙල්ලට බත් එකකුත් උයලා ගෙනත් දෙනවා. ගමරාල වගේ වුණාට ඌ මාර ආදරෙයි ගිනිකිකිළිට. ඒකිත් මාර පොෂ් වුණාට ගමයගේ ආදරේට වහ වැටිලා ඉන්නෙ.. ඔයාලට පුළුවන් ද අඩු ගාණේ හොට්ප්ලේට් එකක් කැඩුණම හදා දෙන්න.”
” නංගී මේ අහන්න… අපේ ක්‍රමයක් ඇතුළෙ අපි තවදුරටත් හොට්ප්ලේට් පාවිච්චි කරන්නෙ නෑ..අපි ඊට වඩා පරිසර හිතකාමී දියුණු උදුන් ක්‍රමයක් හඳුන්වා දෙනවා..” යැයි පවසමින් අනුරුද්ධ ඒ මොහොතේ හැක හැක ගා හයියෙන් හිනා වුවද කාංචනාගේ වචනවල තැවරී තිබුණු සරදමට ඉන් චුට්ටක්වත් හානි වූයේ නැත.
කාංචනා අරගලය දකින්නේ තවත් නාට්‍යයක් ලෙසිනි. ඈ අරගලයේ උච්චතම අවස්ථාවක නිගූට ඇමතුමක් ගෙන අරගලය ගැන තොරතුරු අසා අන්තිමට කී වචන මතක් වෙයි. ” ඔයාලා ඔය විශාල නාට්ටියෙ නළුවො ද ප්‍රේක්ෂකයො ද කියලවත් ඔයාලා දන්නෙ නෑ.. ඒකයි දුක.”
තවත් කොටසකින් හමුවෙමු
