ඔබේ දරුවා සමාජය තුළ ආරක්ෂිත ද? අවම වශයෙන් ඔබ ළඟ ආරක්ෂිත ද? මේ දෙවරක් සිතිය යුත්තක්. මන්ද, මල්වලට උපමා කළද, බොහෝ දරුවන්ගේ ජීවිත මානසික හෝ ශාරීරික අඩන්තේට්ටම්වලින් පිරුණු ලෝක බවට පත් ව තිබීමයි. එනිසාම අපි ළමයා සහ ළමා අපයෝජන සම්බන්ධ නෛතික වපසරිය පිළිබඳව නීතිඥ ප්‍රසාද් හර්ෂණ ජනානන්ද මහතාගෙන් විමසා සිටියෙමු.
“එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුව ඉතාමත් සරලම අදහස තමයි “නීතිය මඟින් අඩු වයසකදී පූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18ට අඩු සියලු මනුෂ්‍යයන් ළමුන්ය.” ඒ කියන්නේ, සරලවම වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන් ළමයින්. “ළමයා” යන්න ශ්‍රි ලංකාව තුළ නිර්වචනය වී ඇති ආකාරය සලකා බැලීමේදී විවිධ අණ පනත් මඟින් ඒ පනත් සඳහා අනුකූල වන පරිදි ළමයා යන්න නිර්වචනය කර ඇති බවත්, 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත (National Child Protection Authority Act, No. 50 of 1998) යටතේ “ළමයා” ලෙස සලකනු ලබන්නේ 18 වසර සම්පූර්ණ නොකළ පුද්ගලයෙක් ලෙසයි.”
ළමා අපයෝජනය
“ළමයෙකුට කායික හෝ මානසිකව බලපාන අන්දමෙන් ඕනෑම පුද්ගලයකු සිදු කරනු ලබන සෘජු හෝ වක්‍ර හිංසනයක් ළමා අපයෝජනයක්.වයස අවුරුදු 18ට අඩු ඕනෑම කෙනකුට සිදු වන සියලුම හිංසනයන් මෙම ගණයට අයත් වෙනවා. ළමා අපයෝජන කියන්නේ, ළමුන්ට එරෙහිව සිදු වන ලිංගික අපයෝජනයන් පමණක් නෙමෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ශාරීරික, මානසික, ලිංගික, නොසලකා හැරීම, යන ප්‍රධාන ක්‍රම 4ක් ඔස්සේ ළමා අපයෝජනය සිදු විය හැකියි. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන්ට අනුව ලෝකයේ සමස්ත, මානසික සහ නොසලකා හැරීම් යන ක්‍රම ඔස්සේ අපයෝජනයට ලක් වෙනවා.
ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ ළමා අපයෝජනයේ සීමාවන් හඳුනා ගැනීමේ දී, ළමා අපයෝජනය සම්බන්ධයෙන් පැහැදිලි එක් නීතියක් නැහැ. නමුත්, එය අර්ථකථනය කර ගැනීමේදී විවිධ නීති සංග්‍රහයෙන්ගේ එකතුවක් ලෙස පැහැදිලි කර ගත හැකියි.
1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනතේ 40 වගන්තියේ දක්වා තිබෙන ආකාරයට, ළමා අපයෝජන යන්නට දරුවකුට අදාළ වන, පහත සඳහන් කිසියම් විධිවිධානයක් උල්ලංඝනය වීමට තුඩු දෙන කිසියම් ක්‍රියාවක් හෝ අතපසුවීමක් ඇතුළත් වේ.
දණ්ඩ නීති සංග්‍රහයේ (Penal Code) විධිවිධාන
- 286A- දරුවන්ගේ අසභ්‍ය ප්‍රකාශන පළ කිරීම
- 286 B- දරුවන් සිඟාකෑමට සැලැස්වීම
- 288A- කුට්ටනය සඳහා යොදා ගැනීම
- 288B- ජාවාරම් සඳහා යොදා ගැනීම
- 308A- ළමුන් ක්‍රෑරත්වයට පත්කිරීම
- 345- ලිංගික අපයෝජනය සිදු කිරීම
- 360- ලිංගික කුට්ටනය සඳහා යොදා ගැනීම
- 363- ස්ත්‍රී දූෂණය
- 364- ව්‍යාභිචාරය
තවද, ළමා අපයෝජන යන්නට, දරුවකුගේ ජීවිතයට අනතුරක් විය හැකි හෝ එම දරුවාට කායිකව හෝ මානසිකව හානියක් විය හැකි සන්නද්ධ ගැටුමකට දරුවකු සම්බන්ධ කරගැනීම ආදී වැරදි සඳහා ක්‍රියා කරවීම ඇතුළත් වේ.”
ළමා අපයෝජන වැළැක්වීමේ ප්‍රතිපත්ති, ආයතන සහ නීති
“ඒ වගේම, හැම ළමයෙක්ගෙම නීත්‍යනුකූල පරම භාරකරුවා ලෙස දරුවා පදිංචි ප්‍රදේශයේ දිසා විනිසුරු කටයුතු කරනවා. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, 1998 අංක 50 දරන පනතට අනුව ළමා අපයෝජන වැළැක්වීමේ ප්‍රතිපත්ති සහ නීති පිළිබඳව රජයට උපදෙස් දීම සහ එවැනි අපයෝජනයන්ට ගොදුරු වන ළමයින් ආරක්ෂා කිරීම සහ ප්‍රතිකාර සඳහා යොමු කිරීම සහ සියලුම ආකාරයේ ළමා අපයෝජනවලට එරෙහිව ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා පිහිටුවන ලද්දක්.
ළමා හා කාන්තා වැඩ බලන අමාත්‍යාංශය ද මේ පිළිබඳ ජාතික ප්‍රතිපත්තීන් තීරණය කරනවා. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් සෑම අවස්ථාවකම පෙනී සිටිනවා. ඒ අනුව, ඔවුන් අවශ්‍ය සෑම විටම ළමුන් සඳහා අවශ්‍ය සෑම ආකාරයේම ආරක්ෂාව සැපයීම, ළමයින් අපයෝජන අවදානම්වලට පත්වීමට පෙර ඒවා වැළැක්වීම සඳහා හා සමාජය දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළ හා අපයෝජනයන්ට ලක්වූ දරුවන් සම්බන්ධයෙන් නීතිය ඉදිරියේ පෙනී සිටීම සිදු කරනවා. විශේෂයෙන්ම අපයෝජනය පිළිබඳ විමර්ශනය සහ පසුකාලීන සොයා බැලීම් මඟින් ළමයින්ට සහාය වීම ළමා හා කාන්තා කාර්යාංශය මඟින් සිදු කරනවා. “
මේ ආකාරයට විවිධ විධි විධාන සහ නීතිමය තත්ත්ව මත ළමයා සුරක්ෂිත කිරීමට ක්‍රියාමාර්ග ගෙන තිබුණ ද, ළමයින් අපයෝජනයට ලක් වන අවස්ථා එමට ඇත.
“විශ්වයේ සුන්දරම නිර්මාණය තමයි, දරුවා. නමුත්, ළමා අපයෝජකයා කියන්නේ විශ්වයේම අසුන්දරම මිනිසුන්. අපේ අධිකරණ පද්ධතිය තළ අපි අත්දකින ප්‍රායෝගික අවස්ථාවන් සලකා බැලීමේදී, බොහෝමයක් අවස්ථාවල පුද්ගලික මෙන්ම පොදු ස්ථානවල, ප්‍රසිද්ධියේ මෙවන් අපයෝජන සිදුවෙනවා. ඉන් ඔබ්බට තමන්ගේ නිෙවස තුළ,මවුපියන්ගෙන්, වැඩිහිටියන්ගෙන් වගේම තමන්ගේ සහෝදර, සහෝදරියන්ගෙන් පවා අපයෝජනයට ලක් වුණ සිදුවීම් අධිකරණ පද්ධතියට අලුත් සිදුවීම් නොවෙයි. ආගමික ආයතන, පාසල් තුළ පවා මෙවන් අපයෝජන සිදුවීම් විය හැකියි. ඒ වගේම, ළමයා කම්කරුවකු විදිහට, මෙහෙකාරීත්වයට හෝ අනිසි කාර්යයක් සඳහා භාවිත කරන අවස්ථා වගේම ළමුන් ලිංගික අපයෝජනයකට හෝ ලිංගික භාවිතයට පත් වෙන අවස්ථාද බහුලව දකින්න ලබෙනවා. ළමයා ළමා වෙළඳාම, බලෙන් ශ්‍රමිකත්වයේ යෙදවීම, සිඟාකෑමට සැලැස්වීම, ළමුන් ලවා විවිධ නීතිවිරෝධි ජාවාරම් සිදු කිරීම කියන අපයෝජන සිදුවීම්ද බහුලයි. ළමයින් සඳහා නිරන්තරයෙන්ම අවශ්‍ය පහසුකම්, ආරක්ෂාව සහ ආධාර ලබා නොදී නොසලකා හැරීම මත ඉතා පහසුවෙන් සෑම තැනකදීම ළමුන් අපයෝජනයට ලක්වෙනවා.”
දරුවන්ගේ සුරක්ෂිතභාවය
සැබවින්ම දරුවෙකුගේ අයිතීන් සුරක්ෂිත කළ යුත්තේ වැඩිහිටියන් විනා තවත් දරුවකු නොවෙයි. එනිසා දරුවකු කුමන හෝ මට්ටමක අපයෝජනයකට පත් වුවත් ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක විය යුතු ආකාරය දැන සිටීම වැදගත්.
“යම් අයුරකින් යම් ළමා අපයෝජනයක් සිදු වුණ මුල් අවස්ථාවේදී ම අප සිදුකළ යුතු වෙන්නේ අදාළ වින්දිත දරුවා ඒ අවස්ථාව වන විට සිටින තත්ත්වය හඳුනා ගැනීමයි. ඒ අනුව, අදාළ දරුවා යම් වෛද්‍ය අවධානයකට යොමු විය යුතු නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කළ යුතුයි. ඒ සමගාමීවම හැකි ඉක්මනින් අදාළ සිදුවීම පිළිබඳ කරුණු නිසි නෛතික ආයතන වෙත දැනුම්වත් කළ යුතුයි. උදාහරණයක් ලෙස, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව, පරිවාස දෙපාර්තමේන්තුව. මේ පිළිබඳ සියලු සාක්ෂිකරුවන් හා සෙසු සාක්ෂි සංරක්ෂණය සඳහාද ක්‍රියාත්මක වීම අත්‍යාවශ්‍ය කරුණක්. ඒ වගේම සාමාන්‍ය ජනතාව හා වගකිව යුතු පුරවැසියන් සෙසු සමාජය මේ වගේ පුද්ගලයන් හැකි ඉක්මනින් නීතියේ රැහැනට හසු කර දීමට හා ළමයාගේ ආරක්ෂාව සැලස්වීම සඳහා සුදුසු සංරක්ෂණ පද්ධති සකස් කිරීමට යුහුසුලුව කටයුතු කළ යුතුයි. “
අපයෝජනයක් බව දැනගත් විට ක්‍රියා කළ යුතු ආකාරය
එසේම, අපයෝජනයක් සිදු වූ අවස්ථාවේ ක්‍රියාත්මක වීම තුළ අපයෝජකයාට නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ව සමාජය දැනුම්වත් විය යුතුය. “අපයෝජකයෙක්ට නීතිය ක්‍රියාත්මක වීමේ මූලිකම පියවර, පොලිස්
විමර්ශනයක්. පොලීසිය සිද්ධිය පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කරනවා වගේම අපයෝජනයට ලක් වූ දරුවාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම, සැකකරු අත්අඩංගුවට ගැනීම සහ අපරාධය
සම්බන්ධ සාක්ෂි රැස් කිරීම මෙහිදී සිදුවෙනවා. ඊළඟ පියවර වෛද්‍ය පරීක්ෂණය. දරුවා විශේෂඥ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරනවා ඊට අදාළ අධිකරණ වෛද්‍ය වාර්තා නීතිමය ක්‍රියාමාර්ග සඳහා අත්‍යවශ්‍ය වෙනවා. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අවශ්‍ය නම්, නීතිමය ක්‍රියාවලියට සමගාමීව දරුවාට අවශ්‍ය සමාජ-මානසික සහ නීතිමය සහාය ලබා දෙනවා. ඒ අනුව අවශ්‍ය පරිදි නීතිපතිවරයාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂණ අවසන් වූ පසු, පරීක්ෂණ ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යවනු ලබන අතර නීතිපතිවරයාගේ උපදෙස් මත සැකකරුට එරෙහිව චෝදනා ගොනු කර නඩු පවරනවා.
මෙවැනි අපරාධ නඩු බොහෝ විට විභාග කරනු ලබන්නේ මහාධිකරණයේ. නඩුව විවෘත අධිකරණයේ විභාග වන අතර, සාක්ෂි විමසීම සහ තර්ක ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවෙනවා. දරුවාගේ ආරක්ෂාව සහ යහපත තහවුරු කිරීමට මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනවා. ඒ වගේම දඬුවම් නියම කරනු ලබන්නේ දණ්ඩ නීති සංග්‍රහය සහ ළමා ආරක්ෂක පනත යටතේ. ළමා අපයෝජන සම්බන්ධ වරදකට පත් වූවන්ට නීතියෙන් බරපතළ සිර දඬුවම්, දඩ මුදල් සහ වන්දි ගෙවීමට බොහෝ විට නියෝග කරනවා. දරුවෙක් කියන්නේ සියුමැලි මෘදු ආරම්භයක්. ඔවුන්ව රැකගන්න එක පහසු කටයුත්තක් නොවෙයි. ඒ වගේම අපයෝජනයක් සිදු කළ කෙනෙකුට නීතියෙන් පහසුවෙන් ගැලවී යා නොහැකි බව මතක තබා ගත යුතුයි.”
චෝදනා කිරීමටවත් අවස්ථාවක් නොමැතිව මේ සියලු අපයෝජන අවස්ථාවන්ට ලක් වන දරුවන් දහස් ගණනක් ලෝකය පුරා සිටින බව සහතිකය. කිසිවෙකුගේ හෝ හිරිහැර ඝට්ටන ඉවසීමට තරම් ඔවුන් ශක්තිමත් නැත. තමන්ට සාධාරණය ඉල්ලා හඬක් නැඟීමට හැකියාවක් හෝ දැනුම්වත්භාවයක් බොහොමයක් දරුවන්ට නැත. දරුවො වටා කැරකෙන සියලුම අපයෝජන ස්වරූපයන්ගෙන් ඔවුන්ව ගලවා ගැනීම වැඩිහිටි අපේ වගකීමක්. මතක තියාගන්න, ඔබ දරුවාට පහර දෙන්නේ ඔවුන් වැරදි කරන නිසා නොව, දරුවා ඔබට පෙරළා පහර නොදෙන බව ඔබ දන්නා නිසා බව දරුවන් කිසිවිටකත් වැරදි කිරීමට නොදනී. ඔවුන් ඔබෙන් සියල්ල උගනී. එනිසා, නිරන්තර දරුවා වෙනුවෙන් පෙනී සිටින්න. ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න.
TEXT – රුවංගා දිසානායක
