Monday, November 24, 2025
Epaper
Home විශේෂාංගදෑස් නොපෙනෙන දරුවන්ට දෑස් දෙන්නට සිතුවම් ඇඳි දරුවෝ

දෑස් නොපෙනෙන දරුවන්ට දෑස් දෙන්නට සිතුවම් ඇඳි දරුවෝ

by Shanaka Lakehouse

ඒ 2020 වර්ෂයයි. කොරෝනා වසංගතය හමුවේ මෙරට පමණක් නොව ලෝකයේම දරුවන් හුදෙකලා වූ සමයයි. නිවෙස්වලට කොටු වී ආතතියෙන් කල් ගෙවන දරුවන්ගේ මානසික සුවය ගැන සිතා වැඩිදෙනකු දුකට පත් වූ කාලවකවානුවකි මේ.

කවදත් ජීවිතය දෙස සෞන්දර්යාත්මක ඇසකින් බැලුම් හෙළනා සඳරුවනි ගුරුතුමියද මේ ගැටලුවට වෙනස්ම විසඳුමක් සෙව්වාය. එහි ප්‍රතිඵලයක් ලෙස නිවෙස්වලට සිරවුණු දරුවන්ගේ සිතුවිලි සිරගත නොවන හරි අපූරු චිත්‍ර පන්තියක් බිහිවිය. “creative tails art studio” නම් වූ මේ පංතියේ වැඩකටයුතු සිදු වූයේ මාර්ගගත ක්‍රමය හරහායි. දවස පුරාම නිවෙසට සිර වූ දරුවන්ගේ සිතුවිලි චිත්‍ර, මූර්ති, කවි, කතන්දර ආකාරයට එළිදක්වා තම ආතතියෙන් මිදෙන ආකාරය ඇය දරුවන්ට අපූරුවට කියා දුන්නාය. ඒ මඟින් මෙතෙක් කල් විෂයානුබද්ධ අධ්‍යාපන රටාවකට යොමු වූ දූ දරුවෝ නිදහසේ තම සිතැඟිවලට තටු සලන්නට ඉඩ දුන්හ.

පසු කාලයේදී මේ ඇකඩමියට සම්බන්ධ වූ දරු දැරියන් ඔවුන් කැමැති විවිධ පරිසරයන් වෙත කැඳවාගෙන ගොස් ඔවුන්ට ප්‍රායෝගික වැඩමුළු පවත්වන්නටත්, සෞන්දර්යාත්මක අත්දැකීම් ලබා දෙන්නටත් ගුරුතුමිය අමතක නොකළාය.

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය හිරන්‍ය අබේසේකර මහතා වෙත අක්ෂි කාච පරිත්‍යාග කළ අවස්ථාව. එම රෝහලේ වෛද්‍ය අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය මහින්ද, ශල්‍යාගාර භාර හෙද නිලධාරිනී එල්.ඩී. දිල්ෂිකා මහත්ම මහත්මීහුද මෙහි සිටිති.

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය හිරන්‍ය අබේසේකර මහතා වෙත අක්ෂි කාච පරිත්‍යාග කළ අවස්ථාව. එම රෝහලේ වෛද්‍ය අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය මහින්ද, ශල්‍යාගාර භාර හෙද නිලධාරිනී එල්.ඩී. දිල්ෂිකා මහත්ම මහත්මීහුද මෙහි සිටිති.

කොළඹ අවට පාසල් කිහිපයක දරු දැරියන්ගෙන් සැදුම්ලත් Creative tales art studio හි මේ වනවිට සිසුන් පනහකට අධික ප්‍රමාණයක් තම සෞන්දර්ය හැඟීම්වලට පණ පොවති. මෙලෙස වසර කිහිපයක් තිස්සේ ගලාගෙන ගිය ඔවුන්ගේ සෞන්දර්යාත්මක චාරිකාවේ දැවැන්ත පියවරක් තබන්නට පසුගියදා සමත් විය. ඒ මෙතෙක් දවසක් ඔවුන් විසින් නිර්මාණය කළ සිතුවම් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී මහජනතාවට ප්‍රදර්ශනය කරමිනි. ඊට අමතරව ඔවුන් රචිත කවි ගීත ඇතුළත් පොත් කිහිපයක් දොරට වැඩීමේ උත්සවයක් ද පැවැත්විණි. මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ හිටපු පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් රවීන්ද්‍ර, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සමාජ සංහිඳියා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය සෞම්‍ය ලියනගේ, රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ සභාපති දේශීය සහ විදේශීය කලා අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලාල් හරේන්ද්‍රනාත් යන මහත්වරු ද සහභාගි වූහ.

මේ ජනගත වීම වෙනුවෙන් සමාජීය මෙහෙවරක් කිරීමට ද ගුරුතුමිය ඇතුළු සිසු පිරිස කතිකා කර ගත්හ. ඒ මෙම ප්‍රදර්ශනය නැරඹීමට සහ පොත් එළිදැක්වීමට සහභාගි වූවන්ගෙන් ලැබුණු මුදල් පරිත්‍යාග මහා සත්කාරයකට යෙදවීමෙනි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන දෑස් නොපෙනෙන දරුවන්ගේ අක්ෂි කාච මිලදී ගැනීම උදෙසා මෙම පරිත්‍යාග මුදල් පිරිනැමීමට ඔවුන් පෙළ ගැසුණේ ඉමහත් ළෙන්ගතු සිතිනි.

මේ වනවිට ඔවුන් විසින් පිරිනැමුණු අක්ෂි කාචවලින් ශල්‍යකර්ම සිදු කෙරෙමින් පවතින අතර ඉදිරියේදී ද මෙවැනි මහඟු සද් කාර්යයන් සිදුකිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

TEXT – චම්පා වරුසප්පෙරුම
PIX BY – වාසිත පටබැඳිගේ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?