Monday, November 24, 2025
Epaper
Home විශේෂාංගමාතෘත්වයට පිවිසෙන ඔබට, සුරක්ෂිත ගමනකට මඟ පෙන්වීමක්

මාතෘත්වයට පිවිසෙන ඔබට, සුරක්ෂිත ගමනකට මඟ පෙන්වීමක්

by Shanaka Lakehouse

මවු පදවිය යනු කාන්තාවකගේ ජීවිතයේ ලැබිය හැකි සුවිශේෂීම සහ සුන්දරම අත්දැකීමකි. ගර්භිණී සමයේදී කාන්තාවකගේ සිරුර පුදුමාකාර වෙනස්කම් රාශියකට භාජනය වන අතර එය මවක් ලෙස නව ජීවිතයකට මුල පිරීමට ඇයව සූදානම් කරයි. මෙම සුන්දර ගමන තුළ සමහර අවස්ථාවලදී නොසිතූ සෞඛ්‍ය ගැටලු රාශියකට මුහුණ දීමට සිදු විය හැකිය. මෙම ගැටලු පිළිබඳ නිසි දැනුම්වත්භාවයක් නොමැති වීම මවගේ සහ කුස තුළ සිටින දරුවාගේ ජීවිතයට පවා අවදානමක් ගෙන දිය හැකිය. මේ නිසා, මාතෘත්වයට පිවිසෙන ඔබ මේ පිළිබඳ හොඳින් දැනුම්වත් වීම අත්‍යවශ්‍ය වේ.

ගර්භිණී සමයේ දියවැඩියාව (Gestational Diabetes)

මෙය ගර්භිණී සමයේදී කාන්තාවකගේ ශරීරයේ සීනි මට්ටම ඉහළ යාම නිසා ඇතිවන තත්ත්වයකි. බොහෝ විට දරු ප්‍රසූතියෙන් පසුව මෙම තත්ත්වය සමනය වන නමුත් එය නොසලකා හැරියහොත් මවට සහ දරුවාට බරපතළ ගැටලු ඇති කළ හැකිය.

කුස තුළ සිටින දරුවාගේ බර වැඩිවීම, අකලට දරු ප්‍රසූතිය සිදුවීම සහ පසුව මවට දියවැඩියාව වැලඳීමේ අවදානම වැඩිවීම වැනි අවදානම් මෙහිදී මතු වේ. නිසි වෛද්‍ය උපදෙස් මත සෞඛ්‍යසම්පන්න ආහාර රටාවක් අනුගමනය කිරීම ව්‍යායාමවල නිරත වීම සහ අවශ්‍ය නම් ඉන්සියුලින් එන්නත් ලබා ගැනීමෙන් මෙම තත්ත්වය පාලනය කරගත හැකිය.

අධි රුධිර පීඩනය (Preeclampsia)

ගර්භිණී සමයේ දී මවක මුහුණ දෙන අනෙක් සෞඛ්‍යමය අවදානමක් වන්නේ අධි රුධිර පීඩන තත්ත්වයයි. ගර්භිණී මවකට අධික රුධිර පීඩනය ඇති වන ප්‍රධාන හේතුව ඇයගේ වැදෑමහ කරණකොටගෙන ඇති වන සංකූලතා වේ. මෙය සාමාන්‍යයෙන් ගැබ් ගැනීමෙන් සති 20කට පසු ආරම්භ විය හැකි අතර අධි රුධිර පීඩනය, මුත්‍රාවල ප්‍රෝටීන් අඩංගු වීම සහ ශරීරය ඉදිමීම මෙහි ප්‍රධාන ලක්ෂණ වේ. මෙය නොසලකා හැරියහොත් Eclampsia නම් බරපතළ තත්ත්වයට පත්විය හැකි අතර එහිදී මවට වලිප්පුව පවා ඇතිවිය හැකිය. නිසි වෛද්‍ය අධීක්ෂණය යටතේ රුධිර පීඩනය පාලනය කිරීම සහ නියමිත වේලාවට වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුවීම මෙම අවදානම අවම කර ගැනීමට උපකාරී වේ.

මානසික සෞඛ්‍ය ගැටලු (Mental Health Issues)

ගර්භිණී සමයේදී කායික සෞඛ්‍යය මෙන්ම මානසික සෞඛ්‍යය ද අතිශය වැදගත් වේ. ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්වීම් නව වගකීම් සහ පවුල් සාධක හේතුවෙන් මානසික පීඩනය, කාංසාව සහ විෂාදය වැනි තත්ත්වයන් ඇතිවිය හැකිය. මේවා දරුවා ඉපදුණු පසුව පවා (Postpartum Depression) පැවතිය හැකිය. මෙම තත්ත්වයන් ජය ගැනීම සඳහා පවුලේ අයගේ සහ සහකරුගේ සහයෝගය අත්‍යවශ්‍ය වේ. එසේම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සහ අවශ්‍ය නම් මනෝ චිකිත්සාව හෝ ඖෂධ ලබා ගැනීම මඟින් මෙම තත්ත්වයන් සාර්ථකව කළමනාකරණය කරගත හැකිය.

රක්තහීනතාව (Anemia)

ගර්භිණී සමයේදී ඇතිවිය හැකි තවත් පොදු ගැටලුවක් වන්නේ රක්තහීනතාවයි. ශරීරයේ රතු රුධිර සෛල ප්‍රමාණය අඩු වීම නිසා ඇතිවන මෙම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් මව වෙහෙසට පත්වීම, හුස්ම ගැනීමේ අපහසුතා සහ දරු ප්‍රසූතියේදී රුධිරය අධික ලෙස වහනය වීම වැනි ගැටලු ඇතිවිය හැකිය. ගර්භිණී සමයේදී යකඩ සහ ෆෝලික් අම්ලය අඩංගු ආහාර ගැනීම සහ වෛද්‍ය උපදෙස් මත විටමින් වර්ග ලබා ගැනීමෙන් මෙම තත්ත්වය වළක්වාගත හැකිය.

මවු පදවියට පිවිසෙන ඔබ මෙම සෞඛ්‍ය ගැටලු පිළිබඳ දැනුම්වත්ව සිටීම ඔබේ සහ ඔබේ දරුවාගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ගන්නා ඉතා වැදගත් තීරණයකි. ඔබේ සෞඛ්‍යය පිළිබඳව කිසියම් හෝ සැකයක් හෝ අසාමාන්‍ය තත්ත්වයක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට පසුබට නොවන්න. නිසි දැනුම සැලකිල්ල සහ ආදරය සමඟින් ඔබට නීරෝගි මවු පදවියක් කරා සාර්ථකව ගමන් කළ හැකි වනු ඇත.

TEXT – සෙව්මිණී වාසල

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?