බොහෝ විට ලංකාවේ මාධ්‍ය විසින් ද සමාජය විසින් ද සංස්කෘතිය විසින් ද ස්ත්‍රී ජයග්‍රහණ අවතක්සේරු කරනු ලබයි. ඇතැම් විට දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව මෙය සිදු වේ. සාම්ප්‍රදායික චින්තනය අනුව ජය ගත යුත්තේ පිරිමියාය යන ආකාරයේ චින්තනයක් ඔවුන් හදවත් තුළ පැලපදියම් වී තිබෙන්නට පුළුවන.
ඒ සියල්ල පිරිමි ගැහැනු වශයෙන් සාදා ගත් ඒකාකෘතිය. ශක්තිය, ධෛර්යය නම් එය පිරිමි ලක්ෂණය. ඒවා ගැහැනුන්ට පවතින අවස්ථාවල එය පිළිගන්නට සමාජය තරමක් මැළි වෙයි.
මේ සඳහා මා ගන්නා ජනප්‍රිය උදාහරණය නම් ජයන්ති කුරුඋතුම්පාල එවරස්ට් තරණය කිරීමයි. ඇය එවරස්ට් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයාය. එනම් එයට පෙර කිසිදු ගැහැනියක හෝ පිරිමියකු ලංකාවෙන් ගොස් එවරස්ට් තරණය කර නොතිබුණි.
එවරස්ට් යනු ලොව උසම කඳු මුදුනයි. එය තරණය කිරීම පිරිමියකුට හෝ ගැහැනියකට ලෙහෙසි කාර්යයක් නොවේ. බොහෝ විට කඳු නැඟීම නම් කාර්යය සමාජය හඳුනා ගන්නේ පිරිමි කාර්යයක් හෝ පිරිමි විනෝදාංශයක් ලෙසය. කඳු නැඟීමට අතිශය බලසම්පන්න දරාගැනීමේ හැකියාවක්, ශාරීරික ශක්තියක්, අධිෂ්ඨානයක්, වීර්යයක් සහ ධෛර්යයක් අවශ්‍ය කරයි. බොහෝ දෙනකු හිතන්නේ මෙවැනි ලක්ෂණ පුරුෂ ලක්ෂණ කියාය.
එවරස්ට් කඳු මුදුන මුහුදු මට්ටමේ සිට මීටර් 8,848.86 වූවකි. එය ලොව උසම කඳු මුදුනයි. හිමාලය කඳු වැටියේ පිහිටා ඇති එය නේපාල සහ ටිබෙට් මායිම් අතර පිහිටයි. මෙහි පවතින අධික සීතල, විශාල ප්‍රපාත තරණය කළ යුතු වීම, ඔක්සිජන් අඩු ප්‍රතිශතයක් ඇති පරිසරයක කඳු නැඟීමට පුහුණු වීම යනාදිය නිසා ශාරීරික වශයෙන් ඉතා විශාල ශක්තියක් මෙන්ම පුහුණුවක් අවශ්‍ය වන්නා වූ මෙම කඳු නැඟීමේ කාර්යය වෙනුවෙන් විශාල මානසික සමබරතාවයක් ද තීරණ ගැනීමේ හැකියාවක්ද පැවතිය යුතුය.
මේ සියල්ල ජය ගනිමින් ලංකාවේ ගැහැනියක වූ ජයන්ති කුරුඋතුම්පාල මේ අභියෝගය පළමුවරට ජය ගත්තාය.
එය ලංකාවේ මාධ්‍ය වාර්තා කළේ කෙසේද?
“එවරස්ට් තරණය කළ පළමු ශ්‍රී ලාංකික කාන්තාව”
මේ ප්‍රකාශයේ ඇති වරද කුමක්ද? බැලූ බැල්මට වරදක් නැත. එහෙත් වරදක් ඇත. මේ ප්‍රකාශය අනුව කියවෙන්නේ මීට පෙර ලාංකික පිරිමියකු එවරස්ට් තරණය කර ඇති බවයි. එහෙත් එවැන්නක් සිදුව නැත. ඇය එවරස්ට් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයාය. ඇගේ කාන්තාභාවය ඔබ්බන්නට යාම නිසා ඇගේ ජයග්‍රහණයේ බර අඩුවීම මාධ්‍ය අතින් සිදුව තිබිණි. බොහෝ මිනිසුන් විශ්වාස කළේ ඇයට පෙර යම්කිසි පිරිමියකු එවරස්ට් තරණය කරන්නට ඇති බවයි.
ගැහැනුන්ගේ ජයග්‍රහණවල බර අඩු කරන්නට සමාජයට, සංස්කෘතියට හෝ මාධ්‍යයට ඉඩ දිය යුතු නොවේ.
පිරිමි සියල්ලේ නිර්මාපකයා නොවේ. පුහුණුව නිසි පරිදි ලැබූ විට ගැහැනුන් ද ජයග්‍රහණ හිමි කර ගනී. එවිට නිර්ලෝභීව ඇයට ගෞරවය පිදිය යුතුය. උත්සාහය, ශක්තිය, ධෛර්යය වැනි ගුණාංග පිරිමි ගුණාංග යැයි හංවඩු ගසමින් ඒකාකෘති සාදන සමාජය වෙනස් කිරීමට උත්සාහ ගත යුතුය.
