සමාජයේ ජීවත් වන විට අපි එකිනෙකාට මුහුණපෑමට සිදුවන අභියෝගයන් එමට ය. සමාජ තත්ත්වය, ආර්ථික මට්ටම, පාරිසරික දුෂ්කරතා…ආදී වූ කාරණා මෙතකැයි කියා ගණනය කළ නොහැකි තරම්ය. ඒ නමුත් අධ්‍යාපනය, ව්‍යාපාර, රැකියා….ආදී බොහෝ මංපෙත් හරහා අපට එම අභියෝග, බාධක ජය ගැනීමට අවස්ථාවන් නිර්මාණය වී හමාරයි.
එසේ වුවද සංස්කෘතික රාමුව හරහා එල්ල වන බලපෑම එලෙස මඟහැරීම සුළුපටු කාරණාවක් නම් නොවේ. එයත් ඔබ ස්ත්‍රියක වීම නිසා නිර්මාණය වූ බාධාවක් නම් එය කොතරම් අසාධාරණ ද. ?
ගැහැනිය යනු ඇත්තෙන්ම හුදු වචනයක්ම පමණක් ම නොවේ. ඒ වචනය තුළ ගැබ්ව ඇති ශක්තිය මෙතරම් යැයි මැනිය නොහැකිය. දිනක මවක් වන්නේ ද ගැහැනියයි. මාතෘත්වය උතුම් කොට අප කොතරම් සැලකුවහොත් ඇත්තෙන්ම ඒ උත්තරීත්වය අප සමාජයේ තවත් එකදු ගැහැනියකට ලබා නොදෙන්නේ මන් ද? සත්‍ය වශයෙන් ම ලොව පුරා සම්මානනීය විය යුතු අභිමානවත් හැඳින්වීමක් ලෙස ගැහැනිය පෙන්වා දිය හැකිය. සමාජය තුළ සෑම විටක ම පාහේ පුරුෂාධිපත්‍යයට මුල් තැනක් ලබාදෙයි. නමුත් සමාජය තුළ ජීවනාලිය වන්නේ ගැහැනියයි.
අද වන විට අප සමාජය දෙසට අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ ස්ත්‍රියක වීම ම නිසා ඔවුන්ව සමාජයෙන් කිසියම් රාමුවකට කොටු කර ඇති බවයි.
කාන්තාවන්ගේ අධ්‍යාපනය ගත්ත ද රැකියා අංශය ගත්ත ද විලාසිතාවන් ගත්ත ද අඩුම තරමේ ශරීර හැඩය සහ ඈ සුන්දර ද නැති ද යන වග පවා සමාජයේ නිර්ණායකවලට අනුව තීරණය කිරීම ඉතාමත් අභාග්‍යසම්පන්න කාරණාවකි. මේ තත්ත්වය ලොව පුරා කාන්තාවන් මානසික වේදනා විඳීම නිසා ම කෘත්‍රිමව සමාජයේ සුන්දර යැයි සැලකෙන නිර්ණයකවලට අනුගත වීමට උත්සාහ කරයි. ඒ හේතුවෙන් ම මියගිය කාන්තාවන් ද නැතුවා ම නොවේ. දකුණු කොරියාවේ තරුණියන් ”Perfect Look ”, නම් සමාජීය සුන්දරත්වයේ නිර්ණායකවලට අනුගත වීමට 2023 වසරේ දී ප්ලාස්ටික් සැත්කම් මිලියන 1.2ක් සිදු කර ඇති බව වාර්තා වේ. තව ද අධ්‍යාපනයට ද බොහෝ බාධක ස්ත්‍රීන්ට එල්ල වන අතර, සෑම විටක ම ස්ත්‍රිය ස්වාධීන නොවිය යුතු බව සමාජයෙන්, සංස්කෘතියෙන් හුවා දක්වන බැවින් ස්ත්‍රීන්ගේ සිහින කටු තපා දමන්නේ ද ඔවුන්ගේ ම ආදරණීයන්ගෙන් ම වීම දුක්ඛිත තත්ත්වයකි. බොහෝ ආසියාතික, අප්‍රිකානු රටවල සේ ම ලොව පුරා ම මේ තත්ත්වය දරුණුවටම දැක ගත හැකිය.
ශ්‍රී ලංකාවේ පාසල් ආරම්භ කළ මිෂනාරි ව්‍යාපෘතිය වුව ද ශ්‍රී ලාංකේය තරුණියන්ට ඉගැන්වූයේ වැඩ ලෝකයට යාමටවත්, ස්වාධීන වීමට හා තමන්ගේම නිදහස් මතයක් ඇතිකර ගැනීමට නොව මැහුම් ගෙතුම්, ඉහුම් පිහුම්, ගෙවතු අලංකරණය ඇතුළු නිවෙසේ දෛනික ක්‍රියාවලියන් සිදු කරගන්නේ කෙසේද යන්නයි. ඇත්තෙන් ම සුවබර සෙනෙහබර නිෙවසකට මෙවැනි කරුණු කාරණා හැදෑරීම අත්‍යවශ්‍ය වුව ද ගැහැනිය බිහිවුයේ දෛනික නිෙවසේ වැඩ කටයුතු කිරීමට පමණක් ද යන්න ප්‍රශ්න කිරීමට සිදුවේ.
වත්මන් සමාජය කොතරම් තාක්ෂණික අතින් දියුණු වුවද ආකල්ප අතින් තවමත් ප්‍රාථමික යුගයේ ඇති බවට සාක්ෂියක් වන්නේ සමාජය තුළ ගැහැනිය රැකියා කිරීම අකැප කටයුත්තක් ලෙසත්, ස්වාධීන ගැහැනිය තනිව ජීවත්වීම අකැප ලෙසත් ගැහැනියට තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමටත්, තමන්ගේ හැඟීම නිදහසේ අන්‍යයන්ට දැනවීමත් නුසුදුසු ලෙස සමාජය දැකීමයි. සෑම විටකම පාහේ ගැහැනිය නිරූපණය කරන්නේ සේවිකාවකට සමාන කරමිනි.
ඇත්තෙන් ම ගැහැනිය ද මනුෂ්‍යෙයකි. ලොව පුරාම ගැහැනුන් ඔවුන්ට සිදුවන අසාධාරණකම්වලට කොතරම් නම් හඬ නඟන්නේ …ද? පසුගිය Miss World තරගාවලියේදී පවා “සුන්නත් කිරීම“ පිළිබඳ කතා කිරීම, එනම් ලෝකයේ ම අවධානය ලැබූ එවැනි වේදිකාවක පවා තවමත් ගැහැනියට වන අසාධාරණකම් පිළිබඳව කතා කිරීමට සිදුවීම මනුෂ්‍යයන් ලෙස ඔබත් මමත් අප සැවොමත් පරාජය වී ඇති බවට සාධකයකි. ගැහැනියක වීම නිසාම ලොව පුරාම දෛනිකව කාන්තාවන් 600කට වඩා වැඩි ප්‍රමාණයක් මියයති. ඊටත් එහා ප්‍රමාණයක පිරිසක් මානසිකව පීඩා විඳිති. ඇත්තෙන්ම අද සමාජයේ ඔබ අප දෑස් ඉදිරියේම කොතරම් නම් කාන්තාවන් හිරිහැරයට, අසාධාරණයට ලක්වේද… බස් රථයක, දුම්රියක… වැනි පොදු ස්ථානවලදී පවා ඔබේ දෑස් ඉදිරිපිට කොතරම් නම් කාන්තාවන් අගතියට, අපචාරයට පත්වෙයි ද… ඇත්තෙන්ම එවිට කාන්තාවකට, හිරිහැර කරන පුද්ගලයා සේම ඒ දෙස නොදැක්කා මෙන් ගණන් නොගෙන බලා සිටින ඔබ ද මහත් අපරාධකරුවෙකි.
ඔබ ගැහැනියක වුවද පිරිමියකු වුවද යම්කිසි ගැහැනියක්, ස්ත්‍රියක්, ගැහැනු දරුවකු ඔබේ දැස් ඉදිරිපිට අපහසුතාවට පත් වේ නම් ඔබ ඊට විරුද්ධ විය යුතුම ය. ඔබ සැබෑ පිරිමියකු නම් ඇයව රැකිය යුතු ම ය. ගැහැනිය නාරිලතාවක් වන්නේ ද මහ රූස්ස ගසක් වන්නේ වන්නේ ද සමාජයෙන් එල්ලවන අනුදැනුම යටතේයි.
මතක තබාගන්න. ” මිනිසා විසින් සංස්කෘතිය හා සමාජය නිර්මාණය කළ විනා, සමාජය හා සංස්කෘතිය විසින් මිනිසා නිර්මාණය නොකළ බව. එම නිසා සංස්කෘතික සීමාවන්ට කොටු නොවී, ඔබ ගැහැනියක වුවද ඔබට ඔබේ පියාපත් සවිමත් නම් පියෑඹිය හැකි දුර සීමාවන් රහිත බව හොඳින් අවබෝධ කරගන්න. සංස්කෘතික, සාමාජීය රාමුවලට කොටු නොවී ඔබේ සිහින කරා පියඹන්නට ඔබට එවිට හැකියාව ලැබේවි.
TEXT – ගවේෂා ලොකුසූරිය
