
ජීවනි කරුණාරත්න වෙද නෝනා
ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යනු හුදෙක් ප්‍රතිකාර විධියක් පමණක්ම නොවේ; එය අපේ ජාතික උරුමයේ ජීවමාන සාක්ෂියයි. වසර දහස් ගණනක් ඈතට දිව යන අසහාය ඉතිහාසයකට උරුමකම් කියනා මෙම විශ්වකර්ම ප්‍රතිකාරය අපේ අනන්‍යතාවේ මුදුන් මල්කඩ බඳුය.
එදා ශ්‍රේෂ්ඨ හෙළ වෙද පරම්පරාව තම රහස් වෛද්‍ය වට්ටෝරු හා විස්මිත ප්‍රතිකාර ක්‍රම අනාගතය වෙනුවෙන් සුරක්ෂිතව පුස්කොළ පොත්වල සටහන් කර තැබුවේ මෙම උරුමය පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යාමේ උදාර අරමුණෙනි. එවන් වූ වටිනා උරුමයක් දරා සිටින වෛද්‍ය පරම්පරා අද වන විට ඉතාමත්ම අල්පය. එසේම මෙම වෛද්‍ය ක්‍රමයේ අගය වර්තමානයේ ලොව පුරා විහිදෙමින් පවතී. එය ඉතාමත්ම වටිනා බහුතරය විසින් අගය කරන ප්‍රතිකාර ක්‍රමයක් බවට පත්ව ඇත. අපේ රටේ පමණක් නොව බටහිර රටවල විදේශිකයන් පවා මෙරටට පැමිණ මෙම වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිඵල අත්විඳිමින් සුවය ලබා තිබීම මෙහි විශිෂ්ටත්වය කියාපායි. මෙවන් අමිල වූ ජාතික උරුමයක් ලොවට දායාද කළ, අදටත් එය රැකගන්නා හෙළ වෙද පරම්පරාවට අපගේ ගෞරවය හිමි විය යුතුය.
අප මේ සොයා යන්නේ එවන් ජීවමාන වෛද්‍ය පරපුරක් වූ හොරිවිල වෙද පරම්පරාවේ එකම කාන්තා උරුමයයි…
ජීවනී කරුණානායක මහත්මිය මේ උදාර වූ හොරිවිල වෙද පරම්පරාවේ තිස් වැනි පුරුක නියෝජනය කළ සේනානායක මුදියන්සේලාගේ කවුරාල වෙද මහතාගේ හේරත්හාමිගේ දෙවැනි පරම්පරාවේ එකම කාන්තා පාරම්පරික වෛද්‍යවරියයි. දේශීය වෛද්‍යවරියක් ලෙසින් ඇය මේ උරුමය වර්තමාන සමාජයට ඉතාම නිර්ලෝභී ලෙසින් තිළිණ කරන්නේ විශාල වූ සමාජ සද්කාරයක් ලෙසිනි.
කිසිම ප්‍රචාරයක් හෝ දැන්වීමක් පළ නොකරමින් ඉතාමත් නිහඬ සමාජ මෙහෙවරක නියැළෙන ඇය පදිංචිව සිටින්නේ කිතුල්ගල, බැහැනැල්ල – ඉංගිරියාවත්ත නැමැති ඈත දුෂ්කර ගම් පියසකය.
ඉතාම දුෂ්කර වූ ගමනාන්තයක් සනිටුහන් කරමින් අපි ඇය ප්‍රතිකාර ලබා දෙන වෙද මැදුරට ළඟා වූයේ කැලණි ගංතෙර පසු කරමිනි. එක් පසෙකින් මාකන්දාව රක්ෂිතයත්, තවත් පසෙකින් ඉංගිරියාවත්, කම්බි පාලමත්, දැරණියගල සීමාවත් අතර වූ මෙම ගම සැබැවින්ම ඉතා සුන්දරය.
එම සුන්දර ගමේ අද්දර වූ වෙද මැදුරේ සිරියාව අතරින් ජීවනී කරුණානායක වෛද්‍යාචාරිනිය අපව පිළිගත්තේ මහත් හරසරිනි. එම සුහදශීලී පිළිගැනීමත් සමඟ ඇය පිළිසඳරට මුල පිරුවේ හොරිවිල වෙද පරම්පරාවේ අතීතය සිහි කරමිනි.
“අපේ වෙද පරම්පරාවේ තිස් වැනි පුරුකේ දෙවැනි පරම්පරාව තමයි මම නියෝජනය කරන්නේ” යැයි ඇය කතාව ආරම්භ කළාය. “මගේ සීයා තමයි සේනානායක මුදියන්සේලාගේ කවුරාල වෙදරාලලාගේ හේරත්හාමි. ඔහුට පිරිමි දරුවන් 12 දෙනෙක් හිටියා. ඒ දරුවන්ගෙන් පස්දෙනෙක් පමණයි වෙදකම කරන්නේ. මේ දරුවන් අතරින් මගේ පියා තමයි වැඩිමල්ම.” ඇය පැවසූ පරිදි ඇගේ සීයා 1920 දී උපත ලබා පසුව මොනිටර් විභාගය සමත් වී මෙම පාරම්පරික වෙදකම ආරම්භ කර ඇත. 1957 ගංවතුරින් පසු පරණගම සිට හොරිවිල ගමට පැමිණි සීයා සහ පසුව ඔහුගේ පුතුන් වන තම පියාණන් හා සෙනරත් බණ්ඩාර බාප්පා විසින් මෙම උරුමය ඉදිරියට ගෙන යන වගකීම භාරගෙන තිබේ.

හේරත්හාමී වෙද මහතා
“අපේ සීයා ඩෙන්මාක් මහ රැජිනට වෙදකම් කරල සුව කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී මහ රැජින විසින් හොරිවිලට වාට්ටුවක් හදලා දීලා තියෙනවා” යනුවෙන් ඇය කියා සිටියේ අභිමානයෙනි. එපමණක් නොව ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ බිරියගේ කකුල පෙරළුණු වෙලාවේ හොරිවිල වෙද මහතා ඇයව සුව කළ නිසා හොරිවිල ගම්මානයට අංග සම්පූර්ණ දුම්රිය ස්ථානය, විදුලිය, පානීය ජලය ඇතුළු සියලුම පහසුකම් ලැබී, වෙද ගම්මානයක් ලෙස ස්ථාපිත වීමට මග පෑදී තිබේ.
ජීවනී කරුණානායක වෛද්‍යාචාරීතුමිය පාරම්පරික දැනුමට අමතරව ආයුර්වේද ඩිප්ලෝමා පාඨමාලාවක්ද හදාරමින් මෙම වෘත්තියට පිවිසී තිබේ.
“අපේ වෙද පරම්පරාව මුළු රටම හඳුනගෙන තිබුණේ කැඩුම් බිඳුම් වලට ප්‍රතිකාර කරනවා කියලා විතරයි. නමුත් නවීන සමාජයේ සංකීර්ණ රෝග හමුවේ කැඩුම් බිඳුම් රෝගවලට අමතරව ආතරයිටීස් වැනි රෝග බහුලව පවතිනවා.” ඇය පවසයි.
ඇය අවධාරණය කළේ එවැනි රෝග උග්‍ර වීමට හේතුව වන්නේ කොඳු ඇට පෙළේ කාටිලේජ ප්‍රදේශයේ ඇතිවන විවිධ ආබාධ (Spondylosis) සහ ස්නායු රෝග නිසාවෙන් බවයි. වසර පහළොවක පමණ කාලයක් මෙම වෘත්තියේ නියැළෙන ඇය, කැඩුම් බිඳුම් ප්‍රතිකාරවලට අමතරව සන්ධි රෝග (Joint Diseases) සහ කටීරෝග (Back/Spinal Diseases) සඳහා විශේෂිත ප්‍රතිකාර ලබා දීමට වැඩි අවධානයක් යොමු කර තිබේ.
මෙම වෙද පරම්පරාවේ ප්‍රතිකාර ක්‍රමවල ඇති සුවිශේෂීත්වය නම් කටීරෝග සහ ස්නායු ආබාධ සඳහා ප්‍රතිකාරය. කොඳු ඇට පෙළේ ගැටලු, කොන්දේ කැක්කුම සහ ස්නායු ආශ්‍රිත වේදනාවන් සඳහා ඔවුන්ගේ පාරම්පරික රහස් වට්ටෝරු භාවිතයෙන් සාදන ලද තෙල් වර්ග සහ ඖෂධ භාවිත වේ. සන්ධි රෝග සහ ආතරයිටිස් පාලනය වූ රූමැටොයිඩ් ආතරයිටිස් වැනි උග්‍ර සන්ධි රෝග සඳහා ශරීරය තුළින් රෝගය නිවා දැමීමට උපකාරී වන දේශීය ඖෂධ මෙන්ම බාහිර ආලේපන හා තෙල් වර්ග භාවිතයෙන් සන්ධිවල වේදනාව සහ ඉදිමීම පාලනය කිරීම සිදු කරයි. විශේෂයෙන් කාන්තාවන්ගේ සන්ධි රෝග සඳහා ඇය වැඩි අවධානයක් යොමු කරයි.පරම්පරාවට ආවේණික වූ පුස්කොළ පොත්වල සඳහන් වන, අස්ථි බිඳීම් සහ විස්ථාපනයන් ඉතා ඉක්මනින් සුවපත් කරන සාම්ප්‍රදායික වෙදකම් ක්‍රම තවදුරටත් ඇය විසින් පවත්වාගෙන යනු ලබයි.

ජීවනි මහත්මියගේ පවුලේ සාමාජිකයන්
ජීවනී වෛද්‍යතුමිය තම කාලය මැනවින් කළමනාකරණය කර ගනිමින් මෙම සමාජ සද්කාරය සිදු කරන්නේ කිසිදු ප්‍රචාරයකින් තොරවය. ඇයගේ සැමියා ජිනසේන සමාගමේ තිස්ස ජිනසේන මහතාගේ සහකාර කළමනාකාරවරයෙකු ලෙස සේවය කරන අතර ඔහු හමුවීම මෙන්ම ඇගේ අධ්‍යාපන කටයුතුවලටද ජිනසේන අධිපතිතුමාගෙන් ලැබුණු උපකාර ඇය කෘතවේදීව සිහිපත් කළාය.
“මගේ දුව දක්ෂ මලල ක්‍රීඩිකාවක්. ඇය ජාත්‍යන්තර ජයග්‍රහණ ලබලා දැන් ජාතික කණ්ඩායමේ පුහුණු වීම් කටයුතු කරගෙන යනවා. ඒ කටයුතු නිසා මට වෘත්තීය කටයුතුවලට වැඩි කාලයක් යොදන්න ලැබෙන්නේ නැහැ. ඒත් නිෙවසේ සිට මේ කටයුත්ත සිදු කරනවා. පෝය දිනයේදී වෛද්‍යායතනය සම්පූර්ණයෙන්ම වසා තබනවා” ඇය පවසයි.
“මම මෙම වෘත්තියේ නියැළෙන්නේ සීයාගෙන් ලැබුණු උරුමය රැක ගනිමින් සමාජයට සේවයක් කිරීමේ අපේක්ෂාවෙන්” යන ඇයගේ වචන මුදලට වඩා දේශීය පාරම්පරික වෙදකම රැකගැනීමේ සහ සත්කාරයේ වටිනාකම කියාපායි.
TEXT – දුමින්ද කාරියවසම්
