“අම්මේ! මගේ ඇස් දෙක හොඳටම කසනවා. දැන් ගොඩක් දවස් ඉඳන්”
“හොඳට මූණ සෝදන්න එතකොට ඕක අඩු වෙයි. සෙම නිසා වෙන්න ඇති.”
අපි එදිනෙදා ජීවිතයේදී බොහෝ දේවල් ඉතා සුළුවෙන් සලකා මඟහරිනවා අප කරන පුංචි දේවල් පසුකාලීනව අපට ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ වගේ පුංචි දෙයක බලපෑම නිසා ඇතිවන අක්ෂි රෝගයක් ලෙස keratoconus යන්න හඳුන්වා දෙන්න පුළුවන්. මෙය ඉතා දුර්ලභ රෝගී තත්ත්වයක් වුවත් මෑත කාලය තුළ මෙය පාසල් දරුවන් අතර පවා බහුලව දැක ගත හැකි මට්ටමකට පත්ව තිබෙන බව ශල්‍ය වෛද්‍ය උපදේශක වෛද්‍ය කුසුම් රත්නායක මහතා පවසා තිබෙනවා.
මොකක්ද මේ Keratoconus?
සරලව ගත්විට අපගේ ඇසෙහි මතුපිට ස්තරය (cornea)සෑදී ඇත්තේ ඉංග්‍රීසි C අක්‍ෂරයේ හැඩයටයි. නමුත් මෙම හැඩය ක්‍රමයෙන් කේතු හැඩයකට හැරීම මෙහි සිදුවේ. මේ නිසා පෙනීම බොඳවීම හෝ විකෘති වීම සිදුවේ. මෙම රෝගය සාමාන්‍යයෙන් වයස අවුරුදු 10ත් 40ත් අතර කාලයේදී ඇතිවීමට වැඩි ඉඩකඩක් තිබෙනවා.
කැරටකෝනස් ඇතිවෙන්න හේතු මොනවාද?
මෙම රෝගී තත්ත්වය ගැන ලෝකයේ බොහෝ පර්යේෂණ කළත් තවම නිශ්චිත හේතුවක් සොයාගෙන නැත. නමුත් මීට හේතු කිහිපයක් හඳුනාගෙන තිබෙනවා. ජානමය තත්ත්වයක් නිසා මෙම රෝගය හට ගන්න පුළුවන්. එනම් පවුලේ ලේ ඥාතීත්වයක් ඇති කෙනෙක්ට මෙම රෝගී තත්ත්වය තිබේනම් ඔබට කැරටකෝනස් ඇතිවීමේ සම්භාවිතාවක් තිබෙනවා.කැරටකෝනස් ඇතිවෙන්න තවත් ප්‍රධාන හේතුවක් තමයි නිතර ඇස් කැසීම. අපට විවිධ හේතූන්ගෙන් හෝ ආසාදන තත්ත්වයන් නිසා ඇස්වල කැසීම් තත්ත්වයන් ඇතිවෙන්නට පුළුවන්. එම අවස්ථාවල අප විසින් ඇස් කැසීම නිසා මෙම තත්ත්වය හටගන්න ඉඩකඩ තිබෙනවා.
ඇසෙහි කෝනියා කොටස නැතහොත් ඉදිරිපස කොටස ශක්තිමත් කරන්නේ කොලජන් මඟිනි.ශරීරයේ කොලජන් හීන වීම නිසාත් මෙම රෝගී තත්ත්වය හට ගැනීමට පුළුවන්.
මෙම රෝගය සුව කළ හැකිද?
මෙම රෝගී තත්ත්වයට වර්තමානය තුළ විවිධ ප්‍රතිකාර ක්‍රම සොයාගෙන තිබෙනවා. මෙම රෝගය හටගත් මුල් කාලයේදී හඳුනාගත හැකි වුවොත් ඇස් කාච භාවිත කරමින් මෙය පාලනය කිරීමට පුළුවන්. ඒ සඳහා විවිධ කාච වර්ග වෛද්‍ය විද්‍යාව තුළ සොයාගෙන ඇත. නමුත් බොහෝමයක් දෙනා මෙම රෝගය පිළිබඳ ඇති නොදැනුම්වත්කම නිසා එය හඳුනාගන්නා විට එය තරමක් වර්ධනය වී තිබෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවල වෛද්‍යවරු විසින් CORNEAL CROSS LINKING (CXL)නම් ප්‍රතිකාරය භාවිතයෙන් එම රෝගය වර්ධනය වීම නවත්වනවා.keratoconus රෝගය අධික ලෙස වර්ධනය වී තිබෙන අවස්ථාවලදී ඒ සඳහා Corneal Transplant නම් සැත්කම සිදුකරනවා.
කෙසේ හෝ මෙම රෝගය පිළිබඳ අනිසි බියක් ඇති කරගත යුතු නැත. නමුත් ඇස් දෙක කියන්නේ අපට ගොඩක් වටින දෙයක්. එම නිසා මෙවැනි රෝගයක පෙර ලක්ෂණ ඔබටත් ඇත්නම් ඉතා ඉක්මනින් සුදුසුකම් ලත් අක්ෂි වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ලබා ගන්න. ඔබේ ඇස් දෙක ඔබට ඉතා වටින නිසා එය ඔබේ ඇස් දෙක වගේ රැකගන්න.
ජීවන රටාවේ වෙනස්කම්
ඇස් අතුල්ලන්න එපා. මෙය Keratoconus උග්‍ර කළ හැකි ප්‍රධාන සාධකයකි. ඇස් කැසීම අඩු කිරීමට අක්ෂි බිංදු භාවිත කළ හැකිය.
අක්ෂි පරීක්ෂණ
රෝගයේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට සහ සුදුසු ප්‍රතිකාර ලබා ගැනීමට අක්ෂි වෛද්‍යවරයකු හමුවීම අත්‍යවශ්‍ය වේ.
Keratoconus යනු දිගුකාලීන තත්ත්වයක් වුවද, නවීන ප්‍රතිකාර ක්‍රම මඟින් බොහෝ දෙනෙකුට යහපත් පෙනීමක් පවත්වා ගැනීමට සහ සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකි වී තිබේ. ඔබට මෙම රෝග ලක්ෂණ ඇත්නම්, වහාම අක්ෂි වෛද්‍යවරයකු හමුවී නිසි රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත් වේ.
TEXT – චාරුනී කරුණාරත්න
