Monday, November 24, 2025
Epaper
Home වෛද්‍යවෙනස දුටු සැණින් ක්‍රියාත්මක වන්න

වෙනස දුටු සැණින් ක්‍රියාත්මක වන්න

ආඝාතවලින් සියයට 80ක්ම වළක්වා ගත හැකි ඒවායි

by Shanaka Lakehouse

ආඝාතය, එහෙමත් නැත්නම් Stroke යනු අප කිසිවිටෙකත් නොසිතූ මොහොතක, කිසිසේත්ම නොපතන රෝගී තත්ත්වයකි. හදිසියේම ඇතිවන මෙවැනි තත්ත්වයකදී මොළයේ එක් ප්‍රදේශයකට හදිසියේම රුධිර සැපයුම අඩාළ වෙයි. ඒ මඟින් එම ප්‍රදේශයට අවශ්‍ය ඔක්සිජන් සහ අනෙකුත් පදාර්ථ නොලැබී යාමෙන් එම ප්‍රදේශයේ ස්නායු සෛල මියයයි.

ආඝාතය ඇතිවීමට හේතු

*රුධිර නාළ අවහිර වීමෙන් – ආඝාත බොහොමයක් මෙම ක්‍රමය නිසා ඇතිවේ. ලේ කැටියක් නිසා ලේ නහරයක් අවහිරවීමෙන් මෙය ඇතිවේ.

*රුධිර නාළ පිපිරී මොළය තුළට ලේ ගැලීමෙන් – මොළය තුළ ලේ නහරයක් පිපිරීමෙන් මෙය සිදුවේ.

ආඝාතය නිසා

*ආඝාතය හදිසි මරණයට හේතු වන ප්‍රධානතම රෝගී තත්ත්වයකි. එමෙන්ම එමඟින් තාවකාලික හෝ ස්ථීර ආබාධ තත්ත්වයට පත්විය හැකියි.

⁣මොළයේ එක් එක් ප්‍රදේශ විවිධ කාර්යයන් සඳහා විශේෂ වී ඇත. ලේ ගමන අවහිර වීමෙන් හානි වන මොළයේ ප්‍රදේශ අනුව ඇතිවන ලක්ෂණ තීරණය වේ.

ආඝාතයේ අනතුරු අඟවන රෝග ලක්ෂණ

* හදිසියේ ඇතිවන තද හිසරදය

* හදිසියේ ඇතිවන ගිලීමේ අපහසුතා

* හදිසියේ ඇතිවන පෙනීමේ දුර්වලතා

* හදිසියේ ඇතිවන ඇවිදීමේ අපහසුකම, කරකැවිල්ල සහ සමතුලිතතාවේ වෙනස්කම්

* හදිසියේ ඇතිවන ශරීරයේ එක් පැත්තක් පණ නැතිවීම හෝ දැනීම

(සංවේදනය) වෙනස් වීම

Think Fast. Act Fast

F – FACE – මුහුණේ පැත්තක් පණ නැතිවීම, කට පැත්තකට ඇද වීම

A – ARMS – එක් අතක් (හෝ කකුලක්) පණ නැති වී ඇත්ද?

S – SPEECH – කතාවේ වෙනසක් ඇති වී ඇත් ද?, කතාව පැටලෙනව ද?, ඔබ කියන දේ රෝගියාට තේරුම් ගත හැකි ද?

T – TIME – පමා නොවන්න, වහාම රෝහලට රැගෙන යන්න.

පුංචි ආඝාතය/ Mini Stroke

මෙම තත්ත්වයේදී සිදු වන්නේ ආඝාතයට අදාළ රෝග ලක්ෂණ සුළු වේලාවක් (මිනිත්තු හෝ පැය කිහිපයක්) පැවතීමයි. පැය 24ක් ඇතුළත ‘පුංචි ආඝාත’ සම්පූර්ණයෙන්ම සුව වේ.

පුංචි ආඝාතය යනු මරණයට හෝ ස්ථිර ආබාධිත තත්ත්වයට හේතුවන ලොකු ආඝාතයක පෙරනිමිත්තකි.

ආඝාතයේ රෝග ලක්ෂණ

ඉක්මනින් හඳුනා ගැනීම අතිශයින් වැදගත් වේ. ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීමෙන් ජීවිත බේරා ගැනීමටත් ආබාධිත තත්ත්වයන් අවම කර ගැනීමටත් පුළුවනි.

ආඝාතයට හේතුවන සාධක

මෙහිදී වෙනස් කළ හැකි සාධක මෙන් ම වෙනස් කළ නොහැකි සාධක ද පවතියි.

අධික රුධිර පීඩනය, ලේවල අධික මේද (කොලෙස්ටරෝල්) තත්ත්වයන්, දියවැඩියාව, හද ගැස්මේ අසාමාන්‍යතා, දුම්පානය, තරබාරුකම, ශාරීරික ව්‍යායාම මඳ බව, අධික මත්පැන් පානය, සෞඛ්‍යසම්පන්න නොවන ආහාර පිළිවෙත් වෙනස් කළ හැකි සාධකය.

වයස අවුරුදු 65ට වැඩි වීම, පවුලේ ළඟම ලේ ඥාතියකුට ආඝාතය සෑදී තිබීම, මීට පෙර ආඝාතය /පුංචි ආඝාතය සෑදී තිබීම වෙනස් කළ නොහැකි සාධකය.

* ආඝාතවලින් සියයට 80ක් පමණ වළක්වා ගත හැකියි.

* ආඝාතයන් ඇතිවීමේ අවදානම වැඩිකරන රෝගකාරක තත්ත්වයන් හඳුනාගෙන ඒවා පාලනය කිරීම ඉතා වැදගත් වේ.

* සෞඛ්‍යසම්පන්න දිවි පැවැත්ම ආඝාතය වැළැක්විය හැකි හොඳම ක්‍රමයයි.

* ඔබගේ බර, රුධිර පීඩනය, සීනි මට්ටම් සහ කොලෙස්ටරෝල් මට්ටම නිතර පරීක්ෂා කරගන්න. වෛද්‍ය උප⁣දෙස් අනුව පාලනය කරගන්න.

*ආඝාතය වළක්වා ගැනීමට සමහර ඖෂධ වර්ග භාවිතය වැදගත් වේ. මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

ආඝාතයට ප්‍රතිකාර

* ආඝාතයට ප්‍රතිකාර ඇත.

* ආඝාතය සුව කළ හැකි තත්ත්වයකි.

* ඔබට හෝ ඔබේ සමීපතමයෙකුට Stroke එහෙමත් නැත්නම් ආඝාත තත්ත්වයක් ඇතිවූයේ ද යන්න රෝග ලක්ෂණවලින් හඳුනා ගන්න.

* ආඝාත වර්ග 2ක් තිබේ. ඒ Ischemic(මෙහිදී රුධිරය ගැලීමක් සිදුවේ.) සහ Hemorrhagic( මෙහිදී වන්නේ රුධිර කැටියක් සිරවීමයි.) වැලඳී ඇත්තේ කවර වර්ගයේ ආඝාත තත්ත්වය ද යන්න හඳුනා ගැනීමට CT Scan එකක් කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව ඔබ යායුතු රෝහලේ එම පහසුකම තිබීම අත්‍යවශ්‍ය වේ.

* හැකි ඉක්මනින් රෝහල්ගත වූවිට අදාළ පරීක්ෂණ මඟින් සෑදී ඇත්තේ දෙවැනි වර්ගයේ ආඝාත තත්ත්වය (Hemorrhagic) නම් ඒ රුධිර කැටිය දිය වීමට ඖෂධ එන්නත් මාර්ගයෙන් ලබා දේ.

* රෝග ලක්ෂණ පහළ වී පළමු පැය ඇතුළත, පළමු පැය 3 ඇතුළත රෝහල් ගත වීමෙන් වඩාත් සුව අතට පත් කරගත හැකි වේවී. රෝග ලක්ෂණ පහළ වී පැය 6ක් ගතවීමෙන් පසු රුධිර කැටි දිය වීමට ඖෂධ එන්නත් කළත් බලාපොරොත්තු වන තත්ත්වය කරා යෑමට බොහෝවිට නොහැකි වේවී.

* ඔබ⁣ට හෝ ඔබ දන්නා කෙනකුට ආඝාතයේ රෝග ලක්ෂණ ඇතිවුවහොත් වහාම ළඟම ඇති රෝහලට යොමුවන්න. ආඝාතය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵල සහ ආබාධිත තත්ත්වයන් නිසි ප්‍රතිකාර මඟින් අවම කර ගත හැකියි. මරණය වළක්වා ගත හැකියි.

* “ආඝාතයට බටහිර වෛද්‍ය ප්‍රතිකාර නැැත” යන්න මිථ්‍යා මතයකි. ආඝාතයෙන් ඇතිවන මරණ සහ ආබාධිත තත්ත්වයන් අවම කර ගත හැකි බොහෝ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම දැනට භාවිතයේ ඇත.

* ආබාධිත තත්ත්වයන් අවම කරගැනීමට ඉක්මනින් පුනරුත්ථාපන ක්‍රියාවලිය ආරම්භ කිරීම වැදගත් වේ.

ආඝාතය පිළිබඳ රෝගී සත්කාරක සේවාවන් ලබාගත හැකි රෝහල් විශේෂඥ ස්නායු වෛද්‍යවරයකුගේ සේවාවන් ඇති රෝහල් මේ සඳහා වඩාත් සුදුසුවේ.

*කොළඹ ජාතික රෝහල

*සියලුම ශික්ෂණ රෝහල්(රාගම, කළුබෝවිල, ශ්‍රී ජයවර්ධනපුර, මහනුවර, පේරාදෙණිය, කරාපිටිය, යාපනය, අනුරාධපුර සහ මඩකලපුව)

*සියලුම පළාත් සහ මහ රෝහල් (කුරුණෑගල, රත්නපුර, බදුල්ල, මාතර සහ කළුතර)

*කායික වෛද්‍ය විශේෂඥ සේවාවන් ඇති බොහෝ මූලික සහ දිස්ත්‍රික් රෝහල්

*දිවයින පුරා ඇති බොහෝ පෞද්ගලික රෝහල්

 

TEXT – ආශිර්වාදිනි හෙට්ටිආරච්චි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?