බතික් ඉතාමත් සිත්ගන්නා සුලු කලාවක්. දේශීය සංස්කෘතික, අනන්‍යතාව පිළිබිඹු වන චිත්‍ර මෝස්තර බතික් කලාවට එක් කිරීම මඟින් ශ්‍රී ලංකාවට ආවේණික වූ බතික් කලාවක් ගොඩනඟා ගැනීමට නිර්මාණකරුවන් සමත්ව තිබෙනවා.
ඔබ නිතර දකින බතික් සාරි, ගවුම් සහ හැට්ට වෙනුවට කුඩා දරුවන්ගෙ ඇඳුම් නිර්මාණය කිරීමට පුංචි අදහසක් ලබා දීමට මෙවර තරුණී නුග සෙවණ සුසංයෝගයෙන් බතික් කලාව ගෙන එනවා.
බතික් නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා ක්‍රමවේද කිහිපයකි.
- නැප්තොල් බතික්
- වැට් බතික් (ටයි ඇන්ඩ් ඩයි සිදු කරන්නෙ මෙම සංයෝගයෙන්මයි)
- රිඇක්ටිවු බතික් (ජාවා බතික් සිදු කරන්නේ මෙම සංයෝගයෙන්මයි)
ඒ අතරින් අපි අද කතා කරන්නේ රිඇක්ටිවු බතික්වලට අදාළ ජාවා බතික් නිර්මාණයක් පිළිබඳයි.
අවශ්‍ය ද්‍රව්‍ය
බතික් සඳහා යොදා ගන්නා සුපර් වොයිල් රෙද්දෙන් යාර 1 1/2ක් ( අවුරුදු 3-4 දුවෙකුට ගැළපෙන පරිදි ගවුමකට සරිලන ලෙස)
පුනීලයක්
රිඇක්ටිවු ඩයි
සෝඩා ඈෂ්
කොස්ටික් සෝඩා
ග්ලෝබර් සෝල්ට්
ෆික්සර්
සෝෆින් ඒජන්ට්
පැරපින් ඉටි
මී ඉටි
රෝසින්
රාමුවක්
පින්සල්
පළමු පියවර
ඉටි මිශ්‍රණය සකසා ගැනීම.
පැරපින් ඉටි කිලෝ 1ක්, මී ඉටි ග්‍රෑම් 20ක් රෝසින් ග්‍රෑම් 5ක් ලෙස ගෙන මිශ්‍රණය සකසා ගන්න. පිටපත් කර ඇති නිර්මාණය මත ඉටි අඳින්න.
දෙවැනි පියවර
අවශ්‍ය පරිදි වර්ණ ගල්වා ගන්න
වර්ණය සාදන ආකාරය
සෝඩා ඈශ් යෝගට් හැන්දක්, ග්ලොබර් සෝල්ට් යෝගට් හැන්දක්, වර්ණ හැඳි භාගයක් සහ කොස්ටික් සෝඩා හැඳි භාගයක් ගෙන වතුර අවශ්‍ය ඝනත්වය පරිදි ගෙන දිය කර ගන්න. වතුර ප්‍රමාණය අනුව වර්ණයේ තද හා ළා පාට තීරණය වේ.
තෙවැනි පියවර
පැය 24කට පසු නිර්මාණය වේළුණු විට සම්පූර්ණයෙන් ඉටි කර ගන්න.
හතරවැනි පියවර
යාරයක් සඳහා සෝඩා ඈශ් හැඳි 7ක් , රිඇක්ටිවු වර්ණ හැඳි 7ක් සහ ග්ලොබර් සොල්ට් හැඳි 10ක් යොදාගෙන මිශ්‍රණය සකසා ගන්න. එය බාත් එකකට පෙරා දමන්න. මුලින්ම එයට වතුර ලීටර් 5ක් පමණ රෙද්ද වැසෙන තරමට දා ගත යුතුය. රෙද්ද බාත් එකට දමා හොඳින් අත ගා ගෙන පැයක් පමණ රෙද්ද එහි පෙඟෙන්නට හරින්න.
පස්වැනි පියවර
පැය 6ක් පමණ මඳ පවනෙ රෙද්ද වේළෙන්නට හැර උතුරන ජලය මත හොඳින් ගිල්වා ඉටි ඉවත් කර ගන්න. වතුර ලීටර 10කට සොෆින් ඒජන්ට් බෝතල් මූඩියෙන් එකක් පමණ දමා රෙද්ද සෝදන්න. ඉන්පසු ෆික්සින් ඒජන්ට් 2 වතුර ලීටර 10කට ගෙන රෙද්ද ගිල්වා තබා විනාඩි 20 ක් පමණ තබන්න. පසුව සෝදා මඳ පවනේ වේළෙන්නට හරින්න.
හයවැනි පියවර
වේළාගත් රෙද්ද දෙපැත්තම හොඳින් මැද ගන්න. ඉන්පසු ඔබට රෙදි කැබැල්ල භාවිත කළ හැකියි.
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
