Monday, November 24, 2025
Epaper
Home මනෝ උපදේශනසිහින යථාර්ථයක් කරන රහස් යතුර

සිහින යථාර්ථයක් කරන රහස් යතුර

by Shanaka Lakehouse

සිතන්න, ඔබේ ජීවිත කතාව ඔබට රිසි පරිදි ඔබටම රචනා කරගන්න අවස්ථාවක් ලැබුනෝතින්, ඔව් ඇත්තෙන්ම එවැනි ශක්තියක් ගැනයි අද ලිපිය…

සෑම දිනකම, ලොව පුරා මිලියන සංඛ්‍යාත මිනිස්සු තමන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා එක් සරල, නමුත් බලවත් සංකල්පයක් වෙතට අවධානය යොමු කරති. එනම් විශ්ව ආකර්ෂණ නීතිය (The Law of Attraction) යි. මෙම නීතිය කියා සිටින්නේ, අපගේ සිතුවිලි යනු චුම්බකයක් වන අතර, අප නිකුත් කරන ශක්තියට අනුරූපී දේ අපගේ ජීවිතයට ආකර්ෂණය කර ගන්නා බවයි. “සමාන දේ සමාන දේ ආකර්ෂණය කරයි” යන මෙම දර්ශනය, හුදෙක් නවීන ප්‍රවණතාවක් ලෙස සැලකිය නොහැකි තරම් ගැඹුරු ඉතිහාසයකට සහ පුළුල් විද්‍යාත්මක මෙන්ම අධ්‍යාත්මික පදනමකට හිමිකම් කියයි.

නොවැම්බර් 11 වැනිදාට යෙදී තිබූ 11:11 මොහොත, මෙම ආකර්ෂණ නීතිය භාවිත කරන්නන් අතර සුවිශේෂී උත්සවයක් බවට පත් වූයේ, එය විශ්වයේ ශක්තීන් සමපාත වන “ද්වාරයක්” ලෙස සැලකෙන බැවිනි. එම බලගතු මොහොතේ තබන ලද අරමුණු සහ සිහින වේගයෙන් යථාර්ථයක් බවට පත් වීමේ හැකියාව ඇතැයි විශ්වාස කෙරුණි. එම බලවත්ම ද්වාරය පසුගිය නොවැම්බර් 11 වෙනිදාට යෙදී තිබුණ ද ඔබේ ජීවිත කතාව ඔබටම මේ මොහොතේ දී පවා රචනා කිරීම ඇරඹීමට පුළුවනි.

විශ්ව ආකර්ෂණ නීතියේ මූලික හරය අලුත් දෙයක් නොවේ. එය මානව ශිෂ්ටාචාරයේ මුල්ම යුගයන් දක්වා විහිදී යයි. පුරාණ ඊජිප්තු ගුප්ත ඉගැන්වීම්වල මූලාරම්භය ලෙස සැලකෙන හර්මෙස් ට්‍රිස්මෙජිස්ටස්ගේ ඉගැන්වීම්වල “සමානත්වය සමානත්වයට ආකර්ෂණය වේ” යන මූලධර්මය ගැන සඳහන් වන අතර, බුදු දහමේ කර්මය පිළිබඳ සංකල්පය සහ හින්දු දර්ශනයේ මායා පිළිබඳ අදහස් මානසිකත්වයේ බලය ගැන අවධානය යොමු කරයි. රෝම අධිරාජ්‍යයා වූ මාකස් ඕරේලියස් පැවසූ පරිදි, “ඔබ සිතන දේ ඔබේ මනසෙහි ගුණාත්මකභාවය තීරණය කරයි. ඔබේ ආත්මය ඔබේ සිතුවිලිවල වර්ණය ගනී.” 19 වැනි සියවසේ අගභාගයේදී අ‍ෙමරිකාවේ “නව චින්තන” ව්‍යාපාරය හරහා නූතන ස්වරූපය ගත් මෙම සංකල්පය, වැලස් ඩී. වෝටල්ස්ගේ “The Science of Getting Rich” වැනි කෘතිවලින් පෝෂණය වී, 21 වැනි සියවසේදී රොන්ඩා බර්න්ගේ ‘The Secret’ හරහා ලොව පුරා ප්‍රචලිත විය.

මෙලෙස විද්වතුන් විසින් විවිධ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස නිකුත් කර ඇති මෙම විශ්ව ආකර්ෂණ නීතිය පිළිබඳ අදහස්, අපට පෙන්වා දෙන්නේ අපගේ සිතුවිලිවල බලයයි. සංඛ්‍යා ශාස්ත්‍රය තුළ අංක 11 යනු අධ්‍යාත්මික පිබිදීම සහ උසස් අවබෝධය සංකේතවත් කරයි. බොහෝ දෙනා 11:11,22:22,888, 333,00:00…. දැකීම දේවදූතයන්ගෙන් ලැබෙන සෘජු සංඥාවක් ලෙස අර්ථකථනය කරන්නේ, ඔබ නිවැරදි මාර්ගයේ ගමන් කරන බවත්, ඔබේ සිතුවිලි ක්ෂණිකව යථාර්ථය බවට පත් වෙමින් පවතින බවත්ය. ඔබ කළ යුත්තේ ඔබ එම අවස්ථාවේදී තැබූ අභිප්‍රායන් යථාර්ථයක් බවට පත් කර ගැනීමේ අඛණ්ඩ ක්‍රියාවලියට අවතීර්ණ වීමයි. ඔබගේ ජීවිතයේ නිවැරදි දිශානතිය සහ අභිප්‍රාය පැහැදිලිව ලියා, එය දැනටමත් ලැබී ඇති බවට පූර්ණ විශ්වාසයෙන් සිටීම මෙන්ම, එම අරමුණු සැබෑ වී ඇති ආකාරය සිතින් මවාගෙන, සතුට හා කෘතවේදීත්වය දැනීම ඔබ මීළඟට කළ යුතුම කාර්යයකි. ඔබ ජීවිතයේ මේ වන විට ලැබී ඇති සෑම දේකටම ස්තූතිවන්ත වීම හදවතින්ම කළ යුතුය. ඔබ දන්නවාද, ඔබ උදෑසන අවදි වූවාට පවා කෘතවේදී විය යුතු බව. ඔබේ ජීවිතයේ දැනටමත් තිබෙන දේ සඳහා අවංකව ස්තූති කිරීම ඉතාමත් වැදගත් අංගයක් වන්නේ, එමඟින් ඔබේ කම්පන සංඛ්‍යාතය නිරතුරුවම ඉහළ නැංවීම සිදුවන බැවිනි.

විශ්ව ආකර්ෂණ නීතියේ බලය හුදෙක් ගුප්ත දර්ශනයක් නොව, එය ලොව සාර්ථකම කලාකරුවන්, ව්‍යාපාරිකයන් සහ විද්වතුන්ගේ ජීවිතවලට බලපෑම් කළ මනෝවිද්‍යාත්මක හා අධ්‍යාත්මික මෙවලමක් බවට පත්ව ඇත. ඔප්රා වින්ෆ්‍රි තම සාර්ථකත්වයට හේතුව ලෙස කෘතවේදීත්වය සහ දෘශ්‍යකරණය පෙන්වා දෙන අතර, ජිම් කැරී ඩොලර් මිලියන 10ක චෙක්පතක් ලියාගෙන, එය දැනටමත් සිදුවී ඇති බවට විශ්වාස කළේය. විල් ස්මිත් ද තම සාර්ථකත්වයේ රහස වන්නේ “දෘශ්‍යකරණය” සහ යථාර්ථය නිර්මාණය කිරීමේ හැකියාව පිළිබඳව ඇති නොසැලෙන විශ්වාසය බව පවසයි.

හෙන්රි ෆෝඩ්, ස්ටීව් ජොබ්ස්, සහ ඊලොන් මස්ක් වැනි ව්‍යාපාරික දැවැන්තයන් පවා, තම අරමුණු පිළිබඳව තබාගත් උමතු මට්ටමේ අවධානය සහ දැඩි අභිප්‍රාය තුළින්, ආකර්ෂණ නීතියේ මූලධර්ම භාවිත කළ බව පැහැදිලිය. ෆෝඩ්ගේ සුප්‍රසිද්ධ කියමනක් වන “ඔබට යමක් කළ හැකි යැයි ඔබ සිතුවත්, කළ නොහැකි යැයි ඔබ සිතුවත්, ඔබ දෙපසින්ම නිවැරදියි” යන්නෙන් පැහැදිලි වන්නේ, පුද්ගලයෙකුගේ විශ්වාසය සහ සිතුවිලි ඔහුගේ යථාර්ථය නිර්මාණය කරන බවයි.

විශ්ව ආකර්ෂණ නීතියට විවේචන එල්ල වුවද, නූතන මනෝවිද්‍යාව සහ ස්නායු විද්‍යාව මඟින් “ස්වයං-සම්පූර්ණ වන අනාවැකි” පිළිබඳ සංකල්පය තුළින් මෙම බලපෑම සනාථ කරයි. ධනාත්මක සිතුවිලි මඟින් අපගේ මොළය අපේක්ෂිත අවස්ථා සහ සම්පත් හඳුනා ගැනීමට සූදානම් කිරීම සිදු කරන අතර, විශ්වාසය මතින් ක්‍රියා කිරීමේ ධෛර්යය ලැබීම මෙහිදී ප්‍රබල ලෙසම සිදුවේ. ලොව පුරා විදේශීය භාවිතයේදී, දෘශ්‍යකරණ පුවරු නිර්මාණය කිරීම, තමන්ගේ ඉලක්කය දැනටමත් සපුරා ඇති ආකාරය වර්තමාන කාලයෙන් විස්තර කරමින් ලිපියක් ලිවීම (Scripting) සහ හැඟීම මුල් කරගත් ප්‍රකාශන භාවිත කිරීම නූතන ක්‍රමවේද වේ. ආසියානු සංස්කෘතියේ කර්ම සංකල්පය සහ ෆෙන්ග් ෂුයි වැනි ක්‍රම මඟින් පවා පරිසරයේ ශක්තිය සකස් කිරීම තුළින් යහපැවැත්ම ආකර්ෂණය කර ගැනීම, මෙම නීතියේ ගෝලීය බැඳීම පෙන්වයි.

දැන්, ඔබගේ අභිප්‍රායන් විශ්වයට මුදාහළ ඒ බලවත්ම මොහොතෙන් පසු, 2026 වසර ඇතුළුව ඔබගේ සෑම දිනක්ම, ඔබගේ යථාර්ථය සවිඥානකව නිර්මාණය කරන අඛණ්ඩ ද්වාරයක් බවට පත් කර ගන්න. ඒ සඳහා ඔබගේ අරමුණු ඉතා නිශ්චිතව, මැනිය හැකි ලෙස සහ ධනාත්මකව ලියා, එය දැනටමත් ලැබී ඇති බවට වූ හැඟීමෙන් සහ විශ්වාසයෙන් යුතුව දිනපතාම ක්‍රියා කරන්න. විශ්ව ආකර්ෂණ නීතියේ ඉතිහාසය සහ 11:11 ද්වාරය පිළිබඳ විශ්වාසයන් එක්ව ගත් කල, එය නූතන මිනිසාට ලැබී ඇති අතිශය බලවත් පණිවිඩයකි. එය අපගේ ඉරණම තීරණය කරන්නේ අප අවට ලෝකය නොව, අපගේ අභ්‍යන්තර ලෝකය බවට වූ පුරාණ සත්‍යය යළි තහවුරු කරයි.

එසේනම්, දැන් මෙම පුරාණ රහස සහ නවීන ක්‍රමවේද ඔබගේ අතේය. ඔබගේ සිතුවිලිවල ස්වර්ණමය ගුණාංගය තෝරාගෙන, එය ඔබේ යථාර්ථය ලෙස නිර්මාණය කිරීමට පටන් ගන්න. මන්ද, ඔබගේ ජීවිතයේ මහ පොළොවේ රහසේ මංගල්‍යය දිනපතාම උදාවන්නේ ඔබ තුළින් පමණී.

TEXT – ගවේශා ලොකුසූරිය

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?