අරගලය දියවී යාමත් සමඟ අරගලකරුවන් මර්දනය කිරීම දියත් වී ඇති බව වටහා ගන්නා සන්ධ්‍යා වනිගසුන්දර තම පුතු ගැන බිය වෙයි. නිගූට මාලබේ නිෙවසෙහි තනිවම ඉන්නට ඉඩ නොදී ටික දවසකට බණ්ඩාරගම හෝ කහතුඩුවෙහි නතර කළ යුතු යැයි ඈ සිතයි. නිගූ බලන්නට කිහිපවරක් මාලබේ නිෙවසට පැමිණිය ද ඇයට නිගූ හමු නොවෙයි. නිගූ ඇයට දී තිබෙන යතුරින් දොර හැර නිගූගේ සියලු ඇඳුම් සෝදා, ගේ අස්පස් කර වොෂ් රූම් සෝදා ෆ්‍රිජ් එක ද අස්පස් කර දමයි. මුළු ගෙබිමම මොප් කර අවසානයේ තේ එකක් හදාගෙන බී ආපසු එන්නට සූදානම්ව නිගූගේ නිදන ඇඳ මත ඇල වී ටික වේලාවක් ඇස් පියා හිඳියි.
අම්මා ඇවිත් ගොස් තිබෙන බව දැන ගත් පසු නිගූට ඉක්මනින්ම අම්මා දැකීමට වුවමනා වෙයි. හැමදේම පිළිවෙළකට අස්පස් කර ගේ පුරා ඇති වී තිබෙන නැවුම් බව ඔහුගේ යටි පතුල්වලට පවා හැඟෙයි. එබඳු දවස්වල ඔහුට අම්මාගේ ආදරය අමුතුවෙන් දැනෙයි. එහෙත් කවුරු හෝ ගෑනු පරාණයක් මෙහි පැමිණ තිබෙන බවට අම්මාගේ ගැහැනු ඉවට හසුවේ දැයි බියක් නිගූ තුළ ජනිත වෙයි. අසෙනි ගැන අම්මාට කියන්නට සිතා සිටි අවස්ථා කිහිපයක් කොහොමින් කොහොමින් හරි මඟ හැරී ගොස් තිබෙයි. අසෙනි ගැන කියූ සැණින් අම්මාට ඈ ගැන විස්තර සොයා බැලීමටත්, ඈ සමඟ ඉක්මනින්ම කතා කිරීමටත් හදිසි වන බව නිගූ දනියි. අසෙනිගේ විදිහ අම්මා කුමන ආකාරයකින් වටහා ගනු ඇද්දැයි ඔහු තුළ දෙගිඩියාසහගත බියක් ඇති වෙයි. අම්මා එකවරම අසෙනි ගැන පැහැදීමක් හෝ අපැහැදීමක් ඇති කර නොගන්නා බව ඔහුට විශ්වාසයි. කුමන හැඟීමක් ඇති වුවද ඈ ලේසියකට ඒ නිරීක්ෂණය හෝ හැඟීම ඉඟියකින්වත් පිටතට පළ නොකරන බවද ඔහු දනියි. අම්මාගෙන් කවර හෝ අනුමැතියක් හෝ අනුබලයක් නැති වුවද අඩු තරමේ ඇගේ විරුද්ධ නොවීමක්වත් අවබෝධ කර ගැනීමෙන් තොරව තීරණයකට එළඹිය නොහැකි බැව් ඔහු දනියි.
කාංචනා වෙනස් වීමෙන් නිගූ තුළ හටගත් දරුණු මානසික ආතතියත්, පරාජිත හැඟීමත්, ආත්මානුකම්පාවත් මඳක් හෝ සංසිඳී ගියේ අසෙනි නිසයි. ඒ බව නිගූ දනියි. අසෙනිට තමා වෙත පිවිස තමා තුළ රිසි සේ සැරිසරන්නට ඇයට ඉඩ දී තවමත් ඈ ගැන නිශ්චිත තීරණයකට නොඑළඹීමෙන් කර ඇත්තේ වරදක් නොවේදැයි ඔහු සිතයි. අසෙනි කීපවරක්ම අම්මාගේ අනුමැතිය ගැන නිගූගෙන් අසයි.
“ඔයා තාම අපි ගැන අම්මට කිව්වෙ නැද්ද? මට නම් ඔයා අයිති කර ගන්න ඕෙන එයාගේ වචනෙ විතරයි. වෙන කවුරු මොන මොනවා කිවුවත් මම නම් ඔයා ළඟින් හෙල්ලෙන්නෙ නෑ..”
ඈ එසේ කියන විට නළලත හෝ ගෙල මත තබන හාදුවකින් එය පිළිගත්ත ද අම්මාට ඒ ගැන කෙසේ කියන්නේද වත් ඔහු ඒ මොහොතේ නොසිතයි. අසෙනි ගැන මීට වඩා වගකීමෙන් නොසිතුව හොත් තමා අවස්ථාවාදීව හැසිරෙන්නේය යන වරදකාරී හැඟීමෙන් ඔහුට ගැලවීමට නොහැකි බැව් ඔහු දනියි. එහෙත් අම්මා සමඟ ඒ ගැන කතා කිරීමට නිගූ තුළ ඇති බිය නාට්‍යමය අවස්ථාවක් දරා ගැනීමට ඇති දෙගිඩියාසහගත ආතතියකට සමානයි.
නියමිත වැඩක් නොයෙදුණු සෙනසුරාදාවෙහි උදෙන්ම ඇරැව්වලට ගොස් අසෙනිව බලා දවල් වී අම්මා බැලීමට බණ්ඩාරගම යා යුතුයි. එසේ සිතා නිගූ අසෙනිට ගත් ඇමතුමෙන් ලද ප්‍රතිචාරය එකවරම ඔහු අන්දමන්ද කර තිබෙයි.
“ඉඳලා හිටලා හිතිච්චහම ළඟ තියාගෙන ටයිම් පාස් කරන්නද මං ඉන්නෙ..”
අසෙනි, ලේසි පාසු පෑරීමකින් තොරව එවැනි වචන පෙළක් පිට නොකරන බව නිගූ දනියි. පසුගිය සති කිහිපයේ අසෙනි හමුවන්නටවත් වෙලාවක් වෙන් කර ගැනීමට නොහැකි වීම ගැන ඔහු මේ දැන් පසුතැවුණ ද සැබවින්ම ඔහුට ඒ වෙනුවෙන් වෙලාවක් සොයා ගැනීම අපහසු වෙයි.
පළමු දා ඈ ඔහුට එවා තිබුණු වට්ස්ඇප් පණිවුඩය යළිත් කියවා බලයි.
“ඔයාට මොනතරම් වැඩ තිබුණත් වුවමනාවක් තිබ්බ නම් මාව බලන්න එන්න තිබුණා. ඔයා ඔයාගේ හිතෙන් අහල බලන්න.. මට හිතෙන්නෙ ඔයාගෙ හිත වෙනස් වෙලා.. අපරාදෙ මං මේ තරම් ඔයාට ළං වුණේ… මං කොයිතරම් නිදහසෙන් ද හිටියෙ.. මං බය වුණා ආයෙ සම්බන්ධයක් පටන් ගන්න.. මට සම්බන්ධකම් දැනුණෙ මාව හිරකිරීමක් විදිහට ..ඒත් ඔයා මාව හිරකරන්නෙ නැතුවම මාව ඔයාගේ ආදරේ ඇතුළෙ හිර වුණා..”
අසෙනිගේ දිග වට්ස්ඇප් මැසේජයෙහි සමහර කොටස් තමා අතින් නොදැනුවත්වම මඟ හැරී ගොස් තිබුණේ කෙසේ දැයි නිගූ කල්පනා කරයි. අසෙනිගේ වට්ස්ඇප් පණිවිඩයේ අවසන් වැකිය අසල නිගූ මඳක් නතර වෙයි. ඔහුගේ නහය බුරුල් වෙයි. ඇස් තෙත් වී ස්ක්‍රීනයේ අකුරු බොඳ වෙයි.
“ඔයා බයවෙන්න එපා. මං ඔයාව ඔයාගේ අම්මා වගේම බලාගන්නම්.“
තවත් කොටසකින් හමුවෙමු
