Tuesday, December 2, 2025
Epaper
Home නීතියනොබෙදූ ඉඩමක අයිතිය බෙදා ගන්නා සරලම ක්‍රමය

නොබෙදූ ඉඩමක අයිතිය බෙදා ගන්නා සරලම ක්‍රමය

by Shanaka Lakehouse

ඉඩම් මායිම් ප්‍රශ්න, ඉඩම් බෙදුම් නඩු කියන එක අපේ සමාජය ඇතුළෙ අරුම පුදුම දෙයක් නෙවෙයි. එක ළඟ තියෙන ඕ‍ෙනම ගෙවල් දෙකක් අතර මායිමට ප්‍රශ්නයක් තියෙන එක, නොබෙදූ ඉඩමක ජීවත් වන සහෝදර සහෝදරියන් අතර ප්‍රශ්න ති‍ෙයන එක මේ සමාජය තුළ සාමාන්‍ය දෙයක් වෙලා. සමහරෙක් ඉඩමේ මායිම විශාල කරගන්න නීති අලුතින් තමන් විසින් සකස් කරගන්නා අවස්ථාද එමටයි. නීතිඥ ප්‍රසාද් හර්ෂණ ජනානන්ද මහතා සමඟ කළ මේ කතාබහ නොබෙදූ ඉඩම් නිසා, අපැහැදිලි ඉඩම් මායිම් නිසා බැට කන ඕ‍ෙනම කෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි.

ඉඩම් ආරවුලක් ඇති වන අවස්ථා

“රෝම ලන්දේසි නීතියට අනුව තමයි ලංකාවේ වර්තමාන නීති පද්ධතියේ බහුතරයක් නීති සකස් වෙලා තියෙන්නේ. ඊට අමතරව ලංකාවේ පැවති ප්‍රාදේශීය නීති දේපළ නීතිය සඳහා බලපෑම් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට උඩරට නීතිය, තේසවලාමේ නීතිය, මුස්ලිම් නීතියට අනුව දේපළ හා ඉඩම් බෙදී යාම පිළිබඳ නීති සඳහා බලපාලා තියෙනවා. මෙන්න මේ නීතිවලට අනුව තමයි ඉඩම් සම්බන්ධ ආරවුල් සමථයකට පත් කිරීම හෝ ඉඩම් බෙදීම් නඩු ක්‍රියාත්මක වෙන්නේ. ලංකාවේ නගරබද සහ ගම්බදව ඉඩම් මායිම්වලට ආරවුල් ඇති වෙන අවස්ථා කිහිපයක් තියෙනවා. නිශ්චිත මායිම් සලකුණු කරලා නැති අවස්ථාවල, මායිම් පිළිබඳ පැහැදිලි අදහසක් තිබුණත් ඒ පිළිබඳව පිඹුරුපතක ලකුණු වෙලා නැති අවස්ථාවල, පාරිසරික සාධක මත තමන්ගේ ඉඩම් සීමා හිතාගන්න බැරි නිසා වගේ හේතු මේ ආරවුල්වලට හේතු වෙනවා. මීට අමතරව තමන්ගේ ඉඩම විශාල කර ගැනීමේ ආශාව බලවත් වීම මතත් ඉඩම් ආරවුල් ඇති වෙනවා. ලංකාවේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ මායිමට මායිම්ව අනිත් ඉඩමේ ගහක්, ගොඩනැඟිල්ලක් තියෙන එක. මේ සම්බන්ධව සෑහෙන ගැටලු ඉඩම් හිමියන්, අසල්වැසි පවුල් අතර ඇති වෙලා තියෙනවා. සමහර අවස්ථාවල මායිමේ තියෙන වටිනා ගස් සම්බන්ධව දෙපාර්ශ්වයෙන්ම අයිතිය කියනවා. ඒ වගේම ගෙදර කොටසක් මායිමට තියෙන අවස්ථාවක අර්බුද ඇති වෙනවා. පරණ හදලා තිබ්බ මායිම් පිළිබඳ මතකයක් නැති වීම මත ආරවුල් ඇති වෙනවා.”

ආරවුල් සහිත ඉඩම්වල මායිම් තීරණය කරන්නේ මෙහෙමයි.

“ලංකාවේ ඉඩම් වර්ග දෙකක් තියෙනවා. එකක් රජයේ ඉඩම්, අනික පෞද්ගලික ඉඩම්. පෞද්ගලික ඉඩම්වල මායිම් අනුව ඉඩම් වර්ග දෙකක් තියෙනවා. එකක් පිඹුරුපත් ඇඳලා සටහන් කරපු ඉඩම්, අනෙක නොබෙදූ ඉඩම්. මේ ඉඩම් කොටස් දෙකෙන් නොබෙදූ ඉඩමක මායිමක් නිර්ණය කරගනිද්දි පාර්ශ්වවල එකඟතාවක් අනුව බෙදා ගත හැකියි. ඉඩමක මායිමක් වෙනස් කරන එක කාටවත් ඕ‍ෙන ඕ‍ෙන විදිහට කරන්න බෑ. නැතිනම් අනිවාර්යයෙන්ම දිසා අධිකරණයේ බෙදුම් හෝ ඉඩම් නඩුවක් දාලා තමන්ගේ සීමා නිර්ණය කර ගන්න පුළුවන්. පෞද්ගලික ඉඩම්වල තමන්ගේ පිඹුර අනුව තමයි මායිම තීරණය වෙන්නේ. ප්‍රමාණය හා සීමාවන් අනුව මායිම තීරණය වෙන නිසා තමන්ට කොපමණ අවශ්‍ය වුණත් මායිම් වෙනස් කරගන්න අවස්ථාවක් නෑ. නොබෙදූ ඉඩමක් පිළිබඳ මායිමක් තීරණය කරද්දි ක්‍රම කිහිපයක් තියෙනවා. එකක්, ඒ ඉඩමට අදාළ අයිතිකාර පාර්ශ්වයන් සියල්ලගේම එකඟතාව මත මායිම නිර්ණය කිරීම. X කියන ඉඩම් කොටසට A, B, C කියන අයිතිකාරයෝ තුන්දෙනෙක් ඉන්නවා කියලා හිතමු. මේ තුන්දෙනා වෙන වෙනම තමන්ට බෙදිය යුතු, ලැබිය යුතු ඉඩම මෙන්න මේ කොටස් කියලා එකඟතාවකින් කියනවනම් කිසිදු ප්‍රශ්නයක් නැතිව මේ ඉඩමට සමගි බෙදුම් ඔප්පුවක් සකස් කළ හැකියි. ප්ලෑන් එකක් හදලා, පිඹුරක් හදලා මේ පිඹුරට අනුව සමඟි බෙදුම් ඔප්පුව සකස් කරනවා. අනෙක් කරුණ මේ පාර්ශ්වයන් එකඟතාවකින් බෙදා ගන්න කැමති නැතිනම් දිසා අධිකරණය තුළ බෙදුම් නඩුවක් දාලා ඒ නඩුවට අදාළව තමන්ට අයිති විය යුතු කොටස් පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරනවා. එහිදී ඒ ඒ පුද්ගලයාට ඉඩමේ අයිතිය ඇති කොටස පිළිබඳ ප්‍රකාශයට පත් කරන්නේ සහ තහවුරු කරන්නේ දිසා අධිකරණය මඟින්. ලංකාවේ ඉඩම් ආරවුල්වල තවත් ප්‍රවණතාවක් තමයි, එකම පවුලේ සහෝදර සහෝදරියන් අතරේ නිශ්චිතව තමන්ගේ ඉඩම පිළිබඳ පැහැදිලි අදහසක් නැති වුණාම ඉඩම් ආරවුල් ඇති වෙනවා. වඩාත්ම පහසු දේ මේ වගේ ආරවුල් සහගත අවස්ථාවක ඉඩම් අයිති සියල්ලගේ එකඟතාව මත තීරණය ගන්න පුළුවන්නම්, ඒක සියලුම පාර්ශ්වයන්ට පහසුයි.

අපි හිතමු, මේ ඉඩම් ආරවුල ඇති වෙලා තියෙන්නේ පාර්ශ්ව දෙකක් අතර කියලා. දෙපාර්ශ්වයක් අතර මායිමට ප්‍රශ්නයක් ආව වෙලාවක දිසා අධිකරණයේ ඉඩම් නඩුවක් ගොනු කරලා ඒ ඉඩම් නඩුවෙන් තීරණය කරනවා කාටද, මොන ආකාරයට ද ඉඩම තීරණය වෙන්නේ කියලා. එහෙමත් නැති අවස්ථාවක සාමාන්‍ය පුද්ගලයෙක් සරලව තම නොබෙදූ ඉඩමක මායිම් සකස් කර ගැනීමේ දී අවශ්‍ය වෙන්නේ භුක්තිය කොපමණ කාලයක් තිබුණාද කියන සාධකයයි. කිසිම කෙනෙක්ගේ ආරවුලක් නැතුව බාධාවක් නැතිව දීර්ඝ කාලයක් (ආසන්න වශයෙන් වසර දහයක්) ඒ ඉඩම තුළ, ඔහු පෙන්වන සීමා මායිම් තුළ ජීවත් වෙලා තියෙනවා නම්, අධිකරණය මඟින් පහසුවෙන් අපේ වාසියට ඉඩම් සීමා නිර්ණය කරගන්න පුළුවන්.”

නිරවුල් ඔප්පු හිමිකමක් ලබා ගන්න ආකාරය

“මේ වෙද්දි පෞද්ගලික ඉඩම්වලට බලපාන ඉඩම් නීතිය සහ එහි කොටසක් විදිහට, හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත මඟින් රජය ‘කැඩැස්තර සිතියමක්’ ඒ කියන්නේ, ප්‍රදේශයටම අයිති වන විදිහට ඉඩම් මැනීමක් කරලා ඒ ඉඩම්වලට සීමාවක් දාලා රජය මඟින් හිමිකම් සහතිකයක් ලබා දෙනවා. එහි පළමු පන්තියේ හිමිකම සහ දෙවැනි පන්තියේ හිමිකම කියලා කොටස් දෙකක් තියෙනවා. පළමු පන්තියේ හිමිකමක් තියෙන කෙනෙක්ට පැහැදිලිව නිරවුල් ඔප්පු හිමිකමක් ලැබෙනවා.

මේ දවස්වල ගොඩක් අය අහන දෙයක් බිම් සවිය ඔප්පුව පිළිබඳ. බිම් සවිය හරහා මේ වගේ හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාංශය මඟින් නිර්ණය කරපු සීමාවන් සහිත පිඹුරක් සහ ඔප්පුවක් තමයි හිමි වෙන්නේ. එහි නිශ්චිත වශයෙන් සීමා තීරණය වෙලා තියෙන්නේ. එහෙම නැති ඉඩම්වල තමයි බහුලවම මේ ඉඩම් ආරවුල් ඇති වෙන්නේ”.

ඉඩම් නඩුවකට දීර්ඝ කාලයක් යන්නේ ඇයි?

“කා අතරත් ජනප්‍රිය කතාවක් තමයි ඉඩම් නඩුවක් යනවනම් සෑහෙන කාලයක් ඒ නඩුව ඇදෙනවා කියන එක. ඒකට හේතුව කිසිම අවස්ථාවක නිවැරදිව සොයා බැලීමකින් තොරව අධිකරණයට ඉඩමක් පිළිබඳ තීරණයක් ලබා දිය නොහැකියි. පැහැදිලි සාක්ෂි අරගෙන, කොමිසමක් මඟින් සිතියම් ඇඳලා, වාර්තා කැඳවීමක් කරලා දීර්ඝකාලීන පැහැදිලි නඩු විභාගයකින් තමයි යම් පුද්ගලයකුට ඉඩමක් පිළිබඳ අයිතිය ලබා දෙන්නේ. අන්න ඒ නිසා ඉඩම් නඩු දීර්ඝ කාලයක් ඇදෙන එක නවත්තන්න බෑ. “

දීර්ඝ කාලයක් තමන්ගේ අයිතීන් බුක්ති විඳිමින් ජීවත් වන පරිසරය කුමන හෝ තත්ත්වයක් මත අත්හැරීමට කිසිම කෙනෙක් කැමැති නැත. එනිසාම ඔවුන්ගේ ජීවිතය තුළ පවුලට සාපේක්ෂව නි‍ෙවස සහ ඉඩම පිළිබඳව ද වටිනාකමක් පවතී. විවිධ ආරවුල් මත ඉඩම් මායිම් නිසා පීඩාකාරී වටපිටාවක ජීවත් වන කවුරු වුවද අනෙකාගේ මානසික මට්ටම සහ පහසුව ද සිතිය යුතු ය. නීතිය දැන, නීතියට අනුව ඉඩම් පිළිබඳව කටයුතු කළ යුතු ය.

TEXT – රුවංගා දිසානායක

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?