සීතල නත්තල් සමය සැබෑම ආදරණීය වන්නේ පොඩිත්තන්ටයි. මේ අවුරුදු 3-4 වයසේ පුංචි දියණියකට සරිලන ගවුමකි. රතු පැහැය එයට අපුරු සුන්දරත්වයක් එකතු කරාවි. සාමාන්‍යයෙන් පුංචි දරුවන්ගේ මිමිවල ඉණ හා පපුව අතරේ ලොකු වෙනසක් නැහැ. ඒ වගේම කුඩා දියණියකගේ මිමි ගැනීමේදී ඉණ සහ පපුවට වැඩි බුරුලක් දීමට ද සැලකිලිමත් විය යුතුයි.
මිමි සැකසීම
උරහිස – අඟල් 9″
පපුව වට – අඟල් 23″
ඉණ වට – අඟල් 22″
කර වට – අඟල් 10″
කර ගැඹුර – අඟල් 2 1/2″
උරහිස සිට ඉණ දක්වා උස – අඟල් 9 ”
ඉණ සිට පහතට සාය දිග – අඟල් 15″
මිමි සැකසීම
පළමුව අපි ගවුමේ ඉදිරිපස කඳ කොටසේ පතරොම සකසා ගනිමු. පතරොමක් ලෙසට සකසා එය රෙද්දේ තබා කපා ගැනීම හෝ රෙද්දේම මිමි තබා කපා ගැනීමට ඔබට පුළුවන්.
* පළමුව පතරොම සැකසීමට අදාළ කොළයේ තිරස් හා සිරස් අතට රේඛා දෙකක් ඇඳ ගන්න.
* උරහිස දෙකට බෙදා ලැබෙන අගය තිරස් රේඛාව මත ලකුණු කරන්න.
* ඒ ලකුණු කළ තැන සිට අඟල් 1/2ක් පහත්කර උරහිස් රේඛාව ඇඳගන්න.
* කර ගැඹුර හා පළල ලකුණු කිරීම සඳහා කර වටා මිම්ම හතරෙන් බෙදා ලැබෙන අගය කර පළලටත්, කර ගැඹුරටත් ලකුණු කරන්න.
* පපුව ලකුණු කිරීම සඳහා පපුව වට මිම්ම හතරෙන් බෙදා අඟල් 1/2ක් එකතු කරන්න.
* පපුව හා අත්කට ලකුණු කිරීම සඳහා උරහිස රේඛාවේ මුල සිට පහළට, දෙකට බෙදාගත් උරහිස ප්‍රමාණයට අඟල් 1/2ක් එකතු කර පහළට ලකුණු කරන්න.
* එම ලකුණු කළ තැන සිට තිරස් රේඛාවක් ඇඳ ඒ මත පපු මිම්ම ලකුණු කරන්න.
* පපු මිම්ම හතරෙන් බෙදා අඟල් 1/2ක් එකතු කර එම රේඛාව මත ලකුණු කරන්න.
* අත්කට ඇඳගැනීම සඳහා උරහිස මිම්ම අග සිට පහළට රේඛාවක් අඳින්න. එය පපු මිම්ම රේඛාව කැපී යන ලෙසට ඇඳගන්න.
* කිහිලි කට වක්‍රව හැඩ කරගන්න.
* ඉණ ලකුණු කිරීමට ඉණ මිම්ම හතරෙන් බෙදා අඟල් 1/2ක් එකතු කරන්න.
* කර සිට ඉණට අදාළ කඳේ උස ලකුණු කර ඒ මත තිරස් අතට රේඛාවක් ඇඳ ඒ මත ඉණ මිම්ම ලකුණු කරන්න.
පිටුපස කඳ පළුව සැකසීම
ඉදිරිපස පළුවෙන් පිටුපස පළුව සකසා ගන්න.
ඉදිරිපස පළුවේ කරට වඩා පිටුපස ගැඹුර කර V හැඩයට ගන්න.
සාය
* ඉණේ ප්‍රමාණය හා දෙගුණයක් සාය සඳහා ගන්න. එය ඔබට අවශ්‍ය පරිදි අඩු වැඩි කර ගැනීමට හැකියි. සාය උස සඳහා ගත් මිම්මට අඟල් 1 1/2ක් වැඩිපුර තබා කපාගන්න.
කපා ගැනීම
* කඳ කොටස කපා ගැනීමේදී ඉදිරිපස හා පිටුපස පළු දෙක, දෙක බැගින් කපාගන්න. (ලයිනින් කිරීම සඳහායි එසේ කොටස් දෙක බැගින් අවශ්‍ය.)
* ඔබ ගවුම මැසීමට තෝරා ගන්නේ 100%ක් කපු නොවන රෙදි නම් අනිවාර්යයෙන් කඳ හා සාය කොටස් දෙකම ලයිනින් කිරීම වඩා සුදුසුය.
* ලයිනින් කිරීම තුළින් දරුවාට පහසුවක් වගේම නිමැවුමත් අලංකාරයි.
මසා ගැනීම
* කඳ කොටස මැසීමේ දී ඉදිරිපස කොටස හා පිටුපස කොටසේ උරහිස් එකට එකතු කොට මසා ගන්න. ලයිනින් කොටස් ද ඒ ආකාරයටම මසා ගන්න.
* ඉන්පසු එම කොටස් දෙකේම හොඳ පිට පැත්ත ඇතුළට තබා කර හා අත් මසාගෙන නැවත හරවාගන්න.
* පිටුපස බෝ එක සඳහා අඟල් 20ක් පමණ දිග, අඟල් 1 1/2ක් පමණ පළල පටි දෙකක් මසාගන්න. එය කඳ කොටස් දෙක මූට්ටු කිරීමේ දී දෙපැත්තට තබා මසා ගන්න.
* සාය රැළි කොට කඳ කොටසට අල්ලා ගන්න. ලයිනින් කොටසත් ඒ ආකාරයටම ලයිනින් කඳ කොටසට අල්ලා ගන්න.
* පිටුපස සාය කොටස මැද විවරයක් තැබීමටද මතක තබා ගන්න
* පිටුපස කඳ කොටසේ විවරයට බොත්තම් කිහිපයක් අල්ලාගන්න.
* අලංකාරයට කුඩා මල් කිහිපයක් ඉදිරිපසට අල්ලාගන්න.
* පුංචි සාක්කුව ගවුමේ සායට වෙනම සිටිනසේ මසා ගැනීමටත් පුළුවන්. නැතිනම් වෙනම කරේ දාගෙන යන ලෙසට මැසීමටත් පුළුවන්.
* එහි දිග අඟල් 5 1/2ක් හා පළල අඟල් 4 1/2 ලෙසට ගත හැකියි. පුංචි මල් කිහිපයක් එයටද මසා අලංකාර කරගන්න.
* කොණ්ඩය අලංකාරය සඳහා (hair band) එක සඳහා අඟල් 25 පමණ දිග , අඟල් 1ක් පමණ ප්‍රමාණය සිටින සේ පටියක් මසාගෙන ඊට අඟලේ ඉලාස්ටික් දමා මැදට බෝ එකක් අල්ලා අලංකාර කරගන්න.
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
Line Art – නිලක්ෂි ආරියරත්න
