මහා සාගරයේ චණ්ඩ ජල රළ වැල් පරයා සිය මවු කර තබාගෙන පිහිනූ බෝසතාණන් වහන්සේ ගැන කියැවෙන මාතුපෝෂක ජාතකය ඔබ කවුරුත් අසා ඇතුවාට සැකයක් නැත. වසර දහස් ගණනකට පෙර දුරාතීතයේ එවන් බෝසත් පුතුන් ගැන ජාතක කතා පොතෙන් අප අසා තිබුණද අද සමාජයේ එවන් පුතුන් දැක ගත හැකි වන්නේ කලාතුරකිනි.
මෙවර අම්මාවරුනේ විශේෂාංගයේදී එවන් බෝසත් පුතෙක් සමඟ අපි කතා බස් කෙරුවෙමු. හදිසි අනතුරකින් එක්තැන් වූ මව මෙන්ම රෝගී වූ පියා ආදරයෙන් රැක බලා ගනිමින් සිය රැකියාවේ කටයුතුද සමබරව කරගෙන ගිය ඔහු ජාතික රූපවාහිනි සංස්ථාවේ අප කවුරුත් හඳුනන නිවේදකයෙකි. ඔහුගේ මව මෙන්ම පියාද පසුගියදා එකම දිනයක සිය පුතුගෙන් මෙන්ම මෙලොවින්ද සමු ගත්තේ කාගේත් දෙනෙතට කඳුළක් එක් කරමිනි. එවන් මවකට පියෙකුට පුතෙක් වූ අප කවුරුත් හඳුනන ප්‍රවීණ රූපවාහිනි නිවේදක දුෂාන්ත දර්ශන සිය මව ගැන මතකය අප සමඟ බෙදා ගත්තේ මේ ආකාරයෙනි.
මගේ අම්මා මාතලේ සිංහපුර ජයසිංහ ආරච්චිගේ ඥානශ්‍රියා දයංගනී. මගේ තාත්තාගේ නම කේ.පී. යසවර්ධන. මං පුංචි කාලේ තාත්තට වඩා ළඟින් ඇසුරු කළේ අම්මාවයි. අම්මා රැකියාවක් කළේ නෑ. තාත්තා රැකියාව කරමින් මගේ අඩුපාඩු සම්පූර්ණ කළා. පවුලේ එකම දරුවා විදිහට උදේ හවා මාව මලක් වගේ ආදරයෙන් රැක බලා ගත්තේ මගේ අම්මායි. පුංචි කාලයේ ඉඳන්ම මගේ වැඩ කටයුතු කිරීම හැර ඇයට වෙනත් ජීවිතයක් තිබුණේ නෑ. මං ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ගොඩගම සුභාරති විද්‍යාලයෙනුයි. මා ජීවත් වන ඉංගිරියේ සිට ගොඩගමට යන්නට පැය එකහමාරක පමණ කාලයක් ගත වෙනවා. ඉතින් පාසල් දිනවලදී මට කෑම හදලා දෙන්නට අම්මා උදේ පාන්දරින්ම නැඟිටිනවා. අනතුරුව මට අන්දවලා මාව පාසලට අරගෙන ගියෙත් අපේ අම්මයි. උදේ පාන්දර මාව පාසලට එක් කරගෙන යන අම්මා පාසල් නිම වන තුරු පාසල ළඟ රැඳී සිටිමින් මාව නැවතත් අරගෙන ගෙදර යනවා.
මා ශිෂ්‍යත්ව විභාගය සමත් වී කොළඹ නාලන්දයට ගියායින් පස්සෙත් ඇය වසර දෙක තුනක්ම මා සමඟ දිනපතා කොළඹ ගිය සැටි මතකයි. මා ස්කූල් බස් එකට හුරු වන තුරුම ඇය ඒ කැප කිරීම කළා.
සිය මව සතු වූ මවුවත් ගුණාංග තවදුරටත් දුෂාන්ත විසින් විස්තර කරන ලද්දේ මේ ආකාරයෙනි.
මගේ අම්මාට කෑමක් ලැබුණාම මට නොදී එය නොකන පුරුද්දක් ඈ සතුව තිබුණා. නිෙවසේදී සෑම විටම ඇය ආහාර ගත්තේ මම ආහාර ගත්තාට පස්සෙයි. ඒ වගේම අපි පුංචි කාලයේ පවුලක් ලෙස ප්‍රශ්න රැසකට මුහුණ දුන්නා. එක්තරා අවස්ථාවකදී තාත්තාගේ රැකියාව අහිමි වීමෙන් අපි අනේකවිධ දුක් වින්දා. ඒ අවස්ථාවේ අම්මා යම් යම් රැකියාවන් කරමින් මා ජීවත් කරවන්නට උත්සාහ ගත්තා.
වසර 40කට වැඩි දිවි ගමනේ මව සමඟ දුෂාන්තට ඇති මතක සටහන් අනන්ත අප්‍රමාණ බව ඔහු අප සමඟ පැවසුවේය.
මගේ ජීවිත කතාවේ අම්මා සමඟ මතක සටහන් අපමණයි. මගේ හොඳම යාළුවා වුණෙත්, සහෝදර සහෝදරියෝ නැති මට ඒ අඩුව පිරෙවුවෙත් මගේ අම්මා. මගේ ජීවිතයේ මං දුක වගේම සතුටත් බෙදා ගත්තේ අම්මා එක්ක කීවොත් නිවැරදියි. අවසන් තත්පරය වන තුරුම ඇය මා සමඟ එකට සිටියා. හදිසි අනතුරකට ලක් වුණාට පස්සේ මං වෙනත් රටකට හෝ යනවාට අම්මා කැමැති වුණේ නෑ. මං නැවත එන විට අම්මා නැති වේ යැයි යන බිය ඇයට තිබුණා.
ඇත්තටම අම්මා අවසන් සුසුම් හෙළුවෙත් මගේ ඉස්සරහ. රෝහලේදී මං අම්මාට දෙළුම් ඇට කිහිපයක් කව කව ඉන්න විට වෛද්‍යවරයෙක් ඇවිත් අම්මාගෙ ලේ පරීක්ෂාවක් කරන්නට අවශ්‍ය යැයි පැවසුවා. ඒ තත්පරයේදී අම්මාගේ අත මට අත්හැරෙනවා. ඒ වෙලාවේ ලේ ගනිද්දී එන්නත් කටුවට ලේ අදින්නේ නැති බව වෛද්‍යවරුන් මට දැන්වුවා. ඉතින් අවසන් තප්පරයේදීත් අම්මා දකින්නට ඇත්තේ මගේ මුහුණ යැයි මා විශ්වාස කරනවා. ඇත්තටම එයාට මගෙන් තොර ලොවක් තිබුණේ නෑ. එයා නිතරම මාව වීරයෙක් ලෙස සැලකුවා. මම සම්මානයක් ගත්තත්, නිව්ස් කිවුවත් ඒ හැම දෙයක් ගැනම ඇය බොහොම ආඩම්බරයෙන් කතා කළා. ඇය බොහොම අමාරුවෙන් මාව ගොඩනඟලා එහි ප්‍රතිඵල භුක්ති විඳින ආකාරය සතුටින් සහ ආඩම්බරයෙන් බලා සිටියා.
අනතුරට ලක් වෙලත් මගේ කුසගින්න ඇයට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. මං සාමාන්‍යයෙන් අම්මා උයන කෑම හැර වෙනත් කෑමක් කන්නේ නැති තරම්. ඒ ගැන ඇයට තිබුණේ විශාල පසුතැවිල්ලක්. ඇය මාස හයකට පසුව රෝහලේ සිට නිෙවසට ඇවිත් කකුලක් දාගෙන මට කන්නට හදලා දුන්නා. ඒත් මං ඇයට වැඩ කරන්න දුන්නේ නෑ. මං එළවළු කපලා දුන්නාම ඇය තුනපහ පදමට දැමීම පමණක් සිදු කළා. ඒ සුළු කාර්යය පවා අම්මා කළේ ඉතාම සතුටින්.
ඒ වගේම මං රැකියාවට ගිය මුල් කාලයේ දුක් පීඩා රැසකට මුහුණ දුන්නා. උදේ පාන්දර පහයි පනස් පහේ සිට සවස පහයි පනස් පහ දක්වා පැයෙන් පැයට ප්‍රවෘත්ති කියන්නට මට එහිදී සිදු වුණා. මං ආධුනිකයෙක් විදිහට ඒ කාර්යය කළේ හරිම ආසාවෙන්. ඒ කාලේ මං රැකියාවට යන්නට අවදි වෙන්නේ උදේ පාන්දර දෙකට. ඉංගිරියෙන් කොළඹට පිටත් වන පළමුවැනි බස්එක තිබුණේ පාන්දර 3ට. ඒ බස්එකේ ඇවිත් තුම්මුල්ලෙන් බැහැලා රූපවාහිනියට පයින්ම ඇවිත් මං රැකියාව කළා. ඉතින් හවස 6ට වැඩ නිම වී ගෙදර එනකොට රෑ 9 විතර වෙනවා. මං ගෙදර එන විට උණු වතුර, උණුවෙන් කෑම සියල්ල අම්මා විසින් ලෑස්ති කරනවා.
පසුගිය ආණ්ඩුවක හිටපු ඇමැතිවරයෙක් රූපවාහිනියට පහර දීමත් සමඟ මගේ රැකියාවත් අහිමි වුණා. අනතුරුව නැවත මට රූපවාහිනියේ රැකියාව ලැබීමත් සමඟ උසස් වීමක්ද ලැබුණා. ඒ අනුව රාත්‍රී 8 පුවත් විකාශයේ ක්‍රීඩා පුවත් ඉදිරිපත් කිරීමට මට අවස්ථාව හිමි වෙනවා. ඇතැම් අවස්ථාවල මා සමඟ මාරුවෙන් මාරුවට පුවත් ඉදිරිපත් කරන නිවේදිකාව මට ඇයගේ රාජකාරිය බාර කරනවා. ඉතින් ඒ අවස්ථාව මඟහරින්නට මට ලෝභ හිතුණු නිසා පාන්දර ගෙදරින් ආපු මං රෑ 9 වන තුරු ආයතනයේ රැඳී සිටිනවා. මට ඒ දවස්වල ජංගම දුරකතනයක් ගන්නට හෝ ලොකු වත්කමක් තිබුණේ නෑ. ඒ වගේම අපේ ගෙදරට දුරකතන පහසුකම් තිබුණෙත් නෑ. ඉතින් මට කෑම, වතුර උණු කරගෙන බලාගෙන ඉන්න අම්මාට මා ප්‍රමාද වන පණිවිඩය ලබා දීමට මට ක්‍රමයක් තිබුණෙ නෑ.
ඒ නිසා ඒ වෙනුවෙන් මං පොඩි ක්‍රමයක් අනුගමනය කළා. හවස 5.55 ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් කරන විට අපි හමුවෙමු නැවතත් රාත්‍රී 8 ප්‍රවෘත්ති විකාශය තුළින් යැයි කීවොත් 8 ප්‍රවෘත්ති විකාශය තෙක් මං එහි රැඳී සිටින බව අම්මාට තේරුම් කළා.
ඒ වගේම අපගේ මීළඟ ප්‍රවෘත්ති විකාශය රාත්‍රී 8ට බලාපොරොත්තු වන්න යැයි කීවොත් මම ප්‍රමාද නොවී ගෙදර එන බව එයින් අම්මාට මං සැල කළා. ඉතින් එදා රූපවාහිනියේ 5.55 ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව මගේ සංඥාව අනුව අම්මා රාත්‍රී ආහාර පිසින වෙලාව තීරණය කළා. එය හරි අපූරු මතකයක්.
සිය මවගේ ගති ගුණ සිය දිවියට පන්නරයක් වූ සැටි ගැන දුෂාන්ත පැවසුවේ මේ ආකාරයෙනි.
අම්මාගේ ගති ගුණ වගේම හැඩරුවත් මං වගේ යැයි බොහෝ දෙනා කියනවා. පරෝපකාරී ගුණය අම්මා සතුව පැවති විශිෂ්ටම ගුණාංගයක් ලෙස පෙන්වා දිය හැකියි. ඒ ගුණය අම්මාගෙන් මටත් ලැබුණා කීවොත් වැරදි නෑ. අද වන විට මං සියයකට වඩා වැඩි පිරිසකට මාධ්‍ය ක්ෂේ්ත්‍ර්‍රයේ අවස්ථා ලබා දී තිබෙනවා. එයින් මාධ්‍ය ජීවිතය ජය ගත් පිරිස විස්සකට තිහකට වැඩි මිස අඩු නෑ. අපේ අම්මාත් එවන් පරෝපකාරී චරිතයක්. ළඟ තියෙන හැම දෙයක්ම අනුන්ට දෙන පුරුද්දක් ඇය සතුව තිබුණා. ඒ වගේම මං බොහොම සංවේදී චරිතයක්. ඒ සංවේදී බව මට ලැබුණෙත් අපේ අම්මාගෙන්ම තමයි. ඇය සතු ධෛර්යය, සංවේදී බව, දරා ගැනීම ඇතුළු ගුණාංග රැසක් මා සතුව තිබෙනවා.
මා මේ සිදුවීම් දරා ගන්නේ කෙසේදැයි බොහෝ දෙනා මගෙන් විමසනවා. ඇත්තටම අම්මාගේ සහ තාත්තාගේ මළ ගෙදරින් පස්සේ මං ගොඩක් ඇඬුවා. මගේ නෑයෝ ටික දවසකට හෝ ඔවුන්ගේ නිවෙස්වල නවතින්නැයි මට ඇරියුම් කළා. ඒත් ඒ ඇරියුම් ප්‍රතික්ෂේප කරමින් අවමංගල්‍ය වැඩ කටයුතු නිමා කර මං ගෙදර ආවා. ගෙදර ඇවිත් අම්මාගේ කොට්ටේ බදාගෙන හඬමින් තනිවම මං එදා රැය පහන් කළා. අනතුරුව පසුදා ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙනවා යැයි මං හිත හදා ගත්තෙත් අම්මාගේ ජීවිතයෙන් ලැබූ පන්නරය නිසා බව කිව යුතුයි.
ජීවිතයේ අත්විඳි ප්‍රශ්න, ගැහැට කම්කටොලුවලට සිය මවු ශක්තියක් වූ සැටි දුෂාන්ත මෙසේ විස්තර කළේය.
මගේ හැම ප්‍රශ්නයකදීම ළඟින්ම හිටියේ මගෙ අම්මා. ඒ හැම ප්‍රශ්නයකටම අම්මා ළඟ පිළිතුරු තිබුණේ නෑ. ඒත් ඒ වෙලාවේ අම්මා මා දෙස බලා ඉන්න ඉරියව්වෙන් මගේ සිත නිවෙනවා. එයින් මට ඒ ප්‍රශ්නය දරා ගන්නට ලැබෙන්නේ අප්‍රමාණ ශක්තියක්. ඉතින් දැන් දැන් මගේ ජීවිතයට එන හැම ප්‍රශ්නයක්ම මගේ පපුවේ හිර වෙනවා. දැන් ඒ ප්‍රශ්න කියන්නට අම්මා මා ළඟ නැහැ නේදැයි මට සිතෙනවා. එහෙත් හිතෙන කොට මට දැනෙන වේදනාව වචනයෙන් කියා නිම කරන්නට බෑ.
TEXT – පසිඳු මිහිරාන් රැටියල
