අධ්‍යාපනික, වෘත්තීයමය පීඩනය, මනෝ ආතතිය හා විවිධ මානසික රෝග හේතුවෙන් මතකය, අවධානය මෙන්ම මනසේ ස්ථාවරශීලීතාව අඩු වීම අද සමාජයේ පොදු ගැටලුවක් වී ඇත. මෙවැනි යුගයක එම තත්ත්වයන්ට එරෙහිව මස්තිෂ්කයේ ක්‍රියා මත බලපෑම් ඇති කරමින් මානසික හා සංජානන ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීම සඳහා nootropics ලෙස හඳුන්වන බුද්ධි වර්ධක ඖෂධ, ආහාරමය නිෂ්පාදන වෙෙළඳපොළට හඳුන්වා දීම නවීන විද්‍යානුකූල පර්යේෂණ මඟින් ආරම්භ වී ඇත.
නමුත් වර්තමානයේ කෘත්‍රිම නිෂ්පාදන වෙනුවට ස්වාභාවික හා දේශීය භාවිතයන් කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු කිරීමට විශාල වශයෙන් සමාජීය නැඹුරුතාවක් පවතී. එය එසේ වුවද ප්‍රශස්ත අවබෝධයක් හෝ දැනුම්වත් වීමක් නොමැති වීම වැනි හේතූන් නිසා ‘ දන්නා නමුත් ගුණ නොදන්නා’, වටිනා ආහාරමය හා ඖෂධීය ශාක බොහෝමයක් නිසි කතාබහකට ලක් නොවී පරිසරයට සීමා වී ඇත.
ආයුර්වේදයේ මේ ද්‍රව්‍ය හෙවත් brain tonics යටතේ ඉතා පැහැදිලිව මෙම මානසික පෝෂක ද්‍රව්‍ය වන ස්වාභාවික, ශාකමය, සත්ත්වමය ඖෂධ විග්‍රහ කෙරේ. මේධ්‍ය (බුද්ධිය වඩවන) ද්‍රව්‍ය යනු මතකය, අවධානය, තීරණ ගැනීමේ හැකියාව, මනෝ ස්ථාවරතාව වැනි මානසික ක්‍රියාවලීන් ස්වස්ථව පවත්වා ගැනීමට සහය වන, මස්තිෂ්ක පෝෂණය වැඩි කරන, වාත දෝෂය සමනය කරන, විවේකවත් නින්දක් ලබාදෙන ඖෂධීය ද්‍රව්‍යයි.
ආයුර්වේදයට අනුව විග්‍රහ කරන විට ධී (අවධානය), ධෘනි (විචාර බුද්ධිය), ස්මෘති (මතකය) යන කොටස් ත්‍රිත්වය ශක්තිමත් කරන ඔසු මේ යටතේ දක්වයි. මෙම ඖෂධ මනස පිරිසුදු කරමින්, ආතතිය අඩු කරමින්, අධ්‍යාපනික හා වෘත්තීයමය කටයුතු බහුල ජීවිතයට මානසික යහපැවැත්ම පවත්වා ගැනීමට උපකාරී වේ. තවද ප්‍රතිශක්ති වර්ධන හැකියාව ද මේධ්‍ය ගණයේ ද්‍රව්‍යවලට පවතී.
ප්‍රධාන වශයෙන් චරක සංහිතාවේ දැක්වෙන මේධ්‍ය ඖෂධ 4 ක් ලෙස බ්‍රාහ්මී, මණ්ඩුකපර්ණී, යෂ්ටි මධු හා ශංඛ පුෂ්පී දැක්විය හැකියි.
ලුණුවිල
බ්‍රහ්මී (Bacopa monnieri) හෙවත් ලුණුවිල ශාකය මතකය වර්ධනය, බුද්ධි වර්ධනය සිදු කරමින් brain tonic ලෙස ක්‍රියා කරන, එදිනෙදා ආහාරයට එකතු කර ගත හැකි ශාකයකි. මඳ තිත්ත බවකින් යුක්ත මෙය ගොටුකොළ සමඟ පත්‍ර කුඩා ප්‍රමාණයක් එකතු කර සම්බෝලයක් ලෙස, කැඳ ලෙස මෙන්ම, රාත්‍රී නින්දට පෙර බ්‍රාහ්මී යෙදූ කිරි කෝප්පයක් ලෙසත් ආහාරයට එකතු කර ගැනීම සුදුසුය. යෝගට් හෝ මුදවාපු කිරි සමඟ බ්‍රාහ්මී කුඩු තේ හැඳි කාලක් මිශ්‍ර කර හෝ උණු වතුර කෝප්පයකට බ්‍රාහ්මී තේ හැඳි කාලක් මිශ්‍ර කර මී පැණි බිඳක් යොදා තේ පානයක් ලෙස ගැනීමත් ඉතා සුදුසුය. ප්‍රමාණය ඉක්මවා භාවිත කිරීම ද සුදුසු නොවන අතර එයින් හිස බර ගතිය, අධික නිදිමත ඇති විය හැකිය. ගැබිනි මවුවරු හා දිගු කාලීන රෝග සහිත අය වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීම සුදුසු වේ. බ්‍රාහ්මී කුඩු තේ හැඳි කාලක්, පත්‍ර යුෂ මේස හැඳි 2ක්
යන ප්‍රමාණ පමණ නොඉක්ම වූ මාත්‍රාවන් ලෙස දැක්විය හැකිය.
ගොටුකොළ
මණ්ඩුකපර්ණී නමින් හඳුන්වන්නේ ගොටුකොළ (Centella asiatica) ශාකයයි. ගෙවතු තුළ බහුලවම හමුවන මෙම ශාකය කුඩා දරුවන්ගේ සිට වැඩිහිටි ඕනෑම අයෙකු දක්වා මතකය හා අවධානය වැඩි කරමින්, භීතිය, කනස්සල්ල අඩු කරමින් මනසට ශක්තිය හා සිරුරට ශීතකාරක ගුණය ලබා දීමට හැකියාව ඇති දිව්‍යමය ඔසුවක් ලෙස දැක්විය හැකිය. සලාදයක් ලෙස, සම්බෝලයක් ලෙස, යුෂ ලෙස, කැඳ පානයක් ලෙස මෙන්ම ගොටුකොළ ඔම්ලට්, ගොටුකොළ බත් ලෙස ද පිළියෙල කර ලබා ගැනීම සුදුසුය.
වැල්මී
යෂ්ටි මධු හෙවත් වැල්මී (Licorice) කනගාටුව, කනස්සල්ල, ආතතිය සංසිඳුවන, කථන හැකියාව වැඩි දියුණු කරන, මනෝස්ථාවරතාව වැඩි කරන brain tonic ඖෂධයක් ලෙස දැක්විය හැකියි. මනරම් සුවඳකින් යුතු මෙම ඖෂධය තේ හැඳි කාලක් උණුසුම් වතුර සමඟ මිශ්‍ර කර ඖෂධීය තේ පානයක් ලෙස හෝ උණුසුම් කිරට මිශ්‍ර කර රාත්‍රී නින්දට පෙර කිරි කෝප්පයක් ලෙස පානය කළ හැකිය. ශරීර ශාන්ත කාරක සිසිල් ඖෂධයක් ලෙස මෙය හැඳින්විය හැකි නිසා සමට ද ගුණදායක ය. නමුත් අධික ලෙස ගැනීමෙන් ශරීරයේ උෂ්ණත්වය අඩුවී සීතල බවක් දැනීමේ ස්වභාවය වැඩි වනු ඇත.
ශංඛ පුෂ්පී
ශංඛ පුෂ්පී ශාකය ද චරක සංහිතාවේ සඳහන් ප්‍රධානතම මේධ්‍ය (බුද්ධිය වඩවන) ඖෂධයකි. නින්දයාමේ ගැටලු, මතකය මඳ බව වැනි තත්ත්වවලදී ඉතා ප්‍රශස්ත ඔසුවක් ලෙස ක්‍රියා කරමින් මතකය, අවධානය හා මනසේ නිශ්චලතාව ඇති කරයි. ඖෂධීය තේ පානයක් (Herbal Tea) ලෙස උණු වතුරට යෂ්ටි මධු කුඩු ස්වල්පයක් යොදා පානය සුදුසු ය. තේ හැඳි බාගයක් පමණ කිරි සමඟ පානයට ගැනීම රාත්‍රී නින්දට උපකාරී වේ. මෙය චූර්ණ කර ගිතෙල් හෝ මී පැණි සමඟ ද ආහාරයට ගත හැකිය. පමණ ඉක්මවා ගැනීම නිදිමන ගතිය ඇති වීමට හේතු වේ. ගර්භිණී හා කිරි දෙන මවුවරුන් වෛද්‍ය උපදෙස්් මත යොමු වීම කළ යුතුය.
TEXT – ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය භාග්‍යා ගීගණගේ (BAMS)
