Monday, December 1, 2025
Epaper
Home විශේෂාංගපිරිමි විහිළු

පිරිමි විහිළු

by Shanaka Lakehouse

බොහෝ විහිළු නිර්මාණය වී ඇත්තේ ගැහැනුන්ට අපහාස පිණිසය. අද වන විට ජනප්‍රිය වී ඇති බොහෝ යූ ටියුබ් හෝ සමාජ මාධ්‍ය තුළ සැමියා බිරිය වශයෙන් ඉදිරිපත් කරන කුඩා වීඩියෝ ක්ලිප්ස් තුළද ගැහැනිය හා පිරිමියා දෙදෙනාම එක්ව ගැහැනියට අපහාස වන ගැහැනිය පහත් කරන විහිළු සපයයි. එසේ සිදු කරන ගැහැනුන් තුළ ද ඒ අපහාස කරන්නේ ස්ත්‍රීත්වයට යන්න පිළිබඳ අදහසක් නැත. සරල ජනප්‍රියත්වය උදෙසා ඔවුහු තමන්ටම අපහාස පිණිස අන්තර්ගතයන් නිර්මාණය කර ගනිති. නැතහොත් ඒවා සිය ස්වාමිපුරුෂයන් විසින් නිර්මාණය කර දෙන ඒවා විය යුතුය.

ගැහැනු දෙස එම විහිළු බලන්නේ සාම්ප්‍රදායික ආකාරයෙනි. ගැහැනු නම් ඕපා දූප හොයන, නිතර සැමියාට බනින, මෝඩ, තාර්කික බුද්ධියක් නැති, කතාවේ කෙළවරක් නැති යනාදී වශයෙන් වන ගැහැනු පිළිබඳ මවා ඇති චිත්‍රය මෙම සමාජ මාධ්‍ය තුළද ඒ ආකාරයටම ඉදිරියට ගෙන යයි.

මේවා මඟින් සමාජයට නැවත ගෙනයන්නේ සාම්ප්‍රදායික ගැහැනු රූපයයි. අලුත් සමාජය නැවත නිර්මාණය වන්නේ ද පැරණි මොඩලයටමය. එය පැරණි ජාතක කතාවෙන් දුන් ස්ත්‍රී ද්වේෂි මොඩලයම වෙයි.

ඇතැම් ඒවා ලිංගික විහිළුය. පිරිමි ද්විත්ව තේරුම් ඇති ලිංගික විහිළු ගැහැනුන්ට කිරීමෙන් යම්කිසි ලිංගික තෘප්තියක් ලබයි. ගැහැනුන්ගේ ලිංගික අවයව කේන්ද්‍ර කර ගත් ඇතැම් විහිළු බුලින් හෙවත් අනෙකා අපහසුතාවට පත් කරවනසුළුය. මේවාට සිනාසෙමින් අත්පොලසන් දෙන ගැහැනු කරන්නේ ද නැවත ගැහැනියගේ තත්ත්වය සහ ආත්ම ගෞරවය පහත් තත්ත්වයට පත් කිරීමකි.

මෙවැනි විහිළු මඟින් ගැහැනියට අනාරක්ෂිත හැඟීම් ඇතිවන අතර සමාජීයව ඇය පිටස්තරයකු කරනු ලබයි.

විහිළු යනු සියලුදෙනා සිනාසිය යුතු වන දෙයකි. එනම් ගැහැනුන් සමඟ එක්ව සිනාසිය යුතු දෙයකි. එසේ නැතිව ගැහැනියට සිනාසෙන අවස්ථාවක් නොවන බව සමාජය අවබෝධ කර ගත යුතුය.

අද වන විට ලෝකය ස්ත්‍රී පුරුෂ සමාජභාවීය වශයෙන් නිශ්ක්‍රීය භාෂාවක් (Neutral language) පවා භාවිත කරයි. බුලින් (Bullion) කිරීම හෙවත් අනෙකා අපහසුතාවට පත්වන විහිළු කිරීම පාසල් පද්ධතිවල පවා තහනම් කර තිබේ.

එහෙත් සංස්කෘතිකව අප සිටින්නේ කොහිද?

ඉතා පසුගාමී සංස්කෘතික ලක්ෂණ දරන මෙම බොහෝ යූටියුබ් ඇත්තටම නිර්මාණය කරන්නේ ලංකාව කේන්ද්‍ර කරගෙන ඉතා දියුණු රටවල ජීවත්වන මිනිසුන් විසිනි. ඔවුන් ඒ රටවල ඉතාමත් විනීතව නීතිගරුකව හැසිරෙමින් තමන්ගේ මවු රටේ පසුගාමී සංස්කෘතික ලක්ෂණ පෝෂණය කරමින් මුදල් ඉපයීම මාර්ගයක් කර ගනී.

අවාසනාව නම් තවමත් පිරිමි සහ ඇතැම් ගැහැනු ද ගැහැනුන්ගේ දුර්ගුණ ඉලක්ක කර ගත් පිරිමි විහිළුවලින් තෘප්තියක් ලැබීමේ පසුගාමී සංස්කෘතික ලක්ෂණ දැරීමයි.

මේවාට අවශ්‍ය නීති පැනවෙන්නේ කවදාද? එම නීති ක්‍රියාත්මක වන්නේ කවදාද? එදා සිට රට හැදෙන්නට පටන් ගනු ඇත.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?