Monday, December 1, 2025
Epaper
Home විශේෂාංගසුරක්ෂිත අනාගතයකට මවුපියන් දැනගත යුතු ඩිජිටල් නීති

සුරක්ෂිත අනාගතයකට මවුපියන් දැනගත යුතු ඩිජිටල් නීති

by Shanaka Lakehouse

අද වන විට ලෝකය වේගයෙන් ඩිජිටල්කරණය වී ඇති අතර අපේ දරුවන් ජීවත් වන්නේ ස්මාර්ට් ෆෝන්, ටැබ්ලට් සහ අන්තර්ජාලය ඔවුන්ගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් වූ යුගයකය.

තාක්ෂණය ඔවුන්ගේ අධ්‍යාපනයට සහ සමාජ දැනුමට විශාල පිටිවහලක් සපයන බව සත්‍යයකි. එහෙත් මෙම නිමක් නැති ඩිජිටල් අවකාශය තුළ අපේ දරුවන් ආරක්ෂිතව, සදාචාර සම්පන්නව සහ සමබරව හැදී වැඩෙන්නේ කෙසේද යන්න පිළිබඳ මවුපියන් ලෙස අප ගැඹුරින් අවධානය යොමු කළ යුතුය. ඔවුන්ගේ යහපත් අනාගතය වෙනුවෙන් නිවෙසේදී අම්මා සහ තාත්තා දැනගත යුතු සහ ක්‍රියාත්මක කළ යුතු ‘ ඩිජිටල් නීති ‘ කිහිපයක් පිළිබඳ අපි විමසා බලමු.

අද බොහෝ මවුපියන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ දරුවන්ගේ තිර කාලය (Screen Time) පාලනය කිරීමයි. මෙහිදී අප කළ යුත්තේ තාක්ෂණයට දරුවන් ප්‍රවේශ වීම මුළුමනින්ම තහනම් කිරීම නොවේ. ඒ වෙනුවට ඔවුන්ට සීමාවන් සහ වගකීම් උගන්වමින් ඩිජිටල් අවකාශය තුළ ඔවුන්ව ආරක්ෂා කර ගැනීමයි. දරුවාට ජංගම උපාංගයක් ලබා දෙනවා යනු ඔහුට හෝ ඇයට මාර්ග නීති නොමැති අතිවිශාල අධිවේගී මාර්ගයක ගමන් කිරීමට ඉඩ දෙනවා හා සමානය. එබැවින් ප්‍රථමයෙන්ම අප නි‍ෙවසේදී මෙම නීති රීති ස්ථාපිත කළ යුතුය.

තිර කාලය පිළිබඳ සීමාවන්

යහපත් අනාගතයක් වෙනුවෙන් දරුවාට භෞතික ක්‍රියාකාරකම්, අධ්‍යාපනය සහ පවුල් සබඳතා අහිමි නොවිය යුතුය. මෙහිදී මවුපියන් ‘ ඩිජිටල් විරාම ‘ ඇති කිරීම අනිවාර්යය වේ. රාත්‍රී ආහාරය ගන්නා වේලාව, පවුලේ අය සමඟ කතාබස් කරන වේලාව සහ නින්දට යන වේලාව උපාංග භාවිතයෙන් තොර ‘ නිදහස් කලාප ‘ ලෙස නම් කළ යුතුය. විශේෂයෙන්ම නින්දට පැයකට පෙර සියලුම තිර අක්‍රිය කිරීම ඔවුන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට ඉතා වැදගත්ය. වයස අනුව තිර කාලය නියම කිරීම ද ඉතා වැදගත්ය. කුඩා දරුවන්ට දිනකට පැයක් හෝ ඊට අඩුවෙන් අධීක්ෂණය යටතේ අධ්‍යාපනික වැඩසටහන් සඳහා අවසර දිය හැකි අතර වැඩුණු දරුවන්ට නිශ්චිත කාර්යයන් සඳහා පමණක් සීමිත කාලයක් ලබා දිය යුතුය.

මවුපිය පාලනය සහ විවෘත සන්නිවේදනය

දරුවන් අන්තර්ජාලයේ ගත කරන කාලය පිළිබඳ මවුපියන් දැනුම්වත් විය යුතුයි. මෙමඟින් අනවශ්‍ය සහ නුසුදුසු අන්තර්ගතයන් අවහිර කර තිර කාලය කළමනාකරණය කිරීමට මවුපියන්ට හැකියාව ලැබේ. එහෙත් පාලනයට වඩා වැදගත් වන්නේ විවෘත සන්නිවේදනයයි. මවුපියන් සැමවිටම දරුවා සමඟ මිත්‍රශීලීව කතා කළ යුතුය. යම් යම් අනවශ්‍ය දේවල් දුටුවහොත්, අපහසුතාවට පත් වුවහොත් හෝ යමෙකු තර්ජනය කළහොත් වහාම මවුපියන්ට පැවසීමේ විශ්වාසය සහ නිදහස දරුවා තුළ ගොඩනැඟිය යුතුය. ” යමක් නුසුදුසු නම් එය මට කියන්න ” යන පණිවිඩය ඔවුන්ගේ හදවත් තුළ තැන්පත් කිරීම ඕනෑම නීති පද්ධතියකට වඩා ශක්තිමත් ආරක්ෂක පවුරකි.

ඩිජිටල් ආචාරධර්ම සහ වගකීම ඉගැන්වීම

අන්තර්ජාලයේදී අන් අය සමඟ කටයුතු කිරීමේදී ආචාරශීලී විය යුතු ආකාරය දරුවන්ට ඉගැන්වීම මවුපියන්ගේ වගකීමයි. දරුවා සමාජ මාධ්‍ය භාවිත කරන්නේ නම් අන් අයව විවේචනය කිරීම, අසත්‍ය ප්‍රචාරය කිරීම හෝ සයිබර් හිරිහැර කිරීම වැනි දේ කෙතරම් බරපතළ ද යන්න පහදා දිය යුතුය. තවද කිසි විටෙකත් තම පෞද්ගලික තොරතුරු, ඡායාරූප හෝ පාසල් ලිපිනය වැනි දෑ නාඳුනන පුද්ගලයන් සමඟ බෙදා නොගත යුතු බවට දැඩි නීතියක් පැනවිය යුතුය. ‘ අන්තර්ජාල මිතුරන්’ යනු කවුරුන් ද ඔවුන් විශ්වාස කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ නිවැරදි අවබෝධයක් දරුවාට ලබා දිය යුතුය.

මෙම ඩිජිටල් නීති සාර්ථක කර ගැනීමට නම් මවුපියන්ම ආදර්ශවත් විය යුතුය. ඔබ නිතරම දුරකතනය දෙස බලා සිටින්නේ නම් දරුවාට තිර කාලය සීමා කිරීමේ සදාචාරාත්මක අයිතිය ඔබට අහිමි වේ. එබැවින් පවුල් කාලය තුළදී ඔබගේ උපාංග පසෙකින් තබා දරුවා සමඟ සැබෑ අන්තර් ක්‍රියාවක යෙදෙන්න. ඩිජිටල් අවකාශය අපේ අනාගත පරපුරට විශාල දැනුමක් හා අවස්ථාවක් සපයයි. නිවැරදි මඟ පෙන්වීමක් සහ ආදරණීය අධීක්ෂණයක් යටතේ ඔබේ දරුවාට මෙම ඩිජිටල් ලෝකය ජයගෙන සාර්ථක යහපත් පුරවැසියෙක් ලෙස නැඟී සිටීමට හැකි වනු ඇත. ඔවුන්ගේ ඩිජිටල් ගමන සුරක්ෂිත කිරීමේ වගකීම මුළුමනින්ම පැවරෙන්නේ මවුපියන් වන අපටයි.

TEXT – නයනි මධුශානි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?