අධ්‍යාපනය යනු දරුවකුට දැනුම ලබා දීම පමණක් නොව, ඔහුගේ මනස හා හැඟීම් නිවැරදි මඟකට යොමු කිරීම ද වේ. අද ලෝකය තරගකාරීත්වය, වෛරය, සහ ප්‍රචණ්ඩත්වය පිරිපහදු වූ අවකාශයක්. එවන් පරිසරයකදී සෞන්දර්යාත්මක සහ සංවේදී හා මානුෂීය දරුවකු බිහිකිරීම යනු අපේ අධ්‍යාපන පද්ධතියට අභියෝගයකි.
අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය දිගු පරිච්ඡේදයක් තිස්සේ විද්‍යාව හා තාක්ෂණය මත අවධානය යොමු කරමින් තිබුණ ද, දරුවකුගේ මනෝභාවය, හැඟීම් සහ සංවේදී බව පෝෂණය කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම එතරම් සාර්ථක වී ඇති බව පෙනෙන්නට නැත. එහෙත්, “ආදර්ශවත් දරුවා” කියන සංකල්පය යළි අර්ථ දැක්විය යුතු ය. සම්මාන ලබාගන්නා දරුවෙක් පමණක් නොවෙයි, සෞන්දර්යාත්මක, සංවේදී, සාමකාමී සහ සිත් ඇදගන්නා මනසක් ඇති දරුවෙකු බිහිකිරීම යනු අධ්‍යාපන පද්ධතියේ අභිමානවත් අරමුණකි. මෙම අරමුණට බොහෝ විට අපේ පාසල්වල නිරවද්‍යව සහ නිහඬව සේවය කරන පාර්ශ්වයක් දායක වේ. ඒ පාසල් පුස්තකාලය සහ පාසල් පුස්තකාලයාධිපතිවරයා යි.
“දැනුම පමණක් නොව සංවේදනය ද පෝෂණය කරන තැනක්”
පුස්තකාලය “දැනුම පමණක් නොව සංවේදනය ද පෝෂණය කරන තැනක්, පොත් මැදින් හදවත් හැදෙන තැනක්.”
ඇතැම් විට පාසල් පුස්තකාලය දරුවන්ට විෂයානුබද්ධ හා විෂයානුබද්ධ නොවන පොත් ගබඩා කරන තැනක් ලෙස පෙනෙන්නට පුළුවන. නමුත් පුස්තකාලය යනු එයට වඩා ගැඹුරු අර්ථයකින් යුත් ස්ථානයකි. එය දරුවාට තම අවට ලෝකය නිදහසේ සොයා බලන්නට, මනස නිදහස් කර ගැනීමට, සෞන්දර්යාත්මක හා රසවින්දනාත්මක කටයුතු සිදු කිරීමට තිබෙන තැනක් මෙන්ම, අන් අයෙකුගේ දුක හඳුනා ගන්නට ඉගැන්වෙන පරිසරයකි.
ළමයකුගේ ජීවිතයේ සුන්දරම කාලය ගතවෙන්නේ පාසල තුළය. පාසල තුළ ගෙවෙන පැය ගණන අතර, ළමයාගේ මනස ක්‍රියාකරන්නේ ඉතාම නිදහස්වය. එවිට දරුවා පොතක් කියවන විට, ඒ සමඟ මනස විහිදුවන විට, ඔහු තුළ “ආරෝපණය” වන ජීවියා ඉතාම සාමකාමීයි. එතුළින් ප්‍රචණ්ඩකාරී ක්‍රියා මනසින් ඉවත්කර, විවේකශීලී හා දැනුමකින් පරිපූර්ණ මනසක් බිහිකරනු ලබයි. “දරුවෙක් පොතක් කියවීම යනු විශ්වය තුළට ගමන් කිරීමක් වැනි ය.”
පාසල් පුස්තකාලයාධිපතිවරයා මනෝ වෘත්තීය ගුරුවරයෙක් විය යුතුයි.
දරුවන් ප්‍රචණ්ඩකාරී වීම සඳහා විවිධ හේතු බලපානු ලබයි. පවුල් පරිසරය සහ ඒ ළමයා ජීවත්වන සමාජ වටපිටාව මේ ප්‍රචණ්ඩකාරීත්වයට හේතුවන්නට පිළිවන. පාසල් පුස්තකාලය තුළින් සියලුම දරුවන් මෙම ඛේදවාචකයෙන් මුදාගැනීමට නම් කළ යුත්තේ ඔවුනට කියවීම හා රසාස්වාදය ලබාදීමය. ළමයා තුළ සිටින සෞන්දර්යාත්මක ජීවියා අවදි කිරීමය. පාසල් පුස්තකාලයාධිපතිවරයා පාසලේ පරිසරයට නව අර්ථයක් ගෙනෙන අයකි. පොත් පමණක් සංවිධානය කරන අයෙකු නොව, පාසල් පුස්තකාලයාධිපතිවරයා යනු මනෝ ගුරුවරයකු ය. ඔවුන් දරුවන්ට කියවීමේ වටිනාකම තේරුම් කිරීමට, සාහිත්‍යය හා කලාව තුළින් හැඟීම් පෝෂණය කිරීමට හා දරුවාගේ මනස ප්‍රචණ්ඩකාරී තත්ත්වයට පත්වීම හෝ මනසට සාමයක් ලබා දීමට ක්‍රියා කළ යුතුය. ඒ තුළින් දරුවන් තරඟකාරී මනෝභාවයකට පත්නොවී, මනුෂ්‍යමය හා සංවේදී පරපුරක් බවට පත්වේ. ඔවුන්ගේ ආකල්ප, හැඟීම් සහ මතයන් විවෘතව ප්‍රකාශ කිරීමට හා නිවැරදි සන්නිවේදනයට හා අනෙකා තේරුම් ගැනීමට උනන්දු කරයි.
දරුවාට “කියවීම” විවෘත මනසක් ඇති කිරීමේ මඟක් බව දැනෙන විට, ඔහු විශේෂ වූ සංවේදීකරණයකට ලක් වේ. පාසල් දරුවන් තමන්ගේ පළමු ඉගෙනීම පවුල තුළින් සිදු කරනවා වගේම, පවුලෙන් හා වටපිටාවෙන් ලැබූ ඉගෙනීම සුදුසු සහ ගැළපෙන විදිහට නැවත සකස් කරගන්නේ පාසලෙන් හා අධ්‍යාපනික පසුබිමිනි. මෙයට උදවු කිරීම පාසල් පුස්තකාලයාධිපතිවරයා සිදු කළ යුතුයි. ඒ නිසා පාසල් පුස්තකාලයාධිපතිවරයා කුඩා දරුවන්ගේ හදවත් තුළ සංස්කෘතික හා මනුෂ්‍යමය අගයන් බිහි කරන ගුරුවරුන් බවට පත්වීම ඉතාම වැදගත් ය.
“පොතක් කියවීමෙන් කෙනෙකු වෙනස් කරයි”
සෞන්දර්යාත්මක හා සංස්කෘතික අගයන් පෝෂණය කරන පරිසරයක් ලෙස පාසල් පුස්තකාලය හැඳින්විය හැකිය. පාසල් පුස්තකාලය විසින් දරුවන්ගේ “කියවීම” ප්‍රවර්ධනය කිරීමේ දී, ඒ ඒ වයස් සීමාවන්වල පසුවන දරුවා කියවීමට ලබාදෙන පොත් පිළිබඳ ද පාසල සැලකිලිමත් වීම වැදගත් ය. වර්තමානයේ බොහෝ පාසල් දරුවන් ප්‍රාථමික ශ්‍රේණිවල දී, පොත් කියවීමට නැඹුරු වන අතර, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වයට පෙනී සිටීමට යාමේදී පාසල් පුස්තකාලය භාවිතය මඟ හැරී යයි. හුදෙක්ම මෙය සිදු වන්නේ තරඟකාරී අධ්‍යාපන රටාව හේතුවෙනි. මෙය තමයි ළමයි අතළොස්සක් තමන්ගේ සෞන්දර්යාත්මක ජීවියා අත්හරින සන්ධිස්ථානයකි. බොහෝ ළමුන් යම් යම් සම්භාව්‍ය කෘති පවා හඳුනන්නේ නැහැ. “අඹ යහළුවෝ, මඩොල්දූව” නම් කෙටිකතා, නවකතා පාසල් දරුවන්ගෙන් මඟහැරී තිබෙන ආකාරයක් දක්නට ලැබෙයි. නමුත් තරඟකාරී අධ්‍යාපන රටාව, කාර්යබහුලත්වය, මවුපිය – දූ දරු සබඳතා අඩු වීම, තාක්ෂණය මඟින් සංවේදී සෑම සම්බන්ධකමක්ම ඈත් කිරීම යන කරුණු හමුවේ වක්‍රව හෝ සෘජුව පාසල් දරුවා ප්‍රචණ්ඩකාරීත්වයට ගොදුරු වෙයි. මේ නිසා “කියවීම” ප්‍රවර්ධනය වගේම රසාස්වාදාත්මක වැඩසටහන්, සාහිත්‍ය නිර්මාණ ඇගයීම්, සංස්කෘතික උත්සව සැමරීම් තුළින් දරුවාගේ මනස පිරිසුදු කරමින්, ඔහුට ලෝකයෙහි අන් අයට ආදරය සහ අනුකම්පාව දැක්වීමට ඉගැන්විය හැකිය. එසේම ඔහුට නව මතයක්, නව හැඟීමක් සහ අලුත් කෙනකු වීමට ආරම්භයක් ලැබෙයි. කලාව, සාහිත්‍ය, පුවත්පත්, ගීත හා ජනප්‍රිය කතාමාලා ඔස්සේ ඔවුන්ට මනෝ ශාන්තිමත් අරමුණක් සහ හැඟීම් පාලනයක් ඇති කරගැනීමට ඉගැන්විය හැකියි.
“පොතක් කියවීමෙන් කෙනෙකු වෙනස් කරයි. පුස්තකාලයක් විසින් පරපුරක් වෙනස් කරයි.”
සෞන්දර්යාත්මක දරුවාට මඟ පෙන්වන්නා පුස්තකාලය යි.
රටක අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ දැනුම පමණක් නොව, හොඳ මනසක් ඇති දරුවකු බිහි කිරීමයි.
සෑම පාසලකම වගකීම වන්නේ ද එයයි. දිනෙන් දින වැඩිවන මත්ද්‍රව්‍ය උවදුර, මිනී මැරුම් හා අපරාධවලට හසුවන්නේ ද කෙදිනක හෝ පාසල වෙත පිය නැඟූ පුද්ගලයින්ම ය. පාසලක වගකීම විය යුත්තේ, ප්‍රචණ්ඩකාරී විකෘති මනසක් හෙබි දරුවකු බිහි කිරීම නොව, සාමකාමී, සෞන්දර්යාත්මක, ස්වයං-විශ්වාසදායී දරුවකු බිහිකිරීම නම්, පාසලක ප්‍රධාන තොරතුරු මධ්‍යස්ථානය වන පාසල් පුස්තකාලවල ද, වගකීම එයම යුතුයි.
■ පාසල් පුස්තකාල පිළිබඳ නිශ්චිත අවධානයක් ඇතිකළ යුතුයි. ශ්‍රී ලංකාව තුළ පාසල, පාසල් අධ්‍යාපන ක්‍රමය පිළිබඳ අවධානය යොමු කළාට, පාසල් පුස්තකාලය හා එයින් ඉටුවිය යුතු කාර්යය පිළිබඳ දක්වන අවධානය ඉතාම අවමය. නමුත් ලංකාවේ බොහෝ පාසල් පුස්තකාල මඟින් විශේෂයෙන්ම ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ගේ කියවීම, සෞන්දර්ය හා රසාස්වාදය වර්ධනය කිරීමට වැඩසටහන් සංවිධානය කරනු ලබයි. එක් සුභදායී කාරණයක් විදිහට පාසල්වල අධ්‍යයන කාලච්ජේද අතරට “පුස්තකාලය භාවිත කිරීමට කාලච්ඡේදයක්” වෙන් කිරීම ඉතාම අගනා කාර්යයක් විදිහට සැලකිය හැකිය. නමුත් තරඟකාරී අධ්‍යාපන රටාව හමුවේ එම පුස්තකාල කාලච්ඡේදය පාසල් කාලසටහනට පමණක් සීමා වීමත්, පාසල් පුස්තකාලය ක්‍රියාකාරී නොවීමත්, එයට පාසලේ අවධානය නොලැබීමත් යන කරුණු දැක්විය හැකිය.
නමුත් මේ දේවල් මඟ හරවා ගැනීමට නම්, පාසල් විෂය නිර්දේශයන් තුළට හෝ පාසල් පුස්තකාල තුළින් ශිෂ්‍යයින් වෙනුවෙන් සිදුකළ යුතු ක්‍රියාකාරකම් මාලාවක් හඳුන්වා දීමත්, ඒවා අධීක්ෂය කිරීමට සුදුසු පුද්ගල කමිටු පත්කිරීමත්, පාසල් පුස්තකාලයාධිපති තනතුර සඳහා පුස්තකාල විද්‍යාව හා ඒ පිළිබඳ දැනුමක් සහිත පුද්ගලයින් බඳවා ගැනීමටත් කටයුතු කිරීම යන කරුණු පිළිබඳ රජයේ අවධානය යොමු වීම කාලෝචිත ය.
මීට අමතරව පාසල් පුස්තකාලය, පොත්පත් කියවීම හා තම දරුවා ප්‍රචණ්ඩකාරීත්වයෙන් තොර සාමකාමී හා සෞන්දර්යාත්මක දරුවෙක් ලෙස වර්ධනය වීමේ වැදගත්කම පිළිබඳ මාපියන් දැනුවත් කිරීම අතිශය වැදගත්ය.
හුදු පෞද්ගලික මතවලට කොටු නොවී සමාජයේ තරුණ පරපුර මත්ද්‍රව්‍ය හා අපරාධ රැල්ලක වගකිව යුත්තන් නො කිරීමට, ප්‍රචණ්ඩත්වයට එහා ගිය සෞන්දර්යාත්මත සහ නිර්මාණාත්මක හැකියාවන්ගෙන් පිරිපුන් පරපුරක් බිහිකිරීමේ වගකීමක් පුස්තකාලයට ද ඇත.
