ප්‍රතිජීවක යනු මිලියන ගණනක් ජීවිත බේරාගන්නා ඖෂධයක් වේ. එහෙත් වර්තමානයේ ප්‍රතිජීවක අවභාවිත වීමක් පවතී. මෙය අනාගතයේ දී සරල ආසාදන පවා මාරාන්තික වීමට හේතු විය හැකි ප්‍රධාන තර්ජනයකි. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සමඟ කළ සාකච්ඡාවකි; මේ.
මොනවද මේ ප්‍රතිජීවක කියන්නේ?
මිනිසාට රෝග බෝ කිරීමට හැකි ක්ෂුද්‍රජීවී වර්ග ගණනාවක් ඇත. දිලීර, බැක්ටීරියා, එහි වයිරස ලෙස හැඳින්විය හැකියි. බැක්ටීරියාවන් නිසා ඇති වන රෝග, ආසාදන තත්ත්වයන් පාලනය කිරීම සඳහා ලබා දෙන රසායනික ද්‍රව්‍ය අඩංගු ඖෂධීය සංඝටක ප්‍රතිජීවක (Antibiotics) ලෙස හඳුන්වයි.
ප්‍රතිජීවක භාවිත කරන්නේ කුමක් සඳහාද?
ප්‍රධාන වශයෙන්ම ප්‍රතිජීවක භාවිත කරනුයේ බැක්ටීරියා රෝග ආසාදන තත්ත්වයන් පාලනය කිරීම සඳහායි. නියුමෝනියා රෝගී තත්ත්ව, සමේ ඇතිවන තුවාල, මොළේ උණ ආදී හිසේ සිට දෙපතුල දක්වා අපේ ශරීරයේ ඇතිවන ආසාදනවලදී ප්‍රතිජීවක භාවිත කරයි. බැක්ටීරියා නොවන යම් අතරමැදි විෂබීජ නිසාත් රෝග ආසාදන ඇති වේ. එම අවස්ථාවලත් වෛද්‍යවරයා විසින් ප්‍රතිජීවක දෙනු ලබයි. වර්තමානය වන විට ලෝකය තුළ විවිධ වයිරස් සහ දිලීර රෝග පාලනය (Anti Microbial Resistance) සඳහා ආදී ලෙස විවිධ ඖෂධ වර්ග පවතී. නමුත් ලංකාවේ බහුල වශයෙන් පවතිනුයේ බැක්ටීරියා ආශ්‍රිත රෝගයි. ඒ නිසා ප්‍රතිජීවක ඖෂධ පිළිබඳ නිරන්තරයෙන් කතා බහට ලක්වෙයි.
ප්‍රතිජීවක අවභාවිත වන්නේ ඇයි?
බැක්ටීරියාවට ලබාදෙන ඖෂධ සඳහා පමණක් නොව දිලීර වයිරස හෝ අනෙකුත් කාණ්ඩ සඳහා ලබාදෙන ඖෂධවලත් මෙම අවභාවිතාව සිදු වේ.
අපගේ ශරීරයට යම් කිසි විෂබීජයක් ඇතුළු වූවාට පසු ප්‍රතිජීවක එම විෂබීජ සමඟ සටන් කරමින් විනාශ කර දමයි. නමුත් වර්තමානයේ නිරන්තරයෙන් ප්‍රතිජීවක අවභාවිත වීම සිදුවේ. සාමාන්‍ය ලෙඩකදීත් ප්‍රතිජීවක භාවිත කිරීම සිදුකරයි. ස්වාභාවිකව අපගේ ශරීරය ප්‍රතික්‍රියා කරමින් විෂබීජය පරාජය කිරීමට හැකියාව තිබියදීත් ප්‍රතිජීවක භාවිත කරයි. ඒ වගේම පෙරදී වෛද්‍යවරයකු විසින් රෝගී තත්ත්වයකට යම් ප්‍රතිජීවකයක් නිර්දේශ කළ පසු නැවත වරක් එම රෝගයට ඇති වූ කල රෝගියා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් තොරව, පෙර නිර්දේශිත ප්‍රතිජීවක ලබා ගන්නා අවස්ථා වර්තමානයේ බහුලව පවතී. මේ ආකාරයෙන් ප්‍රතිජීවක අවභාවිත කිරීම මඟින් ශරීරයේ සාමාන්‍ය ප්‍රතිශක්තිකරණ යන්ත්‍රණය උදාසීන වෙයි.
මොකක්ද මේ ප්‍රතිජීවක ප්‍රතිරෝධය (Antibiotics, anti Microbial Resistance)
ප්‍රතිජීවක ප්‍රතිරෝධය යනු කාලයත් සමඟ බැක්ටීරියා, වයිරස, දිලීර ආදී කාණ්ඩ ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිචාර නොදැක්වීමයි.
කුඩා රෝගී තත්ත්වයන්ටත් ප්‍රතිජීවක වර්ග භාවිත කිරීම, ඉවක් බවක් නොමැතිව භාවිත කිරීම, දීර්ඝකාලීනව භාවිත කිරීම ආදිය ප්‍රතිජීවක ප්‍රතිරෝධයට හේතු වේ. ඒ වගේම ප්‍රතිජීවක කඩින් කඩ භාවිතයට ගැනීමත් මෙයට හේතු වේ.
මෙය තනි පුද්ගලයකුගේ අවභාවිතයෙන් සිදුවන ප්‍රශ්නයක් නොවේ. ඒ වගේම දවසකින් දෙකකින් ඇතිවන තත්ත්වයක් ද නොවේ. සමාජයක් ලෙස සියලු දෙනා ප්‍රතිජීවක සීමාව ඉක්මවා භාවිත කරන විට එම පරිසරයේ ඇති විෂබීජ අපගේ ඖෂධවලට අනුගත වීමක් සිදුවෙයි.
ප්‍රතිජීවක ප්‍රතිරෝධය භයානකයි කියන්නේ ඇයි?
වර්තමානයේ ලෝකය මුහුණ දෙන ප්‍රධානතම සෞඛ්‍ය අභියෝගයක් වන්නේ ප්‍රතිජීවක ප්‍රතිරෝධයයි.
ප්‍රතිජීවක ප්‍රතිරෝධය නිසා සිදුවනුයේ සුළු රෝගී තත්ත්වයකට පවා ප්‍රතිජීවක භාවිත කිරීමෙන් දරුණු ආසාදන තත්ත්වවලදී එය ක්‍රියාත්මක නොවීමයි.
සෑම වසරකම ප්‍රතිජීවක ඖෂධවලට දක්වන ප්‍රතිරෝධය නිසා අවම වශයෙන් ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් ලොව පුරා මරණයට පත් වේ. මෙම සංඛ්‍යාව ඉදිරියේදී ලක්ෂ සියය දක්වා ඉහළ යා හැකි බව ජාත්‍යන්තර වෛද්‍ය විද්‍යා පර්යේෂණ පෙන්වා දෙයි. ලංකාව තුළ මෙම තත්ත්වය නිසි පරිදි සංඛ්‍යා ලේඛනාත්මකව අධ්‍යයනය කොට නොමැත. නමුත් ප්‍රතිජීවක ඖෂධවලට නිසි පරිදි ප්‍රතිචාර නොදැක්වීම නිසා මරණ සිදුවන බවටද සායනික අත්දැකීම් ඉහළ යමින් පවතින බවටද විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙයි.
මේ සඳහා අපගේ වගකීම කුමක්ද?
ප්‍රතිජීවක අවභාවිතයේදී සිදුවන බලපෑම අවම කර ගැනීමට සුළු රෝගයටත් ප්‍රතිජීවක ඖෂධ භාවිතය අවම කළ යුතුයි. ඒ වගේම වෛද්‍ය උපදෙස්වලින් තොරව ප්‍රතිජීවක ඖෂධ භාවිත නොකළ යුතුයි. සුදුසුකම් සහිත වෛද්‍යවරයකුගෙන් පමණක් ඖෂධ ලබාගැනීම කළ යුතු වේ.
ජාතික ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව පවතින නමුත් ඒ සඳහා වෛද්‍යවරුන්ගේ පාර්ශ්වයෙන්ම සාධනීය සාර්ථක සහයෝගයක් නොලැබීම මෙම ගැටලුවට ප්‍රධාන හේතුවකි. එම නිසා ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කරමින් මහජනතාව දැනුම්වත් කළ යුතුවේ.
පසුගිය වසර හතළිහකට ආසන්න කාලයක් මුළුල්ලේ අලුතින් කිසිදු ප්‍රතිජීවක ඖෂධයක් නිෂ්පාදනය කිරීමට ලොව කිසිදු රටක් සමත් වී නැත. එම නිසා ඉදිරියේදී වැලඳෙන භයානක රෝගී තත්ත්වවලදී මිනිස් ජීවිත වසංගත තත්ත්වයන් හා විනාශ වී යාමට වැඩි ඉඩක් පවතී. එම නිසා මෙම සම්බන්ධව අවධානය යොමු කිරීම අප සැමගේ වගකීමක් විය යුතුයි.
TEXT – චතූ වීරසිංහ
