Monday, December 1, 2025
Epaper
Home වෛද්‍යමේ දැනුවත් කිරීම ආදරණීය අම්මාටයි

මේ දැනුවත් කිරීම ආදරණීය අම්මාටයි

by Shanaka Lakehouse

පුංචි දෝණිට උණ ගැනිලා දවස් දෙකක් විතර වුණා. අම්මයි, තාත්තයි දිගටම පැරසිටමෝල් දුන්නා. තුන්වැනි දවස වෙද්දි හිටිහැටියේම දෝණිගේ තද උණ බැස්සා.

මවුපියන්ට ලොකු සහනයක් දැනුණා. “හම්මේ… දැන් නම් දරුවට සනීපයි, උණත් නෑනේ” කියලා ඔවුන් හිතුවා.

ඒත් එදා හවස දෝණි අමුතු විදිහට නිහඬ වුණා. වතුර තිබහයි කිවුවා, ඒත් බොන වතුර ටික එ‍ෙවලේම වමනය කළා.

“බඩ රිදෙනවා අම්මේ” කියලා කෙඳිරි ගෑවා.

රෑ වෙද්දි දරුවාගේ ඇඟ අයිස් කැටයක් වගේ සීතල වෙලා, දාඩිය දාන්න පටන් ගත්තා.

අම්මා හිතුවේ උණ බැහැපු නිසා ඇඟ නිවෙනවා කියලා.

එක එක වෙනස් ගැළපෙන්නේ නැති දේවල් කියවන්න ගත්ත දෝණි පැය කිහිපයකට පස්සේ සිහිය නැති තත්ත්වයට පත් වුණා.

රෝහලට දුවගෙන යද්දිත් ප්‍රමාද වැඩියි. දරුවාගේ රුධිර පීඩනය (Blood Pressure) මැනගන්න බැරි තරමටම වැටිලා. නාඩි වැටෙන්නේ (Pulse) හරිම අඩුවෙන්. දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරු, හෙදියෝ අනික් හැමෝම පැය ගණනක් සටන් කළත්, ඩෙංගු මාරයා දෝණිව අරගෙන ගියා.

මවුපියන්ගේ විලාපය මැද ඉතිරි වුණේ එකම එක ප්‍රශ්නයක් විතරයි…

“උණ බැස්සට පස්සේ නේද දරුවා අසාධ්‍ය වුණේ?”

ඔබ දන්නවාද? ඩෙංගු රෝගයේ භයානකම අවස්ථාව එන්නේ උණ බැස ගිය පසුවයි. බොහෝ දෙනා රැවටෙන්නේ මෙතැනදීයි.

ඩෙංගු කම්පන තත්ත්වය (Dengue Shock Syndrome – DSS) යනු කුමක්ද?

ඩෙංගු රෝගයේ “අවදානම් අවධියේදී” (Critical Phase) රුධිර නාලවලින් පිටතට රුධිර ප්ලාස්මාව කාන්දු වීම (Plasma Leakage) සිදු වේ. මෙය අධික ලෙස සිදුවන විට රුධිර පීඩනය වේගයෙන් පහත වැටී, සිරුරේ ඉන්ද්‍රියයන්ට රුධිරය සැපයීම අඩාළ වේ. මෙය කම්පන තත්ත්වයයි (Shock).

ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු අනතුරු ඇඟවීමේ ලක්ෂණ (Warning Signs)

උණ බැස ගියද රෝගියාට සුවයක් නොදැනීම සහ අධික නිදිමත හෝ නොසන්සුන් බව.

දිගින් දිගටම පවතින වමනය. (පැයක් තුළ 3 වතාවකට වඩා)තදබල උදර වේදනාව. (බඩේ කැක්කුම)

අත් පා අයිස් මෙන් සීතල වීම (Cold extremities) සහ ඇලෙන සුලු දාඩිය දැමීම.

විදුරුමස්වලින්, නාසයෙන් හෝ වමනය/මලපහ සමඟ රුධිරය පිටවීම.

මූත්‍රා පිටවීම අඩුවීම හෝ මූත්‍රාපිට නොවීම.

අවධානයට

උණ දින 2කට වඩා පවතී නම්, තුන්වැනි දිනයේදී අනිවාර්යයෙන්ම සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් (FBC) සිදු කරන්න.

උණ බැස යන විට රෝගියා අලස නම්, කෑම බීම ප්‍රතික්ෂේප කරයි නම් වහාම රෝහල්ගත වන්න.

වෛද්‍ය උපදෙස් මත පමණක් දියර වර්ග ලබා දෙන්න. (නිකම්ම වතුර පමණක් බීම සුදුසු නැත. ජීවනි හෝ කැඳ වර්ග වඩාත් සුදුසුයි).

දරුවන්ගේ කඳුළු බලන්න අපි කැමැති නෑ. ඒ නිසා පරෙස්සමෙන් ඉන්න. වෙන්න පුළුවන් දේ දැනගෙන ජීවත්වෙන්න.

 

TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?