ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යනු හුදෙක් ප්‍රතිකාර විධියක් පමණක්ම නොවේ.එය අපේ ජාතික උරුමයේ ජීවමාන සාක්ෂියයි. වසර දහස් ගණනක් ඈතට දිව යන මෙම පාරම්පරික වෛද්‍ය ක්‍රමය පුස්කොළ පොත්වල සුරැකි රහස් වට්ටෝරු සහිත වෙද පරම්පරාවලින් අදටත් රැකගෙන එයි.
අප මේ සොයා යන්නේ එවන් වූ ජීවමාන වූ වෛද්‍ය පරපුරක් වූ හොරිවිල වෙද පරම්පරාවේ තිස් වැනි පුරුකේ එකම කාන්තා නියෝජනය වන ආයුර්වේද වෛද්‍ය ජීවනී කරුණානායක මහත්මියයි. 1920 දී වෙදකම ආරම්භ කළ හේරත්තාමි වෙදරාළගේ පරම්පරා උරුමය රැක ගනිමින් ඇය ආයුර්වේද ඩිප්ලෝමාවක් ද හදාරා වර්තමාන සමාජයට තම පාරම්පරික දැනුම තුළින් සාර්ථක ලෙස ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබේ. හොරිවිල වෙද පරම්පරාව වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇති කැඩුම් බිඳුම් ප්‍රතිකාරවලට අමතරව සන්ධි රෝග (ආතරයිටිස්) සහ කටීරෝග (කොඳු ඇට පෙළේ රෝග) සඳහා ඇය විශේෂිත ප්‍රතිකාර ලබා දෙන්නීය. කිතුල්ගල, බැහැනැල්ල – ඉංගිරියාවත්ත නම් ඈත දුෂ්කර ගම් පියසක ඉතාමත් නිහඬ සමාජ මෙහෙවරක නියැලෙන ඇය සමඟ අප මුලින්ම සාකච්ඡා කළේ ගුද්‍රාසී රෝගය හෙවත් සයිටිකා රෝගය පිළිබඳයි.
කාන්තාවක් ලෙස හොරිවිල වෙද පරම්පරාවේ විශිෂ්ට උරුමය ඉදිරියට රැගෙන යන ඔබට මුලින්ම අපගේ ගෞරවය හිමි විය යුතුයි. කාන්තා වෛද්‍යවරියක් ලෙස මුලින්ම අප කාන්තාවන්ට බහුලව ඇති රෝගයක් පිළිබඳ විමසා බලමු.
කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන ‘ගුද්‍රසී’ හෙවත් ‘සයිටිකා’ රෝගය පිළිබඳ ඔබගේ විශේෂ අවධානය යොමු වන්නේ ඇයි?
මා කැඩුම් බිඳුම් ප්‍රතිකාරවලට අමතරව වසර පහළොවක පමණ කාලයක් තිස්සේ සන්ධි රෝග හා කටී රෝග සඳහා විශේෂිත ප්‍රතිකාර ලබා දෙනවා. නවීන සමාජයේ කාන්තාවන්ගේ දෛනික කටයුතු අතරතුර, විශේෂයෙන් නිෙවසේ වැඩ කටයුතු, දරුවන් රැකබලා ගැනීම හෝ කාර්යාලයේ දීර්ඝ වේලාවක් වාඩි වී සිටීම වැනි අවස්ථාවලදී කොන්දෙන් පටන් ගෙන කකුල දිගේ පහළට විහිදෙන තද වේදනාවක් ගැන නිතරම වාර්තා වෙනවා. එවැනි වේදනාවක් හුදෙක් සුළු වේදනාවක් ලෙස බැහැර නොකරන්න. එය ගුද්‍රසී හෙවත් සයිටිකා (Sciatica) තත්ත්වය විය හැකියි. මෙම රෝගය කාන්තාවන්ගේ ශාරීරික හා මානසික සුවයට බරපතළ ලෙස බාධා ඇති කරන නිදන්ගත තත්ත්වයක්.
එසේ නම් සයිටිකා රෝග ලක්ෂණ නිවැරදිව හඳුනා ගන්නේ කෙසේද?
සයිටිකා යනු ශරීරයේ ඇති විශාලතම ස්නායුව වන සයිටිකා ස්නායුව (Sciatic Nerve) ආශ්‍රිතව ඇතිවන වේදනාකාරී තත්ත්වයකි. මෙම ස්නායුව කොඳු ඇට පෙළේ පහළ කොටසින් ආරම්භ වී පස්ස ප්‍රදේශය හරහා එක් කකුලක පිටුපසින් පාදයේ ඇඟිලි දක්වාම විහිදී යන නිසා රෝගයේ ප්‍රධානතම ලක්ෂණය වන්නේ වේදනාව එක් කකුලක් දිගේ පහළට ගමන් කිරීමයි. මෙම වේදනාව හිරිවැටීමක් හෝ ඉඳිකටු ඇනීමක් වැනි සංවේදනයක් ලෙස දැනී ගෙනේ. සමහර විට එය දරුණු දැවෙන හෝ විදුලි සැරයක් වදින ස්වභාවයක් ගන්නා නිසා ඇවිදීමට හෝ සිටගෙන සිටීමට ඇති හැකියාව පවා අහිමි කළ හැකියි. කැස්සක්, කිවිසුමක් හෝ දීර්ඝ වේලාවක් වාඩි වී සිටීම නිසා වේදනාව උත්සන්න වීමත්, රෑට නින්දට යාමේදී වේදනාව වැඩිවීමත් මෙහි පොදු ලක්ෂණයි.
කාන්තාවන්ට මෙම තත්ත්වය විශේෂයෙන්ම බලපාන්නේ ඇයි ද යන්න ඔබ පැහැදිලි කළහොත්?
සයිටිකා රෝගය ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඇති විය හැකි වුවද, ඇතැම් කායික හා ජීවන රටාවේ සාධක නිසා කාන්තාවන් අතර මෙම රෝග තත්ත්වය දැකිය හැකි අවස්ථා වැඩි වී තිබේ. ගර්භිණී සමයේදී සිරුරේ බර වැඩිවීම සහ හෝමෝන වෙනස්කම් නිසා සන්ධි ලිහිල් වීම ප්‍රධාන හේතුවක්. ඊට අමතරව, කුඩා දරුවන් නිතර ඔසවා තැබීම, වැරදි ඉරියව්වෙන් ඇලවී සිටගෙන සිටීම සහ බර එසවීමට සිදුවීම නිසා කොන්දට අමතර ආතතියක් ඇති වේ. තවද, නිතර උස සපත්තු (High Heels) පැලඳීම කොඳු ඇට පෙළේ ස්වාභාවික වක්‍රය වෙනස් කරමින් සයිටිකා ඇතිවීමේ අවදානම වැඩි කරයි.
ආයුර්වේදයට අනුව මෙම රෝගය ඇතිවීමට බලපාන ප්‍රධානතම සාධක මොනවා ද ?
ආයුර්වේදයට අනුව සයිටිකා හෙවත් ගුද්‍රසී රෝගය ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ශරීරයේ වාත දෝෂය කිපීමයි. වාතය යනු චලනය සහ ස්නායු පද්ධතිය පාලනය කරන ශක්තිය වන අතර කොඳු ඇට පෙළ ආශ්‍රිතව වාතය අවහිර වීම හෝ කිපීම නිසා ස්නායු මත පීඩනය වැඩි වේ. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ප්‍රධානම හේතුව වන්නේ කොඳු ඇට අතර ඇති ආරක්ෂක තැටියක් ඉලිප්පී ගොස් හෝ කැඩී ගොස් සියිටිකා ස්නායුව මත තද වීම වන කශේරුකා තැටි ඉලිප්පීමයි . අධික තරබාරුකම, දීර්ඝ වේලාවක් එකම වැරදි ඉරියව්වෙන් වාඩි වී සිටීම සහ පිරිෆෝමිස් මාංස පේශිය තද වී සයිටිකා ස්නායුව මත පීඩනය යෙදීමත් අනෙකුත් හේතු ලෙස බලපානවා.
එවන් තත්ත්වයකට පත් වූ කාන්තාවකට හොරිවිල වෙද පරම්පරාවේ ප්‍රතිකාර ක්‍රම ඇතුළු ආයුර්වේදයෙන් ලැබෙන සහනය කුමක්ද?
ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවල අරමුණ වන්නේ කිපුණු වාත දෝෂය සමනය කිරීම, ස්නායුව මත ඇති පීඩනය අඩු කිරීම සහ හානියට පත් වූ ස්නායුව යථා තත්ත්වයට පත් කිරීමයි. මේ සඳහා අප බාහිර හා අභ්‍යන්තර ප්‍රතිකාර ක්‍රම දෙකම යොදා ගන්නවා. අපගේ වෙද පරම්පරාවේ පුස්කොළ පොත්වල සඳහන් රහස් වට්ටෝරු භාවිතයෙන් සාදන ලද තෙල් වර්ග සහ ඖෂධ මෙහිදී සුවිශේෂී වෙනවා.
පංචකර්ම ප්‍රතිකාරවල දී ප්‍රමුඛතාවක් ලැබෙන්නේ කුමන ප්‍රතිකාරවලටද?
කටි වස්ති (Kati Vasti) මෙහිදී ප්‍රමුඛ ප්‍රතිකාරයකි. එහිදී කොඳු ඇට පෙළේ පහළ කොටස මත රඳවනු ලබන උණුසුම් ඖෂධීය තෙල් මඟින් එම ප්‍රදේශයේ රුධිර සංසරණය වැඩි දියුණු වී, තැටිවලට පෝෂණය ලැබී ස්නායු පීඩනය අඩු කරයි. අභ්‍යංග (සම්බාහනය) සඳහා මහා නාරායන තෛලය, සහචරාදී තෛලය වැනි තෙල් යොදා ගනී. පසුව පොටලී පිණ්ඩා ස්වේද (ඖෂධ පිරවූ පොට්ටනි තැවිලි) මඟින් වේදනාව සමනය කරයි. තවද වාත දෝෂය පිටතට දැමීම සහ පහළ බඩවැල පෝෂණය කිරීම සඳහා ඖෂධීය තෙල් සහිත අනුවාසන වස්ති ප්‍රතිකාරයක් ලබා දීම සයිටිකා ප්‍රතිකාරයේදී ඉතාම වැදගත් පියවරකි.
ප්‍රතිකාර සඳහා අභ්‍යන්තර ඖෂධ ලෙස නිර්දේශ කරන්නේ මොනවා ද ?
අප රෝගියාගේ අවස්ථාව සහ ස්වභාවය අනුව ඖෂධ නියම කරනවා. යෝගරාජ ගුග්ගුලූ සහ මහා යෝගරාජ ගුග්ගුලූ වැනි ගුග්ගුලූ සංයෝග වේදනාව හා දැවිල්ල අඩු කිරීමටත්, සන්ධි සහ තැටි සුව කිරීමටත් උපකාරී වේ. ක්ෂීරබලා තෛලය ස්නායු පෝෂණයට පානයට ද නියම කළ හැකියි. මීට අමතරව මහා රාස්නාදී ක්වාථය සහ දශමූල ක්වාථය වැනි කසාය වර්ග මගින් කිපුණු වාතය පාලනය කරමින් වේදනා සමනය කරයි.
අවසාන වශයෙන් සයිටිකා රෝගයෙන් මිදීමට සහ එය නැවත ඇතිවීම වැළැක්වීමට කාන්තාවන්ට ඔබ දෙන උපදෙස් මොනවා ද?
සයිටිකා රෝගයෙන් මිදීමට කාන්තාවන්ගේ ජීවන රටාව සකස් කර ගැනීම අත්‍යවශ්‍ය වේ. වාතය වැඩි කරන ආහාර (කළු කඩල, කවුපි, ගෝවා, අල වර්ග) භාවිතය අවම කරන්න. බඩවැල් නිසි ලෙස ක්‍රියාත්මක කරවන උණුසුම් හා පහසුවෙන් ජීර්ණය වන ආහාර නිතර ගන්න. නිතිපතා සුදුසු ව්‍යායාමවල නිරත වීමෙන් කොඳු ඇට පෙළ වටා ඇති මාංස පේශි ශක්තිමත් කළ හැකියි. වෛද්‍ය උපදෙස් මත කොන්දේ මාංස පේශි දිග හැරීමේ ව්‍යායාම නිවැරදිව සිදු කිරීම ඉතා වැදගත්ය. වාඩි වී සිටින විට කොන්ද කෙළින් තබා ගනිමින් නිවැරදි ඉරියව්ව පවත්වා ගන්න. මම මෙම වෘත්තියේ නියැලෙන්නේ සීයාගෙන් ලැබුණු උරුමය රැක ගනිමින් සමාජයට සේවයක් කිරීමේ අපේක්ෂාවෙන්. නිවැරදි රෝග විනිශ්චය සහ කල් පවතින ප්‍රතිකාර සඳහා පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරයකු හමුවීම අත්‍යවශ්‍යයි.
