විභාගවලට මුහුණදෙන සියලු දරුවන් විවිධ මානසික ශක්තීන්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ දරා ගැනීමේ හැකියාව විවිධ මට්ටම් වේ. මේ නිසා එකම ප්‍රශ්නයට දරුවන් මුහුණදෙන ආකාරය විවිධ වේ. කුමන ආකාරයේ හැසිරීම් පෙන්නුවද මවුපියන් ලෙස ඔබ ඔවුන් පිළිබඳ විශේෂ අවධානයකින් සිටිය යුතුය. අද සාකච්ඡාවට ගනු ලබන්නේ එවැනි දරුවන්ගේ විවිධ චර්යාත්මක ලක්‍ෂණ කිහිපයකි.
ඇත්තටම ඔබේ දරුවා “කම්මැළි”ද? නැත්නම් එයා “අසනීපෙන්”ද?
“මගේ දුව ඉස්සර වගෙ නෙවෙයි දැන් හරිම කම්මැළි වෙලා. එයා බලාගත්තු අත බලාගෙන ඉන්නවා. කිසිම දේකට උනන්දුවක් නෑ.
බොහෝ මවුපියන් මෙලෙස ප්‍රකාශ කරනවා ඔබ අසා ඇති. ඔබ නොසිතුවාට බොහෝ විට මෙවැනි ලක්ෂණ ඇති දරුවන්ට ළමා විෂාදය නමැති මානසික රෝගය වැලඳීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය.
ඇත්තටම පාසල් යන වයසේ දරුවන්ටත් විෂාදය (Depression) හැදෙනවා. ඒක වැඩිහිටියන්ට විතරක් එන ලෙඩක් නෙවෙයි. කුඩා දරුවාගේ සිටම වයසට යනතුරුම විෂාදය වැලඳීමේ ඉඩකඩ පවතී.
වැඩිහිටියන්ට ආවේගයක් ආ විට තව බොහෝ දෙනා සමඟ සාකච්ඡා කර පීඩනය අවම කර ගනී. එසේම විවිධ ක්‍රම හරහා විනෝදාස්වාදය ලබා ගනී. වැඩිහිටියන් වගේ දුක ප්‍රකාශ කරනවා වෙනුවට, යෞවන වයසේ දරුවන්ගේ විෂාදය එළියට එන්නෙ අපි කවදාවත් නොහිතන ක්‍රමවලින්. කුඩා දරුවන් නම් හඬා දොඩා, අතට හසුවන දේ පොළොවේ ගසා අතපය වනමින් ඔවුන්ට එන ක්ෂණික ආවේගය පිටකරනු ලබයි.
දරුවන් ආතතියෙන් පසු වන්නේ ද යන්න චර්යාත්මකව හඳුනාගත හැකි ක්‍රම කිහිපයකි.
හේතුවක් නැති කේන්තිය
සුළු දේටත් දරදඬු ලෙස හැසිරීම, නුරුස්නා බව වැනි හැසිරීම් මෙන්ම වැඩිහිටියන්ට අවනත නොවීමේ ලක්ෂණ ද පෙන්නුම් කරයි. මෙවැනි ලක්ෂණ දුටු වහාම මවුපියන් ලෙස ඔබ දරුවන්ට දඬුවම් දීම හෝ තරවටු කිරීම අසීමාන්තිකව අවවාද දීම සිදු කරයි නම් දරුවාගේ මෙම චර්යා ලක්ෂණ තව තවත් දරදඬු හා අකීකරු ගති ලක්ෂණ පෙන්නුම් කරයි. මෙවැනි දරුවෙක් දුටු වහාම ඔබ කළ යුත්තේ දරුවා සමඟ සුහද සාකච්ඡාවක යෙදීමයි. දරුවා තමාට ඇති ගැටලුව නොකියන්නේ නම් නැතහොත් ඊට මැලිකමක් දක්වන්නේ නම් දරුවාට වඩාත් විශ්වාසවන්ත ඥාතියකු හෝ හිතවතකු නැත්නම් දරුවාගේ යහළුවෙක් මාර්ගයෙන් හෝ එම ගැටලුව දැනගත යුතුය. මෙවැනි දරුවන් දකින මවුපියන් ඉතාමත් ඉක්මනින්ම දරුවා තමා අසලින් වාඩි කරවාගෙන හැකි තරම් සුහද සාකච්ඡාවලට එකතු කර ගැනීමට කටයුතු කළ යුතුය. විනෝද චාරිකාවක් රැගෙන යාම, ඔහු කැමැති ආහාරයක් රැගෙන දීම, ඔහු කැමැති විනෝදාංශයකට අවස්ථාව ලබාදීම වැනි දේ කළ යුතුය. අනතුරුව දරුවාට වඩාත් සමීප වීම සඳහා ඔහු හෝ ඇයගේ මනස තුළ මවුපියන් පිළිබඳ විශ්වාසයක් ගොඩනැඟිය යුතුය. මේ සඳහා ඕනෑම කැපකිරීමක් කිරීමට මවුපියන් ලෙස ඔබ වග බලා ගතයුතුමය.
මේ කිසිදු උපක්‍රමයක් සාර්ථක නොවන්නේ නම් ඉතාමත් ඉක්මනින් සුදුසුකම් සහිත උපදේශකවරයකු හෝ මනෝ වෛද්‍යවරයකු වෙත රැගෙන යාමට කටයුතු කරන්න. මන්ද සියදිවි නසා ගැනීම පිළිබඳ වැඩිම අවදානමක් ඇති චර්යා ලක්ෂණය මෙයයි.
උනන්දුව නැති වීම
ඔබේ දරුවා ඉස්සර ආසාවෙන් කරපු දේවල් (සෙල්ලම්, චිත්‍ර ඇඳීම, යාහළුවන් හමුවීම) එකපාරටම නතර කිරීම දැක ගන්නට ඇත්නම් ඔබ ගොඩාක් විට සිතන්නේ දරුවා දැන් ගොඩක් සන්සුන් වී ඇති බවයි. ඉගෙන ගැනීමට සූදානම් වන බවක් බොහෝ මවුපියන් සිතයි. මෙවැනි දරුවන් දෙස මවුපියන් ඉතාම රහසිගතව වගේම නිතර විමසිල්ලෙන් සිටිය යුතුය. විශේෂයෙන් එක තැන හිඳගෙන කල්පනා කිරීම, වැඩිපුර නිදා ගැනීම, කාමරයට වී පාඩම් කරන බව පෙන්වීම, අන් අය සමඟ සබඳතා අඩුකිරීම වැනි ලක්ෂණ පෙන්වන්නේ නම් මවුපියන් ඉතාම උනන්දුවෙන් මෙවැනි දරුවන්ට ළංවීම සහ ඔවුන් සමඟ සුහද කතාබහක යෙදීම වඩාත් සුදුසු උපක්‍රමයකි. එකට සුහදව ආහාර ගැනීම, (විශේෂයෙන් රාත්‍රී ආහාරය) නිෙවසේ පොදු වැඩවලදී එකඟතාව සඳහා දරුවා සාකච්ඡාවලට යොමු කරවා ගැනීම, ඔහුට හෝ ඇයට සතුටින් සිටීම සඳහා විෂය බාහිර ක්‍රියාකාරකම්වලට යොමු කළ යුතුය. ඒවායින් ජයග්‍රහණ ලැබුණත් නැතත් ඉන් ලැබෙන අස්වැසිල්ල ඔවුන්ගේ මනස සැහැල්ලු වීමට මහත් උපකාරයක් වනු ඇත.
අධ්‍යාපන කටයුතු පිරිහීමට ලක්වීම
වෙනදාට වඩා පාසලේ අධ්‍යාපන කටයුතුවලදී අඩු සාධන මට්ටමක් පෙන්වන්නේ නම් එනම් එක දිගට ලකුණු අඩු වීම, පාසල් යාමට අකැමැති වීම වැනි ලක්ෂණ පෙන්වන විට මේ ළමයාගේ කම්මැළිකම, හොරකම, කපටිකම වැනි චෝදනා කරමින් මවුපියන් බොහෝ විට සිදු කරන්නේ තවදුරටත් දරුවා ට අධ්‍යාපනය කෙරෙහි ඇති ලැදියාව ඉවත් කිරීමයි.
මෙවැනි දරුවන් හමුවූ වහාම මවුපියන් විසින් සිදු කළ යුත්තේ ඉගෙන ගැනීමට නම් මවුපියන් වන අපෙන් ඔයාට මොනවද ඕනේ, ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නෙ, ඔයාගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද? වගේ ප්‍රශ්න අසමින් අධ්‍යාපනයේ වටිනාකම පැහැදිලි කර දීමත් ඔහුගේ හෝ ඇයගේ අනාගත ඉලක්කවලට යාමට ඇති සුවපහසු මාර්ග පිළිබඳ අවබෝධය ලබා දීමත්ය. කුමන වයසේ පසු වුවත් පාසල් අධ්‍යාපනය ලබා ගන්නා දරුවන් අත්දැකීම්වලින් බෙහෙවින් අඩුය. ඔවුන්ට කොපමණ දැනුම තිබුණත් බුද්ධියෙන් අඩුය. මේ බව මවුපියන් විශේෂයෙන් සිතට ගත යුතුය. ඔබේ දරුවා ද එසේම පරිණත නොවූ, නොමේරූ දරුවෙකි. තමන්ගෙ දරුවා තමන්ට වඩා බුද්ධිමත් හෝ දැනුම්වත් යැයි සිතීම තරම් මෝඩකමක් මවුපියන් විසින් තවත් සිදු නොකරයි.
මවුපියන් කුමන ආකාරයෙන් සිතුවත් දරුවන් උපදෙස් හා අවවාද ලබා ගැනීමට ස්වභාවයෙන්ම කැමැතිය. නමුත් ඒවා දෙන ආකාරය අනුව දරුවන් මවුපියන්ගේ අවවාද උපදෙස් නොසලකා හරියි. දරුවන් සමඟ ගනුදෙනු කළ යුත්තේ කෙසේද? ඔවුන්ට උපදෙස් ලබා දීමේදී මවුපියන් ලෙස ඔබගේ මවුපියභාවය සුරැකෙන පරිදි කටයුතු කරන්නේ කෙසේද යන්න ඉදිරි ලිපියකින් අපි කතා කරමු.
