Monday, December 1, 2025
Epaper
Home මනෝ උපදේශනජීවිතය වෙනස් කරන විශ්ව ආකර්ෂණ නීතිය

ජීවිතය වෙනස් කරන විශ්ව ආකර්ෂණ නීතිය

by Shanaka Lakehouse

ඔබට මතක ඇති පසුගිය සතියේ හරි අපූරු රහසක් අප ඔබත් සමඟ බෙදා ගත්තා. ඒ ලිපියේ ඔබේ ජීවිතේට සිහින දිනාගන්නට නවමු බලාපොරොත්තු එක් වූ බව අප වෙත ලැබුණු ඔබගේ දහසකුත් ප්‍රතිචාරවලින් පෙනී ගියා.

ඉතින් ඔබේ ආදරණීය ඉල්ලීම මත ඔබේ සිහිනවලට පියාපත් දෙනු වස් තරුණී අප මානව හැකියා පුහුණුකරු සනත් ගමගේ මහත්මයා සමඟ සුහද සේම ගැඹුරු සංවාදයකට වැටුණා…

ඇත්තටම, මොකක්ද මේ ආකර්ෂණ නීතිය කියන්නේ..?

ඇත්තටම මේ විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ මහා අමුතු නොදන්න දෙයක් නෙවෙයි. සරලවම ගත්තොතින් විශ්වය වැඩ කරන්නේ මොනාකාරයටද කියන එක තමයි අපි මේ අධ්‍යනය කරන්නේ. ඒක මේ විදිහයි. දැන් හිතන්න ඔබ මීටර් 10000 ධාවන තරගයකට පෙනී සිටිනවා කියලා. වට කිහිපයක්ම දුවන්නට වෙනවාමනේ. හිතන්න, මේ වටයේ එක තැනක පිරිසක් ඉන්නවා. ඒ අය ඔබව දිරිමත් කරනවා. ඔබව උද්වේග කරනවා තරගයේ ජයග්‍රහණයට. ඔවුන් පසුකරගෙන ඉදිරියට යනවිට ඔන්න පුතා තව පිරිසක් ඉන්නවා. ඔවුන් ඔබව මානසිකව බිඳහෙළන්න බලනවා.ඔබට ඒක කරන්න බැරි බව, ඔබ අදක්ෂ බව සහ තව තවත් නානාප්‍රකාර නින්දා අපහාස බැණුම් ගැරහීම් කරමින් ඔබව බිඳහෙළන්න උත්සාහ කරනවා. ඔබ ඒ තැනත් පසු කරගෙන යනවිට ඉදිරියේදී මේ ධාවන කවයේ එක් තැනක ගල්, බොරලු ඇතිරූ හරිම දුෂ්කර කොටසක් පසු කරන්නට වෙනවා. ඔන්න පුතා ඔබ ඒ කොටසත් පසු කරගෙන දෙවැනි වටය අරඹනවා. නැවතත් පෙර කී ලෙසටම සිද්ධ වෙනවා. ඔබ තෙවැනි වටය ආරම්භයේ දී ඔබ දන්නවා දැන් කොතනද ඔබට දුෂ්කර බව. ඔබ ධාවන තරගයේදී ඔබව දිරිමත් කරන උදවියව ගණන් නොගෙන දුවනවා. නමුත් ඊළඟට ඔබව මානසිකව ඇද වට්ටවන්න උත්සාහ කරන අයවලුන්ට ඔබ දුවමින් බැණ වදිනවා. තරහින් අංගචලන දක්වනවා. ඔන්න ඔබ වටයේ දුෂ්කරම කොටසින් බිඳවැටෙනවා.ගල් බොරලු සහිත ධාවන කොටසට එනවිටම ඔබ ඇතුළාන්තයෙන් බිඳ වැටිලා.

නමුත් හිතන්න ඔබව දිරිමත් කරන උදවිය ඉදිරියෙන් ඔබ අංගචලන දක්වමින් සිනාසෙමින් දුවනවා, ඔබව බිඳදමන්න හදන උදවිය අසලිනුත් ඔබ ඔවුනට ස්තූතිවන්ත වෙමින් සිනහවකින් සංග්‍රහ කරමින් ඔවුන්වත් පසුකර යනවා. ඔන්න දැන් වටයේ අසීරුම කොටස. දැන් ඔබ දන්නවා අනෙක් තරගකරුවන්ගේ ධාවන වේගය අඩාළ වෙන්නෙ මෙතනින්. නමුත් දන්නවාද ඔබට ඔබේ ජයග්‍රහණය තහවුරු කරගන්නට අනෙක් අය පසු කර යන්නට හැකි මෙන්න මේ කොටසින්, මොකද ඔබ ඇතුළාන්තයෙන්ම ශක්තිමත් තෘප්තිමත්.

අන්න ඒක තමයි මේ අපි අරුමයක් ලෙසට දකින ආකර්ෂණ නීතිය. ඔබ දෙන දේ ඔබට ආශීර්වාදයක්ව ආයෙමත් ලැබෙනවා. ඔබ ස්තූතිවන්ත වූවොතින් ඔබට ස්තූතිවන්ත විය යුතු දේ තවත් ලැබෙනවා.අනෙක් අයට අසීරුම තැන් පවා ඔබට පහසුවෙන් ලෙහෙසියෙන් සාර්ථකව පසුකරන්නට හැකියාව ලැබෙනවා. මෙන්න මේකයි තියරිය.

විශ්ව ආකර්ෂණ නීතිය යනු සැබැවින්ම අප මුදාහරින හැඟීමම නැවත අප වෙතම පැමිණෙන්නක්. ඔබ අවධානය යොමු කරන්නෙ කුමකටද එය පෙරළා ඔබ වෙතම ලැබෙනවා.මේ විශ්වය දෝංකාරයක්.

ගෘහිණියගේ මේ කාර්‍යබහුල ජීවිතේ ඇතුළේ ඇගේ සිහින ඉෂ්ට කරගන්නට ආකර්ෂණ නීතිය භාවිත කරන්නට පුළුවන් ආකාර පවතිනවද සහ ඒ මොනවද?

ඇත්තටම මේ විශ්ව ආකර්ෂණය නීතියේදී විවිධ ක්‍රම තියනවා 69, 555, Scripting වගේ ක්‍රම තිබුණට ඒවා කළත් අපිට අපේ සිහින ඉෂ්ට කරගන්න නම් අපි මේ විශ්වය සමඟ ඒකාත්මික විය යුතුයි. සරලව පවසනවා නම් විශ්වය හා සම්බන්ධ විවිධ නීති හා නොගැටී ඒ සමඟ ගමන් කළ යුතු වෙනවා. ඇත්තෙන්ම අප සමඟ තරහින් සිටින කෙනකුටත් මෛත්‍රීසහගත සිතුවිලිවලින් සංග්‍රහ කරන්න පුළුවන් නම් අපිට පෙරළා ලැබෙන්නෙම ලෝකයෙන් මෛත්‍රියයි. ඔබ ගෘහිණියක හෝ වේවා තරුණියක හෝ වේවා කාන්තාව කියන්නෙම සැනසීමක් උපද්දවන හරිම සාමකාමී ශක්තියක්. මේ විශ්වය ඔබේ වචන හඳුනන්නෙ නෑ. නමුත් ඔබේ හැඟීම් හොඳින් හඳුනනවා. ඒ හැඟීම් නිර්මාණය කරන්න පුළුවන් මෙවලම තමයි මේ අපි කතා කරන වචන.

හොඳින් බලන්න, කෙනෙක්ට ශාරීරිකව පහර දෙනවාට වඩා තදබල පහරක් වෙනවා ඔහුට හෝ ඇයට දැඩි ලෙසට බැණවැදීම. ගෘහිණියක වූ ඔබ නිතර දෙවේලේ සිත කනස්සල්ලෙන්, බයාදු විලාසෙන්, අපිරිසුදුව, අපිළිවෙළට, තරහින්, කලකිරීමෙන් සිටී නම් ඔබ නිතරම පාහේ ඍණාත්මක සිතුවිලි සහිත වචනම භාවිත කරයි නම් ඔබට නැවත පෙරළා ලැබෙන්නෙම ආන්න එහා සමාන යථාර්ථයක්. නමුත් ඔබේ වචන කාරුණිකයි නම් ඔබේ ක්‍රියාව හදවතින්ම කාරුණිකයි, සාමකාමී නම් ඔබට ලැබෙන්නේ විශ්වයෙන් කාරුණික සාමකාමී වටපිටාවක්, ගෘහිණිය වූ ඔබ පවුලේ සැමගේම සැනසීමයි. ඉතින් ඔබ මුදිතාවෙන් එනම්, පවුලේ අයෙකුගේ කරදරයක් හිරිහැරයක් සේම සතුටක් ද ඔබටත් ඒ අයුරින්ම දැනී කටයුතු කරනවා නම්, ඔබ අටලෝ දහමින් කම්පාවෙන් උපේක්ෂාවෙන් දරා සිටීනම් සරලවම ඇලීමකින්, ගැටීමකින් තොරව සිටීනම් නිරායාසයෙන්ම ඔබට අවශ්‍ය දේ ඔබ කරා එනවා. බලන්න ඔබ ගෘහිණියක් නම් ඔබ කෑම සකසන විට පවුලේ අයවලුන් ගැන ආදරෙන්, සතුටින්, සෙනෙහසින් ඒ ආහාර පිසී නම් ඒ ආහාර පවා දිව්‍ය භෝජන වන්නේ ඒ නිසාවෙනුයි. හොඳින් කල්පනා කරලා බලන්න ඔබ ආදරෙන් පිසූ ආහාරවලට පවුලේ අය මොන වගේ සෙනෙහෙවන්ත ප්‍රතිචාර දී ඇතිද… යම් හෙයකින් එසේ ප්‍රතිචාර නොලැබුණත් ඔබට කම් නෑ. මක් නිසාද යත් ඔබ උපේක්ෂාවෙන් සියල්ලම දරාසිටින නිසා.ඉන් ඔබේ මානසික සුවය උපරිමයට ගෙන එනවා.

ඔබ ඇහුවා ක්‍රමයක් ගැන. මං අනුමත කරන ප්‍රබලම සහ සරල ක්‍රමයක් තමයි 3 6 9 ක්‍රමය.මෙය සරලයි. ඔබට නිදහසක් ලැබෙන මිනිත්තු දෙක තුන ඇති මේ ක්‍රමයට. උදෑසන ඔබ අවදී වූ විගසම ඔබේ සිනිනය ඔබට දැනෙන ආකාරයට තුන් වතාවක් ලියන්න.වේගයෙන් ලියන්න. ස්තූතිවන්ත වෙමින් ලියන්න. (සිනාවෙමින්) විශ්වය පන්තිභාර ගුරුතුමී නොවන නිසා ඔබේ අතකුරු ගැන සැලකිලිමත් විය යුතු නෑ.

දහවලෙත් ඔබේ සිහිනය, ආශාව දැනෙන පරිදී සය වතාවක් ලියන්න. රාත්‍රී නින්දට පෙරත් ඔබේ සිහිනය දැනෙනා ලෙසට නව වතාවක් ලියන්න. මේකෙදී එකම පොතම විය යුතු නෑ බස් ටිකට් එකක් හෝ කමක් නෑ අවශ්‍ය ඔබේ සිහිනය දැනෙන පරිදි ආශාව හැඟීම් ජනනය කිරීමයි.

දැන් ඔන්න මා ළඟට එන සමහරු අහනවා කොහොමද එහෙම වෙන්නේ ලිව්වහම ලැබෙනවාමද වගේ කාරණා. ඒකට කියන්නෙ පුතා analytical maid. හිතන්න ඔබ කාමරයක් එළිය කරන්නට ස්විචය දැමූ පසු විදුලි බුබුළ දැල්වෙන විදිහක් කල්පනා කරන්නෙ නැහැනේ. අන්න ඒ වගේ වෙන විදිහ නෙවෙයි ඔබට ඉන් ලැබෙන දෙයට අවදානය දෙන්න ප්‍රතිඵල උදාකරගන්න.

මේ ආකර්ෂණ නීතිය අනුගමනය කරන අයට පවා සමහර අවස්ථාවලදී ඒ ක්‍රමවලින් ප්‍රතිඵල උදාකරගන්න බැරි වෙන අවස්ථා තියනවා. ඒකට හේතුව මොකක්ද..?

අපි කලින් කතා කළානේ ධාවන තරගේ උදාහරණය. පුතා ඒකෙදී අමාරු අසීරු කාලයේදී අපි ලබා දීලා තියෙන්නෙ ඍණාත්මක හැඟීිමක් නම් එළඹෙන කාලරාමුවේ දි ඔබට එය නැවත පැමිණෙනවා. ඒ වගේ කාලවලදී සිද්ධ වෙන නරක දේට චෝදනා නොකර හෝ ඍණාත්මක සිතිවිලි වෙනුවට ධනාත්මක චින්තනය නිර්මාණය කරගන්නට හැකියාව ලැබෙනවා. තවත් මේ ගැන අවධානය යොමුකළොතින් මේ ආකර්ෂණ නීතියෙන් හොඳින් ප්‍රතිඵල උදාකරගත්ත අයට පවා සමහර කාලවලදී ඒ ක්‍රම හරහා සාර්ථක කරගන්න බැරි වෙන්නෙ අපි ඉල්ලන දේ අපි දෙන දේ අපිට පෙරළා ලැබෙන විට අපි හරිම කාර්යබහුල වී අපිට ස්තූතිවන්ත වීම් පවා අතපසු වෙනවා. මේවා තමයි එයට හේතුව.

ආදරයට ආදරණීය රහස් ආකර්ෂණය සමඟින් ලබන සතියේ ඔබ හමුවට

 

TEXT – ගවේශා ලොකුසූරිය

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?