Monday, December 1, 2025
Epaper
Home Recipeතැම්බුම් හොද්ද

තැම්බුම් හොද්ද

by Shanaka Lakehouse

නි‍ෙවසක ඕනෑම රෝගයකට සරිලන ‘කෝකටත් තෛලය’ බඳු අපුරු පානය ”තැම්බුම් හොද්ද” ගැනයි අද කියන්න යන්නේ. මුළුතැන්ගෙයි සුලබ කුළුබඩු එකතුවක් නිසි පදමට යොදා සාදා ගන්නා මේ පානයේ රසවත් බව හා ගුණවත් බව එය රස බැලුවො මිස අන් අය නම් නොදනිති. අපේ පළාතේ තැම්බුම් හොද්ද ලෙස හැඳින්වූ මෙම පානය තව පළාත් වල මිරිස් හොද්ද නමින් හඳුන්වන අතර, දෙමළ සහ මුස්ලිම් නිවෙස්වල ‘රසම්’ යන නමින් ද හඳුන්වනු ලැබේ. තැම්බුම් හොද්ද කියන්නේ ශ්‍රී ලංකාවේ අත්බෙහෙත් අතර ඉහළින්ම වැජඹෙන රසවත් ආහාරයක්.

පසුගිය කාලයේ පැතිර ගිය සෙම්ප්‍රතිශ්‍යා, කැස්ස සහ වයිරස් උණ රෝග තත්ත්වයන් හේතුවෙන් බොහෝ දරුවන්ගේ කෑම රුචිය අඩුවීම සුලබ තත්ත්වයක් විය. අසනීපයකින් සුවය ලැබීමෙන් පසු පවා ආහාර රුචිකත්වය යථා තත්ත්වයට පත් කර ගැනීම සමහර දරුවන්ට අභියෝගයක් විය හැකිය. ​මෙලෙස කෑමට අකමැති වන දරුවන්ගේ ආහාර රුචිය නැවත වර්ධනය කිරීම සඳහා රසවත් හා පෝෂ්‍යදායී ඉන්දියානු කෑම බීම වර්ග රාශියක් පවතී. ඉන්දියානු ආහාරවල ඇති කුළුබඩු සහ සුවඳ නිසා එය දරුවන්ගේ රුචිකත්වය වැඩි කිරීමට බෙහෙවින් උපකාරී වේ.

තැම්බුන් හොද්දට එකතු කරන කුළුබඩුවල ගුණ බොහෝමයි.සියඹලා යනු ද්විත්ව ගුණ සහිත අපූරු ඖෂධයක්. සියඹලාවලට මලබද්ධය ඇති කෙනකුගේ උදරයේදී මල බුරුල් කිරීමටත්, දියර සහිත මල ඇති කෙනකුගේ මල ඝන කිරීමටත් අපූරු හැකියාවක් තිබෙනවා. සුදුලූනු නම් දෙව්ලොවින් වැඩි අපුරු බෙහෙතක් ලෙස හඳුන්වා දීමට හැකියි. සුදුලූනුවල පිළිකා නැති කිරීම, පිත අඩු කිරීම, ශරීරයේ වාතය ඉවත් කිරීම, මලබද්ධය නැති කිරීම, විෂ නැසීම, රුධිරගත කොලෙස්ටරෝල් අඩු කිරීම, ගැඹුරු ශිරාවල රුධිරය කැටි ගැසීම වැළැක්වීම, රුධිර සීනි පාලනය, බැක්ටීරියා සහ වයිරසවලට ඔරොත්තු දෙන ප්‍රතිශක්තිය ඇති කිරීම, වේදනා නාශක ගුණ සහ තවත් බොහෝ ගුණ අඩංගු වෙනවා.

පොදුවේ ගත් කළ රතුලූනු, ගම්මිරිස්, සූදුරු, කොත්තමල්ලි, කරපිංචාවල විස නැසීමේ හැකියාව, මලබද්ධය නැති කිරීම, බැක්ටීරියා වයිරසවලට ඔරොත්තු දීමේ ශක්තිය, වේදනා නාශක ශක්තිය, ශරීරය සිසිල් කිරීමේ හැකියාව මෙන්ම උදරයේ වේදනා නැති කිරීමේ හැකියාවන් තිබෙනවා. මේ සියලුම කුළුබඩුවල ඊට ආවේණික මිහිරි සුවඳක් ඇති අතර මේ සියල්ල එකතු වූ ‘තැම්බුම් හොද්දේ’ ඇත්තේ

අපුරුම සුවඳක්ය.

මලබද්ධය එක වේලකින්ම නැති කරන තැම්බුම් හොද්ද, අජීර්ණයකදී ඇතිවන දියරමය මලපහ ඝන කර උදරයේ ඇති වේදනාව නැති කර දමනවා. දරු ප්‍රසූතියකින් පසු මවකට මුලින්ම දෙන අාහාරයේ තැම්බුම් හොද්ද අනිවාර්යයි. එමඟින් ප්‍රසූතියේදී ඇති වූ ශාරීරික වේදනා සහ වෙහෙස මඟ ඇරීමත්, තුවාල සුව වීම ඉක්මන් කිරීමත්, ගර්භාශයේ ඇති දරු උපතට සම්බන්ධ පටක ඉවත් කර දැමීම සිදු කර මලබද්ධය වළක්වා ආහාර රුචිය ඇති කරනවා. මල්වර වූ යුවතියකට ලබා දෙන ප්‍රථම ආහාරය වන මෙය උදර වේදනාව නැති කරනු ලැබේ.

තුවාල සනීප වීමට මලබද්ධය නැති කරන තැම්බුම් හොද්ද බඩ පිපුම, වමනය වැනි අවස්ථාවලදීත් යොදා ගන්නවා. විශේෂයෙන්ම මෙහි ලවණ ගතිය අධික නිසා විජලනයෙන් ඔබව ආරක්ෂා කරනවා.

නිවැරදිව තැම්බුම් හොද්දක් සාදා ගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

ඇට ඉවත් කළ සියඹලා ගුළියක්

සුදුලූනු ගෙඩි 2ක්

ගම්මිරිස් ඇට තේ හැඳි 2ක්

සිහින්ව ලියා ගත් රතුලූනු

කුරුඳු පොතු කැබැල්ලක්

උළුහාල් තේ හැඳි 2ක්

කරපිංචා අහුරක්

කොත්තමල්ලි ඇට

සූදුරු තේ හැඳි 2ක්

මහදුරු තේ හැඳි දෙකක්

ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය:

කොත්තමල්ලි, සූදුරු සහ මහදුරු වංගෙඩියේ කෑලි සිටින සේ කොටාගන්න. පසුව පිරිසුදුු රෙදිකඩක පොට්ටනියක් හදා ගන්න. මේ පොට්ටනියට අනිකුත් සියලුම ද්‍රව්‍ය සහ අවශ්‍ය පමණ ලුණු සමඟ එනමල් හෝ මැටි භාජනයකට දමන්න. වතුර කෝප්ප 7ක් දාන්න. මඳ ගින්දරේ කෝප්ප දෙකක් පමණ වන තුරු හින්දවන්න. පොට්ටනිය ඉවත්කර අනිකුත් පහේ සමඟම පිළිගන්වන්න. පානයේ ඇති ගම්මිරිස් සහ උළුහාල් ඇට හැර අනිකුත් සියල්ල ආහාරයට ගැනීමෙන් තැම්බුම් හොද්දේ ඇති ගුණ ලබා ගත හැකියි.

TEXT – හිරුෂිකා ප්‍රියදර්ශනි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?