වැඩ කන්දරාවක් අහවර කළ දවසක හවසකි. ෆිෆ්ත් ලේන්හි අයිකොනික් අයි ඔෆීස් කාමරයට යාබද බරාඳයට පැමිණ නිගූ ඩන්හිලයක් දල්වයි. රටේ ආර්ථික අර්බුදයත් සමඟ නිගූට වැඩ අඩු වී තිබෙයි. ඔහු තම මිතුරකු හා එක්ව නිර්මාණය කරමින් සිටින චිත්‍රපටයේ තිර පිටපත සකස් කිරීමේ කාර්යයෙහි අවසාන භාගය වෙනුවෙන් මහන්සි වන්නට සිදුව තිබෙයි. රූගත කිරීම් අරඹන දින පවා තීරණය කර ඇති බැවින් හදිසියේම ලොකේෂන් බැලීම පවා කළ යුතුයි.
නිගූ කැමැති ගාණට කිරිත්, සීනිත් මුසු කළ කෝපි කෝප්පයක් සාදාගෙන එන මාරියා, එය ඔහු අතටම දෙයි. අනතුරුව අළු බඳුන ඔහුගේ අතේ දුරට ළං කර තබයි. ආපසු හැරී යන මාරියාගේ පුළුල් නිතඹ දෙස නිගූට හැරී බැලෙයි. වුවමනාවෙන් වළක්වා ගත්තොත් මිස ඔහුගේ ඇස් නිතැතින් එදෙසට හැරෙයි. මාරියා ප්‍රියමනාප යුවතියකි. අයිකොනික් අයි කාර්යාල පරිශ්‍රය ලස්සනට තබා ගන්නී ද සත්කාර සංග්‍රහ කරන්නිය ද ඇයයි. නිගූගේ වුවමනා එපාකම් මොනවාදැයි මොහොතින් මොහොත සොයා බලා කර දෙන්නට තරම් ඈ කාරුණිකයි.
නිගූට මහන්සියි; පාළුයි; කාන්සියි. ආත්මානුකම්පාවක් ද හෙමින් හිතට ගලයි. දුම් අහුරු අහුරුවලින් බරාදයේ එක් අන්තයක් පිරෙයි. කෝපි එක නිවෙයි. මාරියා පැමිණ වරින් වර විපරම් කර යයි. නිගූ වඩාත් කැමැති උණු කෝපි බොන්නට බව මාරියා දනියි. ඇතැම් විට කෝපි එක නිවී ඇති විට අලුතින් කෝපි හදන්නට ඇයට සිදුව තිබෙයි. නිගූට කෝපි එක අමතක වන්නේ ඔහු දැඩි ආතතියකින් සිටින විටත්, එසේත් නැතහොත් කිසියම් භාවමය කම්පනයකින් අවුලට පත්ව සිටින විටදීත් බව මාරියා දනියි. ඔහු අවට දුම් වළලු ඝෝෂාව ද එහිම සංකේතයකි. මාරියා නිගූ ඉදිරියටම එයි. නිගූ බරාදයේ ගරාදි වැටෙන් එපිට තුරු ගොමුවට නෙත් යොමා සිට එකවරම මාරියා දෙසට හැරෙයි. ඈ නිමේෂ මාත්‍රයකට නිගූගේ නෙත් ගැඹුරට එබෙයි. එකවරම ඇගේ බැල්ම ප්‍රශ්නාර්ථයකට නැඟෙයි. මඳ සිනහ කැල්මකින් ඇගේ අප්‍රිකානු හැඩයේ මුහුණත්, දෙතොලත් දිදුලයි.
” කෝපි එක නිවිලා නේද ? අලුත් එකක් හදන්නද?”
නිගූ එකවර පියවියට පිවිසෙයි. බණ්ඩාරගම ගොස් අම්මා බලන්න ද කහතුඩුවේ ගොස් සාරා බලන්න ද ඇරැව්වල ගොස් අසෙනි දකින්න ද මාලබේ ගොස් වකුටු වී නිදා ගන්න ද විරාජයා හෝ අහුවෙන ඕෙන එකෙකු සමඟ හෝ තනිවම මීවිතක කිඳෙන්න දැයි යන ආරම්මණාවලියෙහි එකක් පසුපස එකක් පරයා හඹා යමින් සිටි නිමේශයකි. තව ටිකකින් රථය පාරට දමා කොයි අතක යන්නදැයි සිතෙන සිතුවිල්ලට මුහුණ දෙන අයුරු සිතමින් සිටි ඔහු එකවරම මාරියාගේ විසල් විමසුම් දෙනෙතේ අත්අඩංගුවට පත් වෙයි. එය අත් අඩංගුවක් යැයි නිගූට සිතෙන්නෙ ඒ දීප්තිමත් විමසුම් දෑසෙහි විශාලත්වය නිසා ද මඟ හැර යා නොහැකි තරම් ආක්‍රමණශීලි සාවදාන කරුණාවක් එහි ගැබ්ව ඇති නිසාදැයි ඔහුටම සිතා ගත නොහැකියි.
“නිගූ සර් හිතේ අවුලකින් ඉන්නෙ කියලා දැනිලා තියෙනවා. ඒත් අහන්න හිතුණෙ නෑ..”
මාරියා නිගූගේ විඩාබර දෑස් තවදුරටත් අත් අඩංගුවේ රඳවා ගනිමින් කියයි. ඈ වෙන කවරදාකවත් මේ තරම් මිත්‍රශීලී ස්වරයකින් කතා කර නැත.
නිගූ ඉඳගෙන සිටින වේවැල් හාන්සි පුටුවේ වියල පිරිමදිමින් එය පසු කර යන ඈ බරාදයේ ගරාදි වැටට අත තබා පිටත බලයි. පිටුපා සිටින මාරියාගේ පුළුල් නිතඹ නිගූට දැන් මැනවින් පෙනෙයි. හිස මත්තේ ගෙඩියක් කොට බඳින ලද ඇගේ කෙස් වැටියේ අවුල් කෙස් රොද කිහිපයක් හැන්දෑ රාස්සිගේ අව්වට තඹ පාටින් දිදුලයි. හැන්දෑ කුසීතයත්, සරාග සීතලත් රැගෙන ගරාදි අතරින් රිංගා මාරියාගේ කෙහෙරොද තව තව අවුල් කර එන සුළං රොදක් ඩන්හිල් දුමාරයේ වෙළෙයි. නිගූ එකවරම ඩන්හිලය අළු බඳුනෙහි ඔබා මඳක් නිවී ඇති කෝපි කෝප්පය එක හුස්මට බී ඉවර කරයි. ඉන්පසු නැඟිට මාරියා සමීපයටම ගොස් ඇගේ ඇඟේ ගෑවෙන නොගෑවෙන ගාණට හිට ගනියි. මාරියා විගස ආපසු හැරී බලයි. ආයෙමත් ඇගේ දෙනෙත් අත්අඩංගුවට නිගූ කැමැත්තෙන්ම පත් වෙයි. දැන් ඒ ඇස් පෙරටත් වඩා සමීපවම නිගූගේ නෙත් ගැඹුරට කිමිදෙමින් සිටියි.
” ඔව් මාරියා මං අවුලෙන් ඉන්නෙ… මට ඔයාගේ කරුණාවන්ත සැලකිලි සත්කාර හොඳටම දැනෙනවා..”
නිගූ එසේ කියන විට ඔහුගේ ඇස් අග කඳුළු බිංදු දෙකක් දිලිසෙමින් තිබෙනු මාරියා දකියි. ඉන් ඇයගේ ඇස් කෙවෙනි ද වහා තෙත් වෙයි. ඔවුන් අතර වසර ගණනක් තිස්සේ පැවති ස්වාමි සේවක සබඳතාව මැකී ගොස් එකවරම මිත්‍රත්වය ද වෙන කවර හැඟීමක් ද කිව නොහැකි ස්පන්දනයකින් හදවත් යා වෙයි. නිගූ වාවා ගත නොහැකි තරම් හැඟුම්බරව හැඬුම්බර වෙයි. මාරියා ඉදිරිපිට තමාගේ පිරිමි ආත්මය දිය වී යාම ගැන ඔහු කලබල නොවෙයි. මෙතෙක් දවස් හිර කරගෙන සිටි ඉකිය පුපුරා වැගිරෙන්නට පටන් ගනියි. මාරියා දෑත බදා තදින් නිගූව වැලඳ ගනියි. එකිනෙකාට වත්තම්ව ගරාදි වැටට යාබද දිවානය මත පතිත වෙති.
නිගූ තම ඉකිය වළක්වා ගන්නට උත්සාහ නොකරයි. ඔහු මාරියාගේ පිරිපුන් සිරුර බදා වැලඳගෙන හඬයි. ඇගේ ගෙල මතත් පපුවෙහිත් කඳුළු වැගිරෙයි. ඔහු ඇගේ විසල් පියයුරු මත කඳුළින් පිරි මුහුණ හොවාගෙන තව තවත් ඇගේ බඳට තුරුලු වෙයි. ඉකි ගැසුම් නතර නොවෙයි. මාරියා තම අතැඟිලි ඔහුගේ කෙහෙරැලි අතර යවමින් හිස පිරිමදියි. නිගූට ඈ කෙරෙන් දැනෙන්නේ අම්මාගේ සනීපයයි. අම්මාගේ සුවඳයි. නිගූගේ ඉකිබිඳුම් හඬ කෙමෙන් මැකී යන තුරු ඔවුහු ඒ ඉරියව්වෙන්ම හිඳිති. තරාතිරම් පරතර වියැකී ගොස් ඔහුට මාරියා කෙරෙහි අසීමිත ගෞරවක් දැනෙයි. ඔහු මොහොතකට සියල්ල අමතක කර ඇගේ විසල් පපුව මත මුහුණ හොවා ගෙන හිඳියි. ඇගේ දෙළැම නිම්නයේ තමා වැගිරූ කඳුළුවල ලුණුරස ඔහුගේ තොල්වලට දැනෙයි.
මඳ වේලාවක් ඒ ඉරියව්වෙන්ම සිටින ඔහුට මාරියාගේ පපුව උස් පහත් වනු දැනෙයි. ඔහුගේ නැහැ තුඩටත්, කම්මුලටත් ඇය හුස්ම ගන්නා අයුරු දැනෙයි. මාරියා දිවානය මත මඳක් හරි බරි ගැසී වමතින් නිගූගේ හිස වත්තම් කර ගනියි. ඔහුගේ දෑස් පියවෙයි. මාරියාගේ අතැඟිලි තුඩු ඔහුගේ කෙහෙරැලි අතර සරයි.
තවත් කොටසකින් හමුවෙමු
