Monday, December 8, 2025
Epaper
Home පුවත්ඝාතනයකින් අවසන් වූ මුහුණුපොතේ පෙම් පලහිලව්ව

ඝාතනයකින් අවසන් වූ මුහුණුපොතේ පෙම් පලහිලව්ව

by Shanaka Lakehouse

මුහුණුපොත යනු මිනිසාට සුහදත්වය වර්ධනය කර ගැනීම සඳහා නිර්මාණය වුණු කදිම අවකාශයකි. නමුත් ඒ ඔස්සේ එකිනෙකා අතර සුහදත්වය වර්ධනය කර ගැනීම කෙසේ වෙතත් මේ වන විට එමඟින් ගැටලු රාශියක් නිර්මාණය වී ඇති බව පෙනෙන්නට තිබේ. වත්මනෙහි මෙවැනි අවකාශයක් තුළ ඇතිවන සබඳතා නිසා ප්‍රඛණ්ඩ මෙන්ම අපරාධ සිදුවන අවස්ථා ද දැකිය හැකි වේ. කෙසේ හෝ දිනෙන් දිනම මෙම අවකාශය නිසා රට තුළ සිදුවන අපරාධයන් හි ප්‍රමාණය ද ඉහළ යමින් තිබේ.

මුහුණුපොත හේතුවෙන් මේ වන විට ලාංකේය පවුල් සංස්ථාව තුළ ද විවිධ ගැටලු රාශියක් ඇති වෙමින් පවතී. මේ නිසා විනාශ වූ ජීවිත ගණන ද සුළුපටු නොවේ. මේ අතර ව්‍යාජ ප්‍රතිරූප මවා පෙන්වමින් මිනිසුන් අසරණ කරන හොරුන්ගේ තිප්පොළක් බවට ද මෙම මාධ්‍ය අවකාශය පත්ව ඇති බව පෙනේ. මෙකී ගැටලු ඔස්සේ සමාජය වළපල්ලට යන බව දිනෙන් දින වාර්තා වන අපරාධ හමුවේ අපට දැකිය හැකියි. කුලදීපනි ද මුහුණු පොත නිසා දිවි අහිමි කරගත් කාන්තාවකි. කුලදීපනීගේ මළ සිරුර පොලීසියට හමුවන්නේ පුනරීන් පොලිස් වසමේ සංගුපිටිය පාලම අසල තිබියදීය. සිරුරේ ඉණෙන් පහළ ඇඳුම් කිසිවක් නොවූ අතර මුහුණ ද විරූපී වී තිබිණි. ඇගේ මරණය පොලීසියට ගෙන දුන්නේ මහත් ගැටලුවකි. කුලදීපනි සංගුපිටිය පාලම වෙත පැමිණියේ මන්දැයි ඒ කා සමඟදැයි සොයා පොලීසිය විමර්ශන පවත්වන්නේ කුලදීපනීගේ මරණය මිනීමැරුමක් බවට නිලධාරීන්ට ඒත්තු ගිය නිසාවෙනි. මෙවන් ගැටලුවලට මැදි වී සිටි පොලීසියට කිසියම් සහනයක් ගෙන දුන්නේ මාර්ගයේ ගමන් ගත් ලොරි රියැදුරකු පොලීසියට පැමිණ ලබා දුන් කටඋත්තරයක් නිසාවෙනි.

සර් මම ඊයේ පාන්දර ලොරියෙන්. සංගුපිටිය පාලම උඩින් යද්දී මං දැක්කේ සුදු පාට වැගන් ආර් කාර් එකක් එකපාරටම අනිත් පැත්තට හරවලා වේගයෙන් යනවා. පාලම කෙළවරට යද්දි රෙදි පිච්චෙන ගඳකුත් ආවා. මම ලොරිය නතර කළේ නැහැ. එහෙමම ගියා.”

ලොරි රියැදුරාගේ ප්‍රකාශයෙන් කුලදීපනීගේ ඝාතකයා වැගන් ආර් රියැදුරා වන්නට ඇතැයි පොලීසිය සැක කළද ඔහු කවුද, කුමන ප්‍රදේශයක පදිංචිකරුවෙක් ද යන වග නිලධාරීන්ට සොයාගත නොහැකි විය.

කෙසේ වෙතත් ඊට පැය කිහිපයකට පසු කුලදීපනීගේ සැමියා පොලීසියට පැමිණ පවසා සිටියේ තම බිරිය මිතුරියකගේ නි‍ෙවසකට යන බව කියා ගිය ද ඉන් අනතුරුව ඇය යළි නොපැමිණි බවය. තම බිරිය සංගුපිටිය පාලම අසල මරා දමා ඇති බවට ලද තොරතුරක් මත තමා පොලීසියට පැමිණි බවත් ඔහු කියා සිටියේය. කෙසේ වෙතත් සැමියාගෙන් කුලදීපනි භාවිත කළ ජංගම දුරකතනයේ අංකය ලබාගත් පොලිස් නිලධාරීන් ඒ ඔස්සේ විමර්ශනයක් ඇරැඹූ අතර කුලදීපනී නිවෙසින් පිටව ගියදා ඇගේ දුරකතනයට ලැබුණු හා ඉන් පිටවුණු දුරකතන අංක ඒ ඔස්සේ සොයා බලන ලදි.

“කුලදීපනීගේ ජංගම දුරකතනයට එක දිගටම ලැබුණු අංකයක් ගැන අපට සැකයක් ඇතිවුණා. ඒ අංකයට කුලදීපනිත් ඇමතුම් අරන් තිබුණා. ඒත් අැය දෙක තුනකට පස්සේ කුලදීපනීගේ දුරකතනයට කිසිම ඇමතුමක් ලැබිලා තිබුණේ නැහැ. ඒ නිසා එක දිගටම ලැබුණු ඇමතුම කාගෙද යන්න අපි විමසිලිමත් වුණා.”

විමර්ශන නිලධාරියකු එසේ කීවේ එම අංකය කාගේද යන්න සොයා පරීක්ෂණය අරඹමින්ය. නවීන තාක්ෂණය ඔස්සේ ඇරඹි එම පරීක්ෂණයෙන් කුලදීපනී නිවෙසින් පිටවීමෙන් පසු ඇය ගමන් ගත් දිසාවද ටිකෙන් ටික අනාවරණය කරගත හැකි විය. එමෙන්ම එම ගමන් මාර්ගය ඔස්සේ ධාවනය වූ සුදු පැහැති වැගන් ආර් රථය ද හඳුනා ගැනීමට නිලධාරීන් සමත් වූ අතර එම රථයේ අංකය ඔස්සේ කරන ලද වැඩිදුර පරීක්ෂණයෙන් පසු එම රථය කුලී පදනම මත කොළඹ ප්‍රදේශයෙන් ලබා ගත් රථයක් බවට ද හෙළි කරගත හැකි විය.

පසුව නිලධාරීන් කොළඹ බලා ගොස් එම රථය අයත් කුලී ආයතනය සොයාගෙන එහි හිමිකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම මත එම රථය කුලියට ලබා ගත් පුද්ගලයා කවුදැයි හෙළිවිණි.

පසුව නිලධාරීන් දැඩි පරිශ්‍රමයකින් පසු ඔහු අත්අඩංගුවට ගත් අතර මුලින් මුලින් කිසිවක් නොකීව ද නිලධාරීන්ගේ දක්ෂතාව මත ඔහු කුලදීපනීගේ ඝාතකයා බවට හඳුනාගත හැකි විය.

නිලධාරීන් සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කළේය. එහිදී ඔහු නිලධාරීන් ඉදිරියේ අකුරක් නෑර සියල්ල වැමෑරුවේය. ඔහු කුලදීපනීය හඳුනාගෙන ඇත්තේ මුහුණුපොත හරහාය. “පස්සේ අපි දෙන්නා අතර ආදරයක් ඇති වුණා. එයා හැම තිස්සේම ෆේස්බුක් එකට ආවේ රත්තරන්, මාල, වළලු දාගෙන. මට ඒවාට ආස හිතුණා. පස්සේ අපි දෙන්නා එක එක තැන්වලදී හමුවුණා. මම හිතුවා කොහොම හරි එයාගෙ කරේ අතේ තියෙන රත්තරන් බඩු ටික ගන්න ඕ‍ෙන කියලා. මම එයාට කතා කරලා කිවුවා අපි වෙනම ගිහින් ජීවත් වෙමු. ඒ නිසා ඔයා ගෙදර තියෙන රත්තරන් බඩු සේරම අරගෙන එන්න කියලා.”

සැකකරුගේ කීම විශ්වාස කළ ඇය තම කනකර පමණක් නොව අල්මාරියේ තිබූ රන් බඩු ද රැගෙන නි‍ෙවසින් පිටව ආවේ අනියම් සැමියා සමඟ එක වහලක් යට ජීවත් වීමේ අදහසිනි. අතරමඟදී ඇයව කුලියට ලබා ගත් වැගන් ආර් රථයට නංවාගත් සැකකරු ඇය සමඟ රාත්‍රිය උදාවන තුරු ගමන්කොට හතරවටෙන් අඳුර වැටෙද්දී සංගුපිටිය පාලම අසලට පැමිණියේය.

“අපි අර ගල උඩට යමු. එතනට ලස්සනට වැව පේනවා.”

කුලදීපනී ඔහුගේ කතාව විශ්වාස කළාය. ඒ සමඟම ඇය ඔහුත් සමඟ අත්වැල් පටලවා ගෙන පාලම අසල තිබූ ගල උඩට නැඟගත්තේ වැවේ අසිරිය විඳින්නටය. ඒත් ඇයට හිතන්නටවත් වෙලාවක් ලැබුණේ නැත. එතැනම තිබූ ගලක් අතට ගත් සැකකරු ඇගේ හිසට ද මුහුණට ද ඉන් පහර දෙන්නට විය.

තත්පර කිහිපයක් යන්නට මත්තෙන් කුලදීපනී ගල්තලාව මත අවසන් හුස්ම හෙළුවාය. ඒ සමඟම ඇගේ කනකර ගලවා ගත් සැකකරු ඉන් අනතුරුව රථයේ තිබූ පෙට්‍රල් ගෙන විත් ඇගේ මුහුණට දමා ගිනි තැබීය. ඇගේ මුහුණ ක්ෂණයකින් පිලිස්සි ගියේය.

ඒ සමඟම ඔහු දුටුවේ ඈතින් පාලම උඩට පැමිණෙන ලොරි රථයයි. ඉන් කලබල වූ ඔහු කුලදීපනීගේ සිරුර අත්හැර වහා පැමිණ රථයට නැඟී පලා යන්නට විය. ලොරි රියැදුරා පාලම මතදී දකින්නේ පලායන එම රථයයි. මුහුණුපොතෙන් හඳුනාගත් පාපතරයා නිසා අකාලයේ සිය ජීවිතයට සමුදුන් කුලපනීගේ කතාව මුහුණුපොත හරහා ආදර සබඳකම් ඇතිකර ගන්නා යුවතියන්ට හොඳ පාඩමකි. සැකකාර අනියම් සැමියාගෙන් කළ ප්‍රකාශ කිරීමෙන් පසු කුලදීපනීගෙන් සොරාගත් රන්බඩු සියල්ල උකස් කොට තිබියදී සොයා ගැනීමට නිලධාරීන්ට හැකි විය. කෙසේ වෙතත් කුලදීපනීගේ නිසල සිරුර ඇගේ ස්වාමියා විසින් භාර ගැනුණු අතර, කළ විමර්ශනයේදී හෙළි වූයේ කුලදීපනී මියයන විටත් කුඩා දරුවන් දෙදෙනකුගේ මවක බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පුනරීන් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

TEXT – මනෝලි සුබසිංහ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?