Monday, December 8, 2025
Epaper
Home පුවත්පැරීසියේ කිරිල්ලියෝ අතරින් ඔබ හමුවට එන සුමුදු

පැරීසියේ කිරිල්ලියෝ අතරින් ඔබ හමුවට එන සුමුදු

by Shanaka Lakehouse

මේ දිනවල කරළියේ ඉමහත් ජනාදරයට පත්ව ඇති වේදිකා නාට්‍ය අතර පැරීසියේ කිරිල්ලියෝ වේදිකා නාට්‍යයට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. රොමේෂ් සංජය අධ්‍යක්ෂණය කරන මෙම නාට්‍යයේ ශ්‍රී ලාංකේය පළමු දර්ශනය පසුගියදා කතරගමදී ප්‍රදර්ශනය කෙරුණි. සුමුදු ජයවර්ධන මෙහි ප්‍රධාන චරිතයක් රඟ දක්වන යොවුන් රංගන ශිල්පිනියකි.

සිය කලා ජීවිතය සහ පැරීසියේ කිරිල්ලියෝ ගැන සුමුදු, තරුණී අප සමඟ අදහස් දක්වන්නට එක් වූයේ මෙයාකාරයෙනි.

ඔබ නාට්‍ය කලා ජීවිතය ආරම්භ කළේ කොහොමද?

මම පාසල් ගියේ හොරණ ශ්‍රී මේධංකර මහා විද්‍යාලයට. ඉතින් මම නාට්‍ය කලාවට ප්‍රවේශ වන්නේත් මේධංකර විදුහලේ ඉගෙන ගන්නා කාලයේදීමයි. ඒ අනුව මා වේදිකා නාට්‍යයට අත් පොත් තැබුවේ අතුල ජයරත්නගේ “සෙකන්ඩ් වෙන්න එපා” වේදිකා නාට්‍යයෙන්. මං 2007 වසරේදී ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ පාඨමාලාව සාර්ථකව අවසන් කළා. අනතුරුව 2012 වසරේදී ප්‍රවිණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගත් සමරකෝන්ගේ නිව් ස්ටාර් ඇකඩමියේ ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය ඩිප්ලෝමාව මෙන්ම ශ්‍රී ලංකා ජාතික ඡායාරූපකරණ ඩිප්ලෝමාවද මා විසින් සාර්ථකව අවසන් කර තිබෙනවා. මේ දවස්වල ලයිලා නමින් යූ ටියුබ් නාළිකාවක් පවත්වාගෙන යනවා. නන්දන හෙට්ටිආරච්චි, සුසිලා කෝට්ටගේ එහි කෙටි වීඩියෝවල මා සමඟ නිරූපණය කරනවා.

ඒ වගේම විදුර අබේනායක මහතා අධ්‍යක්ෂණය කරන ගුරු ගීතය වේදිකා නාට්‍යයටත් මා සම්බන්ධ වී සිටිනවා. එහි අල්තීනායි චරිතයට පණ පොවනු ලබන්නේ මා විසින්. මේ දවස්වල පැරීසියේ කිරිල්ලියෝ වේදිකා නාට්‍යයේ පුහුණුවීම්වලට කාලය කැප කරමින් මා කාර්යබහුල වී සිටිනවා.

වත්මන් කලා ජීවිතය ගැන කිව්වොත්…

මේ දිනවල රොමේෂ් සංජයගේ පැරීසියේ කිරිල්ලියෝ වේදිකා නාට්‍යයේ වැඩ කටයුතුවල නියැළෙනවා. එහි මා රඟ දක්වන්නේ ග්‍රේටා නම් ප්‍රධාන චරිතයක්. මේ නාට්‍යය කාල වකවානු දෙකක් අතර සිදු වන කතාවක්. මෙහි ප්‍රධාන දර්ශනය තානායමක් වටා ගොඩනැඟෙනවා. එ් තානායමේ අයිතිකාරියගේ චරිතයට පණ පොවන්නේ මම. 1940 දශකයේ සිදු වූ යුද්ධයකදී ඒ තානායම විනාශ වෙනවා. නාට්‍යයේ අතීත වකවානුව ගොඩ නැඟෙන්නේ ඒ ආශ්‍රයෙන්. ඒ වගේම කාලයාගේ ඇවෑමෙන් තානායමේ අරක් ගෙන සිටින ප්‍රේතයින් සහ භූතයින් ආදිය නාට්‍යයේ වර්තමාන වකවානුවට ප්‍රස්තූත වෙනවා.

කලා ජීවිතයේ ඔබට සහාය දුන් පිරිස සහ ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්..

නන්දන හෙට්ටිආරච්චි, ශිරෝමිකා ප්‍රනාන්දු, අසංග පෙරේරා මගේ රංගන ජීවිතයට ලොකු ශක්තියක් ලබා දෙනවා. පැරීසියේ කිරිල්ලියෝ නාට්‍යයේදීත් ඔවුන්ගේ නිබඳ සහයෝගය මට ශක්තියක් බව කිව යුතුයි. ඒ වගේම මේ වන විට මට ටෙලි නාට්‍ය දෙකකට ඇරයුම් ලැබී තිබෙනවා. ඉදිරියේදී ඒ නාට්‍ය සමඟ සම්බන්ධ වෙමින් කලා ජීවිතයේ දිගු ගමනක් යන්නට මම බලාපොරොත්තු වෙනවා.

TEXT – පසිඳු රැටියල

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?