මේ සියවසේ බිහිසුණුම ව්‍යසනයකට ශ්‍රී ලාංකිකයන් වන අප පසුගිය දිෙනක මුහුණ පෑවෙමු. එදා මෙදා තුර සිදුවූ විශාලතම ස්වාභාවික ව්‍යසනය මේ වනු නිසැකය. මීදුම් වලාවෙන් පිරි සුරපුරක් බඳු මධ්‍යම කඳුකරය දිට්වා සුළි කුණාටුව ක්ෂණයකින් මහ පොළොවට පතිත වූයේ සිදු වූයේ කුමක්දැයි කිසිවෙකුට හිතා ගන්නටත් ඉඩක් නොතබමිනි.
සුළි සුළං සමඟ මහා පොළොවට පතිත වූ ධාරානිපාත වරුසාව රටම කම්පා කරවමින් ඇති කළ ඒ මහා විපත අදහා ගත නොහැකි තරම් විශාල වූවකි. රටම විශාලා නුවරක් බවට පත්විය.
පෙරදා රාත්‍රියේ එකට වෙළී ආදරෙන් තුරුලු වූ අඹු සැමියන්, දරු මල්ලන් පසුදා අවදි වන්නට දිඨටා සුළි කුණාටුව ඉඩ තැබුවේ නැත. ඥාතීන් සමීපතමයින් බොහෝදෙනා අහිමි කරමින් මුළු රටම මළගක්් විය. මියගිය, අතුරුදන් වූ මිනිස් ජීවිත මෙන්ම දේපළ, නිවාස, ව්‍යාපාර, ඇළවේලි, පාලම්, මහා මාර්ග තක්සේරුව මිල කළ නොහැකිය. ජීවිතය නම් තණ අග රැඳී පිනි බිඳක්ම යන්න නැවත නැවතත් අපට පසක් කළේ මහා වේදනාවක් උරුම කරවමිනි.
ඛේදවාචකයකින් වුවත් අපට මෙම සිදුවීමෙන් උගත හැකි පාඩම් බොහෝය. සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැති බව බොහෝ දෙනෙක් දැන සිටියද ඒ ගැන තදින්ම නොසිතන කරුණකි. සමහරු හිතන්නේ ධනයට, බලයට, නිලයට, සියල්ල යටත් බවය. නැතිනම් සියල්ල කළ හැකි බවය. ධනයට බලයට කළ නොහැක්කේ ගැහැනියකු පිරිමියකු කිරීමත් පිරිමියකු ගැහැනියකු කිරීම පමණක් බවත් බොහෝ කලකට පෙර දේශපාලනඥයකු පැවසූ අයුරු අපට මතකය. එයින් අපට හැඟෙන්නේ සියල්ල මුදලට යට බවය. අක්කර දස දහස් ගණනින් අභය භූමි, වනාන්තර එකිනෙකාට සිතෙන හැඟෙන පරිදි විනාශ කර දමන්නන්ට නීතියක් තිබුණේ නැත. දේශපාලන බලය පතුරවමින් තමන්ගේ කැමැත්තට කඳුකරයේ තැනින් තැන අනිසි ලෙස ගොඩනැඟුණු මහා මන්දිර, හෝටල් ප්‍රමිතියකින් තොරව ගොඩනැගුණු හැටි විමසන්නට තරම් රාජ්‍ය නිලධාරීන්ට හයියක් එදා තිබුණේ නම් සමහරවිට මෙවැනි ව්‍යසනයන් අද අපට නොවන්නට තිබිණි.
ගංගා පිටාර ගැලීම් අපට තරමක හුරු පුරුදු නමුත් මෙවර පිටාර ගැලීම් අති බිහිසුණුය. ගම්බිම් නාය යමින් මෙතරම් ජීවිත හානි සිදුවූ පළමු අවස්ථාව මෙය විය හැකිය. අතුරුදන් වූ ජීවිත ගැන අපට බලාපොරොත්තුවක් තැබිය හැකිද?
කෙසේ නමුත් අප මේ දුක් සුසුම් මිනී අළු මතින්ම නැවතත් නැඟී සිටිය යුතුමය. එසේ නැඟී සිටිය හැකි අභිමානවත් මානව දයාවෙන් පිරි පින්වත් ජනතාවක් මේ පින්බිමේ සිටීම ජාතියේ වාසනාවකි. ජාති ආගම් භේදයකින් තොරව මිනිසත්කම පෙරට ගෙන, ජාතියක් ලෙස අපි පෙළ ගැසෙමු. දේශපාලනික වාසි අවාසි ගැන නොසිතමින් ජාතියක් ලෙස එක මිටට එකතු වී පෙරටත් වඩා ශක්තිමත්ව මේ රට ලස්සන කරමු. සංවර්ධනය කරමු. ආසියාවේ පමණක් නොව ලෝකයේම අසිරිමත්ම රට බවට ශ්‍රී ලංකාව පත් කරමු.
ලෝකයේ සතර දිග් භාගයෙන් මේ මොහොතේ ලැබෙන ආධාර ගොඩට ශ්‍රී ලාංකිකයන් ලෙස තමන්ට හැකි පමණ දායක විය හැකිනම් එය මේ මොහොතේ රට වෙනුවෙන් ඔබ කරන මහා පින්කමක් වනු ඇත. ඔබට දායක විය හැක්කේ රුපියල් සියයකින් ද දහසකින් ද කම් නැත. එය ප්රමාණවත්ය. ඔබේ ආධාරය මේ මොහොතේ අවතැන් වූ ජනතාව නඟා සිටුවීමටත් රට නැවතත් ගොඩ නැංවීමටත් මහා ශක්තියක් වනුු ඇත. මීට පෙර ද ජනතාවගේ සහාය පැතූ අවස්ථා බොහොමයක් අපට මතක තිබේ. සුනාමි ව්‍යසනය වූ විටත්, යුද්ධය නිමා කරවන මොහොතෙත් ඇති වූ අසීරු අවස්ථාවන්හි වැඩ කරන ජනතාව දෛනික වැටුපක් තිළිණ කළ අයුරු ඔබට මතක ඇති. මේ උදා වී ඇත්තේ ද අප හැමගේම සහයෝගය රටට ඇවැසි මොහොතකි. අභිමානවත් ජාතියක් ලෙස අපේම ශ්‍රමයෙන්, අපේම ධනයෙන්, අපේම ශක්තියෙන්, නිර්මාණශීලීව, අපි එකට එක්වී එකට නැඟිටිමු.
