Monday, December 8, 2025
Epaper
Home විශේෂාංගගැහැනු ළමයින්ට ඕනෑවට වඩා නීති උචිත ද?

ගැහැනු ළමයින්ට ඕනෑවට වඩා නීති උචිත ද?

by Shanaka Lakehouse

කාන්තාව ජීවයේ උපතයි. නි‍ෙවසක “අම්මා” පහනක් ලෙස සැලකෙයි. රටවල් කිහිපයක් හැර අනෙකුත් බොහෝමයක් රටවල කාන්තාවට ඉතා සුවිශේෂී ස්ථානයක් ලබා දෙමින් ඇයට ගෞරවයෙන් යුතුව සලකනු ලබයි. අතීතයේ සිටම ගෝලීයව පවතින මතයක් වන්නේ කාන්තාව නි‍ෙවසට වී දරුවන් රැක බලාගනිමින්, සැමියාට ආහාර පාන සකස් කර දෙමින් කාලය ගත කළ යුතු බවයි. නමුත් වර්තමානය වන විට එම තත්ත්වය වෙනස් වී තිබේ. වර්තමානයේ බොහොමයක් ඉහළ තනතුරු පවා දරන්නේ කාන්තාවන් විසිනි. ඔවුන් පවුල කළමනාකරණය කිරීමට අමතරව නිවෙසට ආදායම ඉපයීමේ කාර්යයේ ද නියැළෙයි.

නමුත් තවමත් ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි ආසියාතික රටවල්වල ගැහැනු ළමයින්ට සාම්ප්‍රදායිකව පැනවෙන නීති රීති එලෙසින්ම ක්‍රියාත්මක වේ.

ඇත්ත වශයෙන්ම කාන්තාවන්ට හෝ පුරුෂයන් නිසි මඟ පෙන්වීම හා දැනුම්වත් කිරීම අත්‍යවශ්‍ය වේ. එහෙත්, එය නීතිය ලෙස පවත්වන විට, ඒ අයගේ නිදහස, පෞද්ගලිකත්වය සහ මානව ගෞරවය අහිමි වීමේ අවදානමක් පවතී. විශේෂයෙන් ගැහැනු ළමයින්ට පමණක් නීති රීති පැනවීමට සමාජය උනන්දුවක් දැක්වීම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව යන්නට ද බාධා පනවයි.

සමාජය වූ කලී විවිධාකාරයේ ගතිගුණ, හැසිරීම් සහිත විෂම මිනිසුන්ගේ එකතුවකි. පිහිනීමට ඉගෙන ගැනීමට නම් වතුරට බැසිය යුතුවාක් මෙන් සමාජයේ ජීවත් වීමට ඉගෙන ගැනීමට නම් සමාජය තුළ ජීවත් විය යුතුය. එහිදී හමුවන විවිධාකාරයේ මිනිසුන්ගේ ලක්ෂණ හැසිරීම් හඳුනාගත යුතුය. එවිට අනාගතයේදී තමාට කුමන හෝ අවස්ථාවකට වුව මුහුණ දීමට තරම් ශක්තියක් ඇති වන්නේ සමාජය පිළිබඳ හදාරා ඇති බැවිනි. නමුත් ගැහැනු ළමයින්ට සමාජයෙහි ගැවසීමට ලබා දී ඇති ඉඩකඩ සමාජය විසින්ම සීමා කර තිබේ. ශ්‍රී ලාංකික සමාජ සංවිධානයේ ගැහැනු ළමයින්ට යම් විශේෂ ආරක්ෂාවක් ලබාදීමට හෝ ඔවුන්ගේ චරිතය ” සුරක්ෂිත ” කරගෙන යෑමට යැයි කියමින්, එසේ නීති රීති රාශියක් පැනවීම සාමාන්‍ය දෙයක් බව පෙනී යයි. ඇඳුම් ඇඳීමේදී පනවන නීති රීති, වෙලාවට නි‍ෙවසට පැමිණිය යුතු බව, බාහිර ක්‍රීඩාවලට එක්වීමේ සීමා, සමාජ මාධ්‍ය භාවිතයට දක්වනු ලබන පාලනය, පිරිමි මිතුරන් ඇසුරු කිරීමට ඉඩ ලබා නොදීම, විනෝද චාරිකා සඳහා අවස්ථාවන් අඩු වීම වැනි බොහෝ රෙගුලාසි ගැහැනු ළමයින්ටම විශේෂයෙන් යොදා ඇත. නමුත්, මේ නීති රීති සැබවින්ම ඔවුන්ගේ ආරක්ෂාවටද? නැතිනම් සමාජයේ ඇති පාරම්පරික චින්තනයක් නව පරපුරටත් අනුගමනය කරන එකක් ද? යන ප්‍රශ්නය උදා වේ.

මෙසේ නීති රීති රැසකින් බැඳී සිටින ගැහැනු ළමයින්, පසු අවස්ථාවකදී තමන්ගේම තීරණ ගැනීමට පසුබට වන අවස්ථාවන් තිබේ. නිදසුන් ලෙස විශ්වවිද්‍යාලය පිළිබඳ සමජය තුළ තිබෙන විවිධාකාරයේ මති මතාන්තර විශ්වාස කරන මවුපියන්ගේ දියණියකට, සමාජයේ තිබෙන අන්ධ විශ්වාසයන් නිසා තම විශ්වවිද්‍යාල සිහිනය පවා අතහැර දැමීමට සිදු වේ. එම නිසා, ගැහැනු ළමයින්ට පමණක් නීති පැනවිය යුතු බව හැර, සියලු දරුවන්ටම අවබෝධය හා නිදහසෙන් ජීවත් වීමේ අයිතිය ලබා දිය යුතුය.

ගැහැනු ළමයින්ට එසේ විශේෂ නීති රෙගුලාසි පැනවීමට සිදුව තිබෙන්නේ සමාජයේම සිටින ඇතැම් පුද්ගලයන්ගේ නොමනා හැසිරීම් සහ ක්‍රියාවන් නිසා නොවේද? එබැවින් කළ යුතු වන්නේ ගැහැනු ළමයින්ට නීති පැනවීම නොව, සමාජය තුළ උසස් හැසිරීම් සහ සංකල්ප වර්ධනය කිරීමයි. යුරෝපීය රටවල සහ ජපානය වැනි රටවල කාන්තාවන් ඉතාමත් නිදහසේ තමන්ගේ ජිවිතය විඳින්නේ එම රටවල පුද්ගලයන්ගේ සිතුවිලි සහ සංකල්ප උසස් ලෙස හැඩගැස් වී තිබෙන බැවිනි.

කෙටියෙන් කිවතොත් ගැහැනු ළමයින්ට වුවත් නීති රීති තිබිය යුතුයි. නමුත් ඒවා රැකියාව, අධ්‍යාපනය, නිදහස සහ මානසික සෞඛ්‍ය සඳහා උචිත වන්නේ නම් පමණි. ඇතැම් ගැහැනු ළමයින්ට පවුලෙන්, සමාජයෙන් පැනවෙන නීති නිසා නි‍ෙවස තුළ සිර වී ජීවිතය ගත කිරීමට පත්වන අවස්ථාද ඇත. හුදකලාව, සමාජයෙන් වෙන්වීම, සහ අඩු නිදහස යන්න, ඔවුන්ගේ මානසික සෞඛ්‍යය මත බලපෑමක් ඇති කරයි.

මෙවැනි තත්ත්වවලදී, විෂාදය (Depression), Anxiety, සහ හුදකලාව (Isolation) වැනි ආබාධ තත්ත්වයන් ඇති විය හැකිය. අනෙක් අතට ඔවුන් පවුල තුළින් නොලැබෙන නිදහස සමාජ මාධ්‍ය වැනි දේවල් තුළින් සෙවීමට උත්සාහ කරයි. එවැනි අවස්ථාවල සයිබර් අපරාධ ආදි තත්ත්වයන් ඇති විය හැකිය. එමෙන්ම එම නිසා නොගැළපෙන ප්‍රේම සබඳතා කෙරෙහි යොමු වීම වැනි අවස්ථාවන් ද අද සමාජයේ බහුලව දක්නට ලැබේ.

නිදහස; යන්න ඕනෑම පුද්ගලයකුගේ මූලික අයිතිවාසිකමකි. කායික මෙන්ම මානසික නිදහස ද පුද්ගලයෙක්ට අතිශයින්ම වැදගත් වේ. ශ්‍රී ලංකාවට තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් යන ලේබලයෙන් මිදීමට නොහැකිව තිබෙන්නේ ද මෙසේ පාරම්පරික අදහස්වලින් පිරි මිනිසුන් නිසාය.

එබැවින් කාන්තාවක හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා කාහට වුවද ඔවුන්ට ඇති නිදහස විඳීමට ඉඩ ලබා දිය යුතුය. සමාජයේ නිදහසේ හැසිරීමට ඔවුන්ට ඉඩ ලබා දිය යුතුය. මෙයින් අදහස් වන්නේ දරුවන්ට අවැසි දේ කිරීමට ඉඩ ලබා දී බලා සිටීමට නොවේ. දරුවන් දෙස වීමසිල්ලෙන් බලා සිට ඔවුන්ට සමාජය හඳුනා ගැනීමට ඉඩ ලබා දීමයි.

TEXT – වර්ෂා සමරසිංහ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?