“ලොකු දුවේ ඔයා බැන්දේ නැති එක හොඳයි. අපේ අම්මා ලෙඩ ඇඳේ ඉන්නැද්දි මට එහෙම කිව්වා. ඒක මගේ අම්මා මට කිව්ව වටිනාම සහ මගේ හදවතටම දැනුණු වචන පෙළ කිව්වොත් වැරදි නෑ. ඇය මෙලොවින් සමුගත්තේ මං ගැන දුකකින් නොවේය යන අරුත ඒ වචනවල තිබුණා. ඒ ගැන මං අදටත් සතුටු වෙනවා.”
මේ අපේම මහ පොළොවේ ජීවත් වන අප කවුරුත් දන්නා හඳුනන රංගන ශිල්පිනියක් වන මාලි ජයවීරගේ සිය මෑණියන් ගැන තෙපලූ දයාර්ද්‍ර වචන අතරින් හදවතට දැනුණු වදන් පෙළකි. මාලි ජයවීරගේට සැබැවින්ම දාරක ස්නේහය හඳුනන මවක් ලැබුණා සේම ඒ ආදරණීය මෑණියන්ට මවකගේ සෙනෙෙහ හඳුනන ආදරණීය දියණියක් ද ලැබුණු බව මාලි ජයවීරගේ ජීවිත කතාව දෙස බැලුවනම පෙනේ. මෙවර තරුණී අම්මාවරුනේ හැඩවන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනී මාලි ජයවීරගේ සිය මවුතොමෝ ගැන පළ කළ අදහස් ඇසුරෙනි.
“මගේ අම්මා සෝමා ජයවීරගේ. ඇය ගමක ඉපදුණු, ග්‍රාමිය සංස්කෘතියට අනුව ජීවත් වුණු සරල චරිතයක්. අම්මාගේ ගම කිරිඳිවැල. විවාහයෙන් පස්සේ අපේ අම්මා, තාත්තා ජීවත් වුණු කොටහේන ප්‍රදේශයට එනවා. ගමේ ඉඳන් කොළඹ ආපු අම්මගේ යහපත් ග්‍රාමීය ගති පැවතුම් කවදාවත් වෙනස් වුණේ නෑ. ඇය ඒ සංස්කෘතිය මැනවින් ආරක්ෂා කළා කීවොත් නිවැරදියි.”
“අපේ පවුලේ දෙවැනියා මම. මට සහෝදර සහෝදරියෝ තුන් දෙනෙක් ඉන්නවා. ඒ හතර දෙනාටම අම්මා එක වගේ සැලකුවා. ඇය හොඳ මවක්, බිරිඳක් ලෙස ආදරණීයව කටයුතු කළා. ඇය කවදාවත් තාත්තාට ඉහළින් වැඩ නොකරපු උස් හඬින් කතා නොකරපු ආදරණීය බිරිඳක්. අම්මා කිසිම දවසක කා එක්කවත් රණ්ඩු වුණේ නෑ. ඉවසීමේ ගුණය ඇය සතුව ඉතා ඉහළින්ම තිබුණා.”
පවුලක දරුදැරියන් පැහැදිලිවම දැක ගත හැකි කැඩපත මවුපියන් යැයි පැවසීම වරදක් නොවේ. දරුවන් සිය ජීවිතයේ පළමුවෙන්ම අනුකරණය කරන්නේ මවුපියන් මිස අන් කවරෙක්ද? ඔවුන්ගේ හැසිරීම්, ජීවන රටාවන් අනුකරණය කරමින් දරුවෝ සිය ජීවිත හැඩ ගස්වා ගනිති. ඒ අනුව මාලි ජයවීරගේ ද සිය මවගෙන් උගත් දේ බොහෝමයක් වන බව ඇය කියා සිටියේ මේ අයුරිනි.
“මගේ ජීවිතේ හැම දෙයක්ම මං ඉගෙන ගත්තේ අපේ අම්මගෙන්. ඇය නොදන්න දෙයක් නෑ. අපේ අම්මාට හොඳට අත්වැඩ කරන්නට පුළුවන්. ඉස්සර අපේ ගමේ වැඩිහිටියෝ මඟුල් ගෙදරක යද්දි කොණ්ඩය හදා ගන්න, සාරිය අන්ද ගන්න එන්නේ අපේ අම්මා ළඟටයි. අදටත් ගමේ වැඩිහිටියෝ ඒ ගැන මා සමඟ සිහිපත් කරනවා.”
“අම්මා ගෘහිණියක්. අපේ අම්මා තමන්ගේ දරුවන්ට පමණක් නොව අනුන්ගේ දරුවන්ට ද එක හා සමානව සැලකූ අයෙක්. ඒ අනුව අපේ ගෙදර, ඇයගේ සහෝදර සහෝදරියන්ගේ දරුවන් ද කලින් කලට හැදී වැඩුණා. ඇය ඔවුන්ට සැලකුවේ ද තමන්ගේම දරුවන්ට වගේමයි. ඔවුන්ට රැකියාවන් වගේම විවාහයන් පවා හොයලා දෙන්නට ඇය කටයුතු කළා. අපිත් ඔවුන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් කමින් බොමින් සතුටින් ජීවත් වුණා. ඉතින් අම්මා, තාත්තාට ලැබුණු සුළු පඩිය පිරිමහ ගනිමින් ඒ හැමෝටම සලකමින් සකසුරුවම් ජීවිතයක් ගත කළා.”
” ඒ වගේම එදා අම්මා දුන් අවවාදවල වටිනාකම මට වැටහුණේ වැඩිහිටියෙක් ලෙස සමාජගත වූවායින් පසුවයි. ඉතින් අද සමාජයේ මට නොසැලී ජීවත් වන්නට ඒ අවවාද ලබා දෙන්නේ මහමෙරක් වගේ විශාල ශක්තියක්.”
අපේ රටේ පවුල් සංස්කෘතිය හැඩ ගැසී ඇති ආකාරය අනුව ඇතැම් වෘත්තීන්වලට සිය දරුවන් යොමු කිරීමේදී මවුපියෝ දෙවරක් කල්පනා කරති. එය නූතන සමාජයට වඩා ගෙවුණු සංස්කෘතික සමාජයෙහි වඩාත් තීව්‍ර ලෙස දැක ගත හැකිවිය. රංගන වෘත්තිය ද එදා සමාජයේ මවුපියෝ දෙවරක් සිතා බලා සිය දරුවන් යොමු කරවූ වෘත්තීන් අතර එකක් ලෙස පෙන්වා දිය හැකිය. මාලි ජයවීරගේ ඒ පිළිබඳ සිය අත්දැකීම් විස්තර කළේ මෙයාකාරයෙනි.
“අපේ පවුල සහ රංගන ශිල්පය අතර තිබුණේ අහසට පොළොව වගේ දුරස්ථභාවයක්. අපේ පවුල්වල රංගන ශිල්පීන්, ශිල්පිනියන් කවුරුත් හිටියේ නෑ. ඒත් අලුත් චිත්‍රපටයක් ආවොත් අපේ අම්මා මාවත් අයියවත් කැටුව එය නරඹන්නට යනවා. අපේ ගෙවල් ළඟම තිබෙන සිනමාහලේ රාත්‍රී නවයයි තිහේ දර්ශනය නරඹන්නට ඇය අපව එක්කගෙන ගිය සැටි මගේ මතකයේ තිබෙනවා.
එයින් ලද ආභාසය නිසාම මං කලාවට නැඹුරු වුණා කියන්නත් පුළුවන්. ඒත් මාව නිළියක් කරන්නට අම්මාට වුවමනාවක් තිබුණේ නෑ. ඒ වගේම මං නිළියක් වෙනවා කියා අම්මාගෙන් විරෝධයක් තිබුණෙත් නෑ.”
“ඒ කාලේ නැටුම් පන්තියකට යන්නට අම්මා වගේම තාත්තාත් මට උදවු කළා. සුදර්ශියේ තිබුණු නැටුම් පන්තියට මාව එක්කගෙන ගියේ අපේ තාත්තා. ඊට අවශ්‍ය හැම ඇඳුමක්ම මහලා දුන්නේ අපේ අම්මා. ඉස්සර නාට්‍යවලට යනකොට මං යන්නේ එන්නේ බස් එකේ. ඉතින් දර්ශන වාර දෙකක් පෙන්වන නාට්‍යයට අපි උදෙන්ම ගෙදරින් පිටත් වෙනවා. හැමදාම නාට්‍යය ඉවර වෙන වෙලාවට අම්මා මාව එක්කරගෙන යන්න එන හැටි මට අද වගේ මතකයි. ගෙදර සියලු වැඩ කටයුතු ඉවර කරලා ඇය නාට්‍ය ශාලාවෙන් පිටත පැත්තක වාඩි වී සිටින අයුරු මතක් වන විටත් මගේ සිතට නැඟෙන්නේ අසීමිත දුකක්. ඇය ඒ තරමටම මට ආදරය කළා.”
“ඉස්සර අපි නාට්‍ය කරද්දී ඒ නාට්‍යයේ නිෂ්පාදිකාව හා සමානව අපේ අම්මා කටයුතු කළ හැටිත් මගේ මතකයෙන් නික්මෙන්නේ නෑ. ඇය නාට්‍යයට සම්බන්ධ හැම ළමයෙක්ම අපේ ගෙදර තියාගෙන කන්න බොන්න දීලා ඔවුන්ට හොඳින් සැලකුවා. පුහුණුවීම්වලට යද්දී පවා ඔවුන්ට කෑම උයා පිහා දෙන්නට ඈ කටයුතු කළා. රොජර් අයියා එය අමතක නොකළ අයෙක් ලෙස හඳුන්වන්නට පුළුවන්. අපේ අම්මාගේ මරණයෙන් පස්සේ රොජර් සෙනෙවිරත්න ගෙදරට හාල් මිටියක් ගෙනැත් දුන්නා. ඔහු කිව්වේ මේ අම්මා අපට කන්න දුන් බත්වලට ණය ගෙවන්න මං ගෙනාපු හාල්. මෙයින් ඕනෑ තරම් බත් උයලා මිනිස්සුන්ට කන්න දෙන්න යැයි එදා රොජර් අයියා මට පැවසුවා.”
සෑම දරුවකුගේම මතක පොතේ අම්මා සමඟ පවතින මතක සැමරුම් ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි. එය පිටුවකින් හෝ පොතකින් විස්තර කළ හැකි නොවේ. මාලි ජයවීරගේ සිය මව සමඟ ගෙවූ ජීවිතයේ තමාට දැනුණු මතක සැමරුම් අතරින් කිහිපයක් මෙසේ විස්තර කළාය.
“ඒ කාලේ අම්මා අපිට පොල් ගාන්න කියා දුන්නු හැටි මට අමතක වෙන්නේ නෑ. අම්මා අපිට පොල් ගාන්න කියද්දී අපට ඉක්මනින් පොල් බෑය ගාන්නට හදිසියක් තිබුණා. ඒත් තුනීයට පොල් ගාන විදිහ එදා අපිට අම්මා කියා දුන්නා. අදත් කෑම පිසින්නට පොල් ගාද්දී අම්මාගේ ඒ ගුරුහරුකම් සිහිපත් වෙනවා.”
” ඒ වගේම අපේ අම්මා කිසිම ගමනක් තනියෙන් යන්නේ නෑ. ලොකු දුව අපි යමු.. කියමින් ඇය හැම ගමනක්ම පාහේ ගියේ මා එක්කයි. අම්මා මට කතා කළේ නැත්තේ මිනිය ගෙනයන වෙලාවේ කනත්තට යන්න විතරමයි. අම්මාගේ මිනිය ගෙදරින් දොරකඩට ගන්නා විට අද විතරයි නේද ඔයා මට කතා නොකර යන්නේ යන හැඟීම මට දැනුණේ ඒ නිසාම වෙන්නැති.”
අපේ සිතට දැනෙන ප්‍රශ්නයක් අප මුලින්ම පවසන්නේ අපේ ළඟම හිතවතකුටය. නැති බැරි මොහොතෙදි පිහිටට ඉන්නේ මවුනි පියාණෙනි ඔබ පමණයි. යන ගීතය අපට පසක් කරන්නේ ද ප්‍රශ්නයකදී ගැටලුවකදී අපව මුලින්ම තේරුම් ගන්නේ, ඒ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්නේ මවුපියන් මිස අන් කවරෙක්ද යන පණිවිඩයයි. මේ ඒ ගැන මාලි ජයවීරගේ අප සමඟ කියූ කතාවයි.
“කවදාවත් ජීවිතයේ ලොකු ප්‍රශ්න මට ඇවිත් නෑ. එහෙත් මං විවාහයක් නැතිව ඉන්දැද්දි ඇය ගොඩක් ඒ ගැන සංවේදී වුණා. ඒත් ඇය කවදාවත් ඒ ගැන මට බල කරමින් කරදර කළේ නෑ.”
“ඒ වගේම නිතරම මං ගැන ඇය සෝදිසියෙන් හිටියා. මුදල් නැති වෙලාවට මුදල් පවා දෙමින් ඇය මගේ අවශ්‍යතා සපිරුවා. ඒ වගේම අම්මා අසනීප වුණු කාලයේ ඇයගේ සියලු කටයුතු සිදු කළෙත් මා විසින්. ඒත් මවුපියන්ට සැලකීම විශේෂ දෙයක් යැයි මා සිතන්නේ නෑ. එය අප විසින් සිදු කළ යුතු යුතුකමක් සේම වගකීමක් යැයි මා විශ්වාස කරනවා. මං අම්මාට සලකන අවස්ථාවකදී ඇය මගේ ඔළුවට අත තබා “ඔයාට පිං සිද්ද වෙනවා ලොකු දුව” යනුවෙන් පැවසූ සැටි මට මතකයි. ඔයා හොඳ වෙලාවට බැන්දේ නැත්තේ යනුවෙන් ඇය මට එවන් අවස්ථාවක පැවසූ අයුරුත් මගේ මතකයේ තිබෙනවා. මගේ ජීවිත කතාවේ අම්මාගේ මුවින් මා ඇසූ ලස්සනම වදන් පෙළ එය යැයි මා විශ්වාස කරනවා. ඇය මෙලොවින් සමුගත්තේ මා ගැන පශ්චාත්තාපයෙන් නොවන බව මා වටහා ගත්තේ ඒ වදන් පෙළින්. ඇත්තටම ඒ ගැන මගේ හිත තුළ තියෙන්නේ විශාල සතුටක්.”
“අම්මා නැති වුණු දවසේ ඉඳනුත් මට යහපතක් මිස අයහපතක් වුණේ නෑ. මං දරුණු අනතුරකට මුහුණ දීලත් මට විශාල හානියක් සිදු නොවුණෙත් ඒ ආශීර්වාදය නිසා යැයි මා විශ්වාස කරනවා.”
TEXT – පසිඳු මිහිරාන් රැටියල
