Monday, December 8, 2025
Epaper
Home වෛද්‍යදිට්වා සුළි කුණාටුවත් සමඟ එන මාරයා

දිට්වා සුළි කුණාටුවත් සමඟ එන මාරයා

by Shanaka Lakehouse

පසුගිය දින කිහිපය තුළ මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රටේ ප්‍රදේශ රැසක ජන ජීවිතය දැඩි ලෙස අඩාළ විය. මෙතෙක් සිදුවූ දෘශ්‍යමාන විපතට වඩා භයානක නිහඬ තර්ජනයක් මේ වනවිට ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශ පුරා හිස ඔසවමින් පවතින බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. එනම් ගංවතුර බැස යාමෙන් පසු ඇතිවන බෝවන රෝග රැල්ලයි.මෙම රෝග ලක්ෂණ හඳුනා ගන්නේ කෙසේද? එයින් ආරක්‍ෂා වන්නේ කෙසේද? නිවැරදි ප්‍රතිකාර ලබාගත යුත්තේ කෙසේද? පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම අතිශය වැදගත් වේ. ඒ සම්බන්දයෙන් අපි ප්‍රධානී වෛද්‍ය නිශානි ප්‍රනාන්දු මහත්මිය සමඟ සාකච්ඡා කළෙමු.

අපි සියලු දෙනාම පහුගිය දින කිහිපයේ ඉතාමත් පීඩාකාරී කාලයක් පසු කළා. අයහපත් කාලගුණය නිසා ජිවිත හානි වගේම අවතැන් වූවන් විශාල ප්‍රමාණයක් සිටිනවා.

මෙම ව්‍යසනය තවමත් ඉවර නැහැ. ජල ගැලීම්, අවතැන් වීම් හරහා තවත් ව්‍යසනයන් හිස එසවීමට හැකියාව තිබේ. එනම් සෞඛ්‍ය අවදානමයි. මී උණ අවදානම, ශ්වසන රෝග, මදුරුවන් වාහනය කරන රෝග ව්‍යාප්තිය, හොරි, දද සහ කුෂ්ඨ මෙන්ම කල් පවතින රෝග උත්සන්න වීම ආදී වශයෙන් විවිධ රෝග ඇතිවිය හැකිය.

මී උණ අවදානම ( Leptospirosis)

මී උණ ජල ගැලීම සමඟ ව්‍යාප්ත විය හැකි භයානක රෝගයකි. මීයන් වැනි සතුන්ගේ මූත්‍රා ජලයට මුසුවීමෙන් මේ රෝගය වහනය වේ.

ආපදා තත්ත්වවලදී කැපීම් සීරීම් බහුලව ඇතිවේ. එම නිසා ඔබගේ සමේ ඇති කැපීම් හරහා හෝ ශ්ලේෂ්මල පෘෂ්ඨ (ඇස්, මුඛය, නාසය) හරහා මේ රෝග කාරකය ශරීරයට ඇතුළු වේ.

සහන සේවාවලට යන පිරිස්වලටත් මෙම අවදානම තිබේ.

හැකිතාක් තුවාල ආවරණය වන ආකාරයට පාවහන් පැලඳීම, තුවාල බෙහෙත් දමා ආවරණය කිරීම සිදු කළ යුතුය.

මීට අමතරව රෝගයට ඇති අවදානම අඩු කර ගැනීමට ඩොක්සිසයික්ලින් (Doxycycline) නම් බෙහෙත යම් වෛද්‍ය උපදෙසක් සමඟ ගැනීම වැදගත් වේ. ඔබ සහන සේවකයෙක් ලෙස හෝ අවතැන් වූවෙක් ලෙස එක දිගට ජලයට නිරාවරණය වේනම් එම කාලයට මිලිග්‍රෑම් 200 සතියකට වරක් ගත හැකිය. ඔබට තුවාල ඇත්නම් මිලිග්‍රෑම් 100 දවසට දෙපාරක් දින 5-7ක් ගත යුතු වේ. වෛද්‍ය උපදෙස් මත ගැනීම අනිවාර්ය වේ. ළඟම තිබෙන රෝහලෙන් නොමිලේ මෙය ලබාගත හැකිය.

අවුරුදු 12 ට අඩු ළමුන්, ගර්භිණී සහ මවුකිරි දෙන කාන්තාවන්ට, මේ බෙහෙත් කාණ්ඩයට ආසාත්මිකතා ඇත්නම් මේ බෙහෙත නුසුදුසුයි.මී උණ සමඟ අධික උණ, මස්පිඩු වේදනාව, මූත්‍රා යන ප්‍රමාණය අඩුවීම (වකුගඩු අකර්මණ්‍ය වීම නිසා), ඇස් කහපාට වීම, හුස්ම ගැනීමේ අපහසුව, කල්පනාව දුර්වල වීම ඇති වීමට පුළුවනි.

පාචනය (Gastroenteritis)

අපිරිසුදු ජලය සහ අවම සනීපාරක්ෂක පහසුකම් නිසා පාචන රෝග බහුල වේ. අත් නිතර සේදීම, යහමින් උණු කළ ජලය හැකිතාක් පානය කිරීම වැදගත් වේ. නමුත් අවතැන් වූවන්ට මේ පහසුකම් කිසිවක් නැති අවස්ථාවන් ඇත. සහන සලසන පිරිස් හැකිතාක් පිරිසුදු වතුර අවතැන් වූවන්ට ලබා දීමට උත්සාහ ගත යුතුය.

පාචනය රෝග සෑදුණු පිරිස්වලට “ජීවනී’ වැනි ලවණ අඩංගු පානයන් ලබාදීම සුදුසුයි. විජලනයට ලක්වූවන් රෝහල්වලට යොමු කිරීම කළ යුතු වේ.

සහන වෛද්‍ය කණ්ඩායම් අවශ්‍ය නම් ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනු ඇත. නමුත් වළක්වා ගැනීමට උපරිම උත්සාහයක් ගත යුතුයි. ඒ වගේම පණු රෝග ව්‍යාප්තිය වැළැක්වීමට පණු බෙහෙත් ලබාදීම සිදු කළ හැකියි.

ශ්වසන රෝග

ජනාකීර්ණ වීමත් සමඟ ශ්වසන රෝග පහසුවෙන් පැතිරෙයි. අත් සේදීම, මුඛය සහ නාසය වැසෙන සේ ආවරණ පැලඳීම වැදගත් වේ. ඇදුම වැනි රෝග සීතල සමඟ උත්සන්න වීම දක්නට පුළුවනි. සහන වෛද්‍ය කණ්ඩායම්වල සහාය මත දුම් ඇල්ලීම (Nebulisation), ප්‍රතිජීවක ඖෂධ ලබා දීම වැදගත් වේ.

අධික අඩු උෂ්ණත්වය (Hypothermia):

අධික සුළඟ, සීතල වතුර නිසා ශරීර උෂ්ණත්වය අඩුවීම සංකුලතා ඇති වීමට පුළුවනි

කුඩා දරුවන්, වයස් පුද්ගලයන්, කෙට්ටු පුද්ගලයන් වැඩි අවධානමක් දරයි. නමුත් ඕනෑම කෙනෙකුට මේ අවදානම පවතියි.

ශරීරය සීතලෙන් ආවරණය කරගැනීම, බ්ලැන්කට් රෙදි ලබාදීම, උණුසුම ඇති ස්ථානවලට පිරිස් ගෙනයාම වැදගත් වේ.

මදුරුවන් වහනය කරන රෝග ව්‍යාප්තිය- ඩෙංගු, චිකුන්ගුන්යා

වැසි සමය සමඟ රෝගකාරක මදුරුවන් අධි ගහනයක් ඇතිවීම සාමාන්‍යයි. එම නිසා අවතැන්වූ ජනතාව දහස් ගණනින් රැස් වෙන තැනවල මේ මදුරුවන්ට රෝග ව්‍යාප්තියට වැඩි අවකාශයක් පවතියි. දිනපතා විටමින් C 500mg පෙත්තක් ගැනීමට හැකිනම් ඉතා වැදගත් වේ.

මදුරුවන්ගෙන් ශරීරය ආවරණය, මදුරු දැල් හැකිතාක් ලබාදීම, මදුරුවන් එළවීමට අවශ්‍ය කොයිල්, repellants සැපයීම වැදගත් වේ. අධික උණ, මස් පිඩු වේදනාව, සන්ධි වේදනාව, රුධිර පීඩනය අඩුවීම රෝග ලක්ෂණ වේ.

හොරි, දද සහ කුෂ්ඨ

ජනාකීර්ණ බව, සනීපාරක්ෂක පහසුකම් නැතිවීම නිසා දිලීර රෝග, පරපෝෂිතයන් ආශ්‍රිත සමේ රෝග (හොරි) පහසුවෙන් සහ වේගයෙන් කඳවුරුවල පැතිරීමට ඉඩකඩ වැඩිය.

හැකිතරම් සනීපාරක්ෂක පහසුකම් ලබාදීම, සහන සෞඛ්‍ය කණ්ඩායම්වල සහාය පැතීම වැදගත් වේ.

කල්පවතින රෝග උත්සන්න වීම

ව්‍යසනයත් සමඟ තමන්ගේ බෙහෙත් අහිමි වීම සමඟ හෘද රෝග, අධි රුධිර පීඩනය, සීනි, ඇදුම, වැනි කල්පවතින රෝග උත්සන්න වීම සිදු වේ. ඔබ ඉන්සියුලින් ගන්න රෝගියෙක් නම් ඔබට ඉන්සියුලින් නැතිනම් පෙති, බෙහෙත් සහන වෛද්‍ය කණ්ඩායම් හරහා ලබාගත යුතුයි. ඒවගේම ආහාර අඩුවීම නිසා සීනි අඩුවීම ගැනත් අවධානයෙන් සිටීම වැදගත් වේ.

අවතැන්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, මරණ මේ සියල්ල නිසා අවතැන් වුවන් ඉතාම අධික මානසික පීඩනයක් සහ විෂාදි තත්ත්වයෙන් පෙලීමේ අවදානමක් පවතියි.

හැකිතාක් එම පිරිස් සමඟ කතා කිරීම, ඔවුන්ගේ ප්‍රියයන් සොයා ගැනීමට උදවු කිරීම, මානසික සෞඛ්‍ය වෛද්‍යවරුන්ගේ සහාය පැතීම අමතක නොකළ යුතුම දෙයකි.

සියදිවි හානි කරගැනීමේ අවදානම ගැන දැඩි අවධානයක් සිටියැ යුතුයි.

මෙවැනි අවස්ථාවකදී ළදරුවන්ට විජලනය නිසා ඇති වන හානිය අධිකයි. එම නිසා මවු කිරි දීම හැකිතාක් පවත්වාගෙන යෑම, පහසුකම් සැලසීම වැදගත් වේ.

මේ තත්ත්ව ගැන හැකිතාක් දැනුම්වත් වීම වැදගත් වේ. අවතැන්වූ ජනතාව වගේම, සහන සේවකයන් සහ අනෙකුත් ජනතාවත් මේ ගැන සැලකිලිමත් වීම හරහා පසු ව්‍යසනය අවම කරගැනීමට උත්සාහ කළ යුතුයි.

TEXT – චතූ වීරසිංහ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?