අත් පා හිරිවැටීම කියන්නේ හුදෙක් ලේ ගමනාගමනයේ ප්‍රශ්නයක් පමණක්ම ද? නැතහොත් එය දියවැඩියාව, කොලෙස්ටරෝල් හෝ අංශභාගය වැනි බරපතළ රෝගයක අනතුරු ඇඟවීමක් ද? මේ ගැටලුව ඔබටත් තිබෙනවා ද?
අතපය හිරිවැටීම යනු හුදෙක් තරුණ මහලු භේදයකින් තොරව බොහෝ දෙනා පීඩා විඳින රෝගී තත්ත්වයකි. නමුත් බොහෝ දෙනෙක් මේ තත්ත්වය නොසලකා හරී. එනිසා මේ පිළිබදව නිසියාකරව දැන ගැනීමටත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඒ සඳහා ඇති ප්‍රතිකාර විමසීම සදහා ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිළධාරී ප්‍රසාද් විජේසේකර මහතා සමඟ සිදු කළ කතාබහකි, මේ.
වෛද්‍යතුමනි මොකක්ද මේ හිරිවැටීම කියන්නේ.
විශේෂයෙන්ම අත්වල පාදවල ඇතිවන හිරිවැටීම බහුල වෙලා තියෙනවා. හිරිවැටීම ගැන කතා කරනකොට රෝග ලක්ෂණ එකිනෙකට වෙනස්. සමහර රෝගීන් අපට හමුවෙනවා එක් අතක් පමණක් හිරිවැටෙන අය. විශේෂයෙන්ම වම් අත හිරිවැටෙන අය ඉන්නවා. ඒ වගේම අත්දෙකම හිරිවැෙටන අයත් ඉන්නවා. ඒ වගේම එක අතක මැණික් කටුවෙන් එන වේදනාවක් එක්ක එන හිරිවැටීමක් සමහර අයට ඇතිවෙනවා. ඒ වගේම සමහර රෝගීන්ට තියෙනවා ඇඟිලිවල විතරක් ඇතිවෙන හිරිවැටීමක්. සමහර වෙලාවට එක් ඇඟිල්ලක විතරක් හිරිවැටීමක් ඇතිවෙන අවස්ථා ද තියෙනවා. අත්පා භේදයකින් තොරව ඇඟිලිවල විතරක් හිරි වැටීම ඇතිවන අවස්ථාත් තියෙනවා. ඒ වගේම තමයි පාදවල ඇතිවන හිරිවැටීම එක කකුලක හෝ කකුල් දෙකේම මෙන්ම කකුල්වල ඇඟිලිවල විතරක් ඇතිවන හිරිවැටීමක් වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ හිරි වැටීම අත්වල කකුල්වලට අමතරව හිසේ ඇතිවන හිරිවැටීමක් විදිහටත් මේ හිරි වැටීම ඇතිවෙන්න පුළුවන්.ඉතින් මේ විදිහට අපේ ශරීරයේ විවිධ ස්ථානවල, අත්වල, පාදවල සහ ඇතැම් අවස්ථාවල යටි පතුල්වල වගේම උරහිසේ සිට අත්වලට ඇතිවන ආකාරයට විවිධාකාරයේ හිරිවැටීම් රෝගීන්ට ඇතිවෙලා තියෙනවා.
මේ තත්ත්වය ඇතිවෙන්න බලපාන ප්‍රධාන හේතු මොනවාද?
බොහෝ වේලාවට ඇඟිලිවල හිරිවැටීමට හෝ අත්වල හිරිවැටීමට ප්‍රධානව බලපාන්නේ අපේ කශේරුකාවේ විශේෂයෙන්ම බෙල්ලේ තිබෙන ග්‍රයිවී කශේරුකාවල ඇති ගැටලුවක් නිසා එසේත් නොමැතිනම් අන්තර් කශේරුක මඩලේ ඇති වෙනස්වීමක් නිසා සමහර වෙලාවට ඇඟිලිවල අත්වල හිරිවැටීම් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම ඇඟිලිවල හිරිවැටීමට බලපාන විශේෂ හේතුවක් තමයි මැණික් කටුව ආශ්‍රිත ස්නායු තදවීමක් නිසා අත්වල හිරිගතිය පැමිණීමට පුළුවනි. ඒ වගේම අපි වැරදි ඉරියව්වලින් නිදා ගැනීම නිසාද හිරිගතිය ඇතිවීමට පුළුවනි. නමුත් එවැනි තත්ත්වයන් තාවකාලික හිරිවැටීම් ලෙස හඳුන්වනවා. ඒ වගේම විශේෂයෙන්ම කිව යුතු කරුණ වන්නේ වම් අත හිරිවැටෙනවා නම් සමහර අයට හෘදයාබාධයක් ඇතිවීමේ මූලික ලක්ෂණ විදිහට සලකන්න පුළුවන්. එවැනි අවස්ථාවල හුස්ම ගැනීමේ අපහසුතාව, මහන්සිය, කැරකැවිල්ල වැනි රෝග ලක්ෂණ සමඟ වම් අතේ හිරිගතිය ඇති වුවහොත් එය හෘදයාබාධයක ලක්ෂණ විය හැකිය. එමෙන්ම මොළයේ ආඝාතය ඇතිවන අවස්ථාවලදී අත්වල හිරිවැටීම් ඇතිවිය හැකිය. එමෙන්ම දියවැඩියා රෝගීන්ට ද මෙවැනි තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. පෝෂණ ඌනතා අතර විශේෂයෙන් විටමින් B ඌනතා සහිත නම් මෙලෙස අත් පා හිරිවැටීම් ඇතිවෙන්න පුළුවන්. එමෙන්ම තයිරොක්සින් හෝමෝනයේ අසමතුලිතතාවයන් ද මීට බලපානු ලැබේ. ඊට අමතරව අධිකව මත්පැන් පානය කරන අයකුටද ඇල්කොහොල් නිසා ස්නායුවල දුර්වලතා ඇතිවෙලා අතපය හිරිවැටීමක් ඇතිවෙන්න පුළුවන්. ඇතැම් ඖෂධ වර්ග නිසාද එනම් පිළිකාවලට ලබාගන්නා ඖෂධ, HIV ආසාදිතයන් ලබා ගන්නා ඖෂධ නිසාද අතපය හිරිවැටීම් ඇතිවෙන්න පුළුවන්. මානසික ආතතිය පැවතීම ද අතපය හිරිවැටීම්වලට බලපාන තවත් කරුණකි. එමෙන්ම දීර්ඝ කාලීනව වකුගඩු දුර්වල වූ අයෙකුට කකුල්වල හිරිවැටීම් ඇතිවෙන්නත් පුළුවන්. මේ වගේ හේතු රාශියක් අත් පා හිරිවැටීම් ඇතිවීමට බලපානවා.
හිරිවැටීමක් කියන්නේ වෙනත් රෝගයකට අනතුරු ඇඟවීමක්ද?
ඔව්; විශේෂයෙන්ම අත් හිරිවැටීමක් ඇතිවන විට එය මොළයේ රුධිර සම්පාදනයේ ගැටලුවක් වෙන්න පුළුවන්. මොළයට රුධිර සම්පාදනය බාධා වූ විට ආඝාතයක් ඇති වන අතර එමඟින් බලපෑමට ලක් වූ ප්‍රදේශයේ ක්‍රියාකාරීත්වය අඩපණ වේ. මොළයේ ද ආඝාතය ඇති වුවහොත්, එය අත් හිරිවැටීමට හේතු විය හැකියා. වම් අත හිරිවැටීම හෘදයාබාධයක අනතුරු ඇඟවීමේ ලකුණක් වෙන්න පුළුවන්.. මධ්‍ය ස්නායු පද්ධතියට බලපාන multiple sclerosis වැනි ප්‍රතිශක්තිය කරන පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්ව නිසාත් හිරිගතිය ඇතිවෙන්න පුළුවන්. ඊට අමතරව වකුගඩුවල ඇතිවන ගැටලු නිසාත්, කිසිදු අසනීපයක් නොමැතිව පෝෂණ ඌනතා නිසාත් විශේෂයෙන් විටමින් B12 ඌනතාවය අත් සහ පාදවල හිරිවැටීමක් ඇති කරයි.
Cervical radiculopathy නමින් හැඳින්වෙන බෙල්ල ආශ්‍රිත ස්නායු මූලයන් තද වීමකට ලක් වූ විට අතේ හිරිවැටීම, ඊට අමතරව දියවැඩියාව, තයිරොක්සින් හෝමෝනයේ අසමතුලිතතාව Carpal tunnel syndrome (මැණික් කටුව ආශ්‍රිත ස්නායු තදවීම ) වැනි අවස්ථාවලදීත් හිරිවැටීම ඇතිවෙන්න පුළුවන්. එනිසා විශේෂයෙන්ම අත් පා හිරිවැටීම දීර්ඝ කාලයක් පැවතියහොත් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසු වේ.
මෙම රෝගයට ආයුර්වේදයේ ඇති ප්‍රතිකාර ගැන කතා කළොත්?
ආයුර්වේද ප්‍රතිකාරයේදී රෝග නිධානයට ප්‍රතිකාර සිදුකිරීමක් කරනවා. එවිට මුලින්ම සිදු කරන්නේ රෝගයට හේතුව සොයා බැලීමයි. ඉන් පස්සේ හේතුවට අනුව ප්‍රතිකාරයන් සිදු කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අතපය හිරිගතියට හේතුව බෙල්ලේ ඇති ග්‍රයිවී කශේරුකාවල ප්‍රශ්නයක් නම් අපි මුලින්ම ඊට අදාළව තමයි ප්‍රතිකාර සිදු කරන්නේ. එමෙන්ම ආයුර්වේද ප්‍රතිකාර කිරීමේදී අභ්‍යන්තර ඖෂධ මෙන්ම බාහිර ප්‍රතිකාර සිදුකරනවා. එමෙන්ම අභ්‍යන්තර ඖෂධ ලබාදෙන අතරදි විශේෂ ආලේප වර්ග ආලේප කරනවා. ආයුර්වේදයට අනුව අපි පත්තු ආලේප කිරීමක් තමයි සිදු කරන්නේ. එමෙන්ම විශේෂ තෛලය අභ්‍යාංග කිරීම, විශේෂ තැවිලි වර්ග වගේ දේවල් රෝග නිධානයට අනුව බලා ප්‍රතිකාර කිරීම් කරනවා. එලෙස බාහිර ප්‍රතිකාර සිදුකිරීම මෙන්ම අභ්‍යන්තර ප්‍රතිකාර රෝග නිධානයට අනුව නිසියාකාරව සිදුකිරීම තුළින් හිරිගතිය පාලනය කර ගැනීමට මෙන්ම සමහර අවස්ථාවලදී නිට්ටාවටම සුව කර ගැනීමට ද හැකියාවක් පවතී.
TEXT – සචිනි දිසානායක
