නිගූ අම්මා බලන්නට යයි. අතරමඟ කිහිප විටක්ම රථය නවතයි. වරින් වර වාහනවල එළි කිරණ බොඳ වී කිසිවක් නොපෙනී යයි. ඇස වැසුණු කඳුළු පටලය පිසලයි. තද කරගත් ඉකිය පුපුරයි. ස්ටීයරිනය මත හිස ගසයි. ඇස් ද තෙත් නහය ද පිසදාගෙන හිත තද කරගනියි. තමා තුළ ඇති දෙගිඩියාවට හිතින් සාප කර ගනියි. තමා මොනතරම් ගන්ධබ්බ තත්ත්වයකට පත්ව සිටින්නේ දැයි ඔහුට සිතෙයි. තමාටම පාලනය කරගත නොහැකි වූ හැඟුමාවලියක කිමිදී නූල කැඩුණු සරුංගලයක් සේ පාවෙමින් සිටින බව දැනෙයි. දිගු කාලයක් තිස්සේ මේ ආතතිය දරා ගැනීමෙන් තමා ඩිප්‍රෙෂන් තත්ත්වයකට ඇද වැටෙමින් සිටින බව ඔහුටම හැඟෙයි. එය පාලනය කරගත යුතුයි. එහෙත් පිළියමක් නොපෙනෙයි.
අම්මාට අසෙනි ගැන කියා ඒ ගැන තීරණයක් නොගෙන යළි අසෙනි බැලීමට නොයා යුතු යැයි ඔහුට සිතෙයි. දැනටමත් ඔහු කර ඇත්තේ බරපතළ වරදකි. අසෙනිගේ නිර්මල පෙම් හැඟුම් සමඟ සෙල්ලම් කිරීමකි. ගැහැනු හිත් එක්ක සෙල්ලම් කිරීම කොහොමත් පාපයකි. නිගූ ඒ බව හොඳින්ම දනියි. ගැහැනියකට පිරිමියකු පිළිබඳ පහළ වන්නේ කොන්දේසි විරහිත ආදරයකි. ඇගේ ආදරය පුපුරු ගසන විට ඈ තම ශරීරයේ දේශ සීමා මායිම් ලකුණු කරන්නේ නැත. අනුරාගය යනු ඈ ඇගේ ආදරය ප්‍රකාශ කරන ශාරීරික භාෂාවයි. ඒ භාෂාවේ අර්ථ කියාදෙන ශබ්දකෝෂය රහස් වට්ටෝරුවක් මෙනි. පිරිමින්ට අවැසි ඒ භාෂාවේ ශබ්ද මිස අර්ථ නොවෙයි. ආදරයෙන් තොර අනුරාගය වූ කලී අර්ථයක් නැති ශබ්දාවලියකි. ඒ භාෂාවේ ශබ්දාර්ථ සුසංකලනයෙහි රසෝඝය සූරතාන්තයයි.
නිගූ බණ්ඩාරගම අක්කලාගේ ගෙදරට යන විට රෑ නවයයි. අම්මා නිගූ එනතුරු බලා සිටියි. අක්කාගේ මහත්තයා, සමන්ත අයියා රූපවාහිනියේ දේශපාලන සංවාදයක් අසමින් සිටියි. දුවත් පුතත් කාමරවල ඇති. ගෙට ගොඩවුණු ගමන් අම්මා දුවගෙන එයි. අක්කා කුස්සිය පැත්තේ අස්පස් කරන වැඩවල නිරතව හිඳ ” මල්ලි ආවා නේද?” යි කියමින් සාලයට එයි. නිගූ ගෙනා බඩු මල්ල ඈ අතට දෙයි. අක්කා ” මේ මොනවද .. ගොඩක් ජාති උස්සන්” කියමින් ගේ තුළට යයි.
“කෝ දුවයි පුතයි නිදි ද?”
“නෑ තාම නැතුව ඇති” කියමින් සමන්ත අයියා රූපවාහිනියේ බෙරිහන් දෙමින් සිටි දේශපාලන පක්ෂ කථිකයෙකුගේ හඬ බාල කරයි. නිගූ සැටියෙහි වාඩි වී සමන්ත අයියා සමඟ වත්මන් දේශපාලනය ගැන මඳක් සංලාපයේ සිටින විට අම්මා තුවාය අතටම දී,
“ඉතින් මූණකට හෝදගෙන එන්න..දැන් රෑ වෙලානේ..” යි කියයි.
බණ්ඩාරගම අක්කලාගේ ගෙදර ඉස්සරහ කාමරය වෙන් වී ඇත්තේ නිගූටමයි. අම්මා නිගූ නැතත් ඒ කාමරය නිගූගේ කාමරයක් ලෙස තියාගෙන හිඳියි. එහි ආ විට නිගූ අඳින සරම, ටී ෂර්ට් එක, පොරොවන බෙඩ් ශීට් එක ආදී සියල්ලක්ම එහි පිළිවෙළට තබා තිබෙයි. නිගූ ඇඳුම් මාරු කර ඇඟපත සෝදාගෙන කුස්සිය පැත්තට යයි. අක්කා සින්ක් එක ළඟ මොනවදෝ සෝදයි.
” මල්ලි සාරාට කොහොම ද? අනුලා එකේ කොන්සට් එකක් බලන්න ගිහින් ලොකු දුවට දවසක් හම්බ වුණා කිව්වා… කිව්වලු තාත්තාට කියන්න කියලා දවසක මෙහෙ එක්ක එන්න කියලා..”
අක්කා අම්මාගේ අසනීපයකට ඩොක්ටර් කෙනෙක් චැනල් කරගැනීමට කතා කළ විටක දී ද මේ වදන් ප්‍රකාශ කළ බව නිගූට මතකයි. ඒ වෙලාවේ ද නිගූ කිසිවක් නොකියයි. එහෙත් දැන් ඇස් ඉස්සරහපිට නිහඬ වීම කළ නොහැකියි.
” කොහෙද අක්කෙ නිවාඩුවක්.. මේ පේන්නැද්ද අරගලයි අරවයි මේවයි.. කීයක් ද.. දැන්නම් මං නිවාඩුවක් ගත්තත් ඒ ළමයට නිවාඩුවක් නෑ.. කාංචනා අර පන්ති මේ පන්ති කිය කියා හැම මඟුලකටම කෙල්ලව දාලා තියෙන්නෙ.. ඒකිට හුස්ම ගන්නවත් වෙලාවක් නැති වෙලයි තියෙන්නෙ..”
නිගූ කෑම මේසයට වාඩි වෙන ගමන් “අයියා කෑවද ?” යි අසයි.
“අයියා දවල්ටත් හරියට කන්න බැරි වුණා කියලා ආපු ගමන් කෑවා..දැන් ආෙය එයා කන එකක් නෑ මල්ලි, ඔයා කන්න.. අම්මා නම් තාම කෑවෙ නෑ.. ඔයා එනකල් හිටියෙ..”
නිගූට නිදන්නට ඉස්සරහ කාමරේ ඇඳ හදා දී අම්මා ඇඳ ඉහත්තේ වාඩි වී නිගූගේ හිස අතගායි. සන්ධ්‍යා වනිගසුන්දරට නිගූ තාමත් පොඩි දරුවකු මෙනි. තම පුතු දැන් ගෙවන ජීවිතය ගැන හොඳින්ම දන්නා ඈ ඒ ගැන මතුපිටින් දුක් වෙයි. එහෙත් සියුම්ව විපරම් කර බැලුවහොත් නිගූ කාංචනාගේ ග්‍රහණයෙන් නිදහස් වී යළි තමා කරාම සේන්දු වීම ගැන ඇගේ සිතේ කොතැනකින් හෝ සියුම් සතුටක් දිදුලමින් තිබෙන බව ඇය දනියි.
” ඔයා සාරා බලන්න සතියකින්වත් ගියෙ නෑ කිව්වා.. මං කතා කළා එයාට.. එහෙම කරන්න එපා නිගූ.. ඒ ළමයා බලා ඉන්නවා.. ඔයාලගේ ප්‍රශ්න ඒ ළමයට අදාළ නෑනේ..”
අම්මා නළල රැලි ගන්වාගෙන එසේ කියන විට නිගූට ඉමහත් පශ්චාත්තාප හැඟීමක් උපදියි. එහෙත් අවසන් වරට නිගූ කහතුඩුවට ගිය දවසෙහි අත්විඳින්නට වූ දෙයක් නිසා යළි එහි යන්නට සිතවන හැඟීම පස්සට තල්ලු කරයි.
සිකුරාදා දවසක හැන්දෑවෙහි නිගූ සාරා බලන්නට යන විට ගේ පිළිකන්නේ ළිඳ ළඟින් එන ශබ්දයක් ඇසී ඒ පැත්තට එබෙයි. අශේන් කුඩා කියත් පටියකින් පයිප්ප බටයක් කපමින් සිටියි. නිගූ එය නොදුටුවාක් මෙන් ආපසු හැරී ඉස්තෝප්පුවට ගොඩ වන විට සාරා ගෙතුළ සිට දිව එයි.
” අයියෝ තාත්තේ හරි වැඩේනෙ වුණේ.. අපිට ඊයේ හවස ඉඳලා වතුර නෑ.. මෝටරේ කැඩිලාලු.. පස්සේ අපි එන ගමන් අශේන් අන්කල්ව එක්කගෙන ආවා.. එයා කියනවා හුළං ඇදලා වෙන්ඩැතිලු.. ඉක්මනින්ම හදා දෙන්නම්ලු.”
ඒ මොහොතේදී නිගූ තුළ උපන් සංකීර්ණ හැඟීම කුමක් දැයි ඔහුටම පැහැදිලි නැත. එය කෝපය ද කලකිරීමද ආත්මානුකම්පාව ද එසේත් නැතහොත් පිළිකුලක්දැයි වෙන්කර හඳුනාගත නොහැකි හැඟීමාවලියකි. ළිඳ ළඟට ගොස්, “දැන් ඩ්‍රයිවිං විතරක් නෙවේද කරන්නේ..” යි අශේන්ගෙන් ඇසීමට ඔහුට සිතෙයි.
“අනුන්ගෙ පයිප්ප හදනවට වඩා දෙයක් තමුසෙට වෙන නැද්ද” යි අසන්නට සිතෙයි. කුණුහරුපයෙන් බැණ පන්නා ගත යුතු යැයි සිතෙයි. එහෙත් ඒ කවරකින් වුවද සිදු වන්නේ තමන් තව තවත් හෑල්ලුවට ලක්වීම පමණක් බව දන්නා නිගූ කරබා ගනියි. සාරා තමා වටේ දැවටෙමින් තව මොන මොනවාදෝ කියන නමුත් ඒ කිසිවක් ඔහුට හරියට නෑසෙයි.
“පුතා දැන් නිදාගන්න.. ඔයා හෙට උදෙන්ම යන්නෑ නේද?” අම්මා එසේ කියමින් නිගූගේ පොරවනය දෙපතුල දක්වා දිගහැරෙන සේ විසි කර දමයි. තමා අද අම්මා හමුවන්නට ආවේ අසෙනි ගැන කතා කරන්නට බව නිගූට සිහිපත් වෙන නමුත් ඒ ගැන කිසිවක් කතා කරන්නට මේ නිසි වේලාව නොවේ යැයි ඔහුට සිතෙයි.
තවත් කොටසකින් හමුවෙමු
