කිසියම් අපරාධයක් සිදුකළ පුද්ගලයකුට තමා කළ අපරාධය නිතර නිතර සිහියට එන්නේය. ඒ ගැන සිතමින් සිය දහස් වාරයක් ළත වන්නේය. තමා එවන් අපරාධයක් නොකළේ නම් කොතරම් හොඳදැයිි සිතට එන්නේය. කළ අපරාධය මතකයට නැඟෙන නැඟෙන සෑම තත්පරයක් පාසාම ඔහු මැරිමැරී උපදින්නේය. ඒ කළ අපරාධය තමා පසුපස සෙවණැල්ලක් සේ හඹා එන බව දන්නා නිසාය.
ජෝන් ද එවන් අයෙකි. ඔහු ඊට සති කිහිපයකට පෙර පුද්ගලයකු දියේ ගිල්වා මරා දැමුවේය. ඒ ඔහු ඇසුරු කළ කාන්තාවකගේ කීම නිසාය. එසේ ගිල්වා මරා දැමූ පුද්ගලයා එම කාන්තාවගේ සැමියාය. මේ ගැන සිතට එන සෑම මොහොතකම ජෝන්ට සියදිවි තොර කරගන්නට සිතුණේය. ඔහු වස පානය කර මියැදෙන්නට අවස්ථා කිහිපයකදීම උත්සාහ කළේය. ඒත් ඒ කිසිවකින් ඵලක් වූයේ නැත. මේ නිසා ඔහුට කිසි දිනෙක සුවසේ නිදන්නට හැකියාවක් නොවීය. ඇස් පියවෙන මොහොතේ ඔහු මරහඬ දී කෑ ගසමින් නින්දෙන් අවදි විය. ඔහුගේ ගත ද දහදියෙන් තෙමී ගියේය. අතපය ගැහෙන්නට විය. මෙය ජෝන්ට මහත් වේදනාවක් දුන්නේය. අවසානයේ ඔහු තීරණයක් ගත්තේය.
“මම ඇත්තම ගිහින් පොලීසියට කියනවා.”
එලෙස සිතූ ඔහුගේ සිත යළිත් වරක් ඔහුට හඬ ගා මෙසේ ද කීවේය.
“උඹ එහෙම කළොත් ඕකට ගෑවුණු නොගෑවුණු සේරම මාට්ටු වෙනවා. ඒ හින්දා ඔය වැඩේ කරන්න නම් එපා. උඹට ඔය ගෑනිත් නැති වෙනවා. උඹත් එල්ලුම් ගස් යනවා. අන්න ඒක මතක තියාගනින්.”
තමා සිදුකළ වරද පොලීසියට ගොස් කිවූ සැණින් පොලීසිය තමා පමණක් නොව ඊට සම්බන්ධ වූ සෙසු අය ද අල්ලා ගන්නා බව ජෝන්ගේ සිතට වැටහුණේය.
“ඒත් කමක් නැහැ. මගේ හිත නිදහස් කරගන්න ඕනේ. අපරාදේ මම මේ අපරාධය කළේ. ඕෙන දෙයක් වුණාවේ. මම පොලීසියට ගිහින් ඇත්තම කියනවා.”
එසේ සිතු ජෝන් පසුදිනම පොලීසියට ගොස් එහි ස්ථානාධිපතිවරයා හමු විය. ඒ වන විටත් පොලීසියට එම අපරාධය සිදුකළ පුද්ගලයා ගැන හෝඩුවාවක් ලැබී තිබුණේ නැත. පොලීසිය ද ඒ ගැන සොයමින් සිටියේය. ජෝන් පොලීසියට පැමිණීම නිලධාරීන්ට එම සැඟවුණු අපරාධය විසඳා ගැනීමට මහඟු අවස්ථාවක් ගෙන දුන්නේය.
“සර් විමලෙගේ මරණයට මාත් සම්බන්ධයි.” ජෝන්ගේ කතාවට ස්ථානාධිපතිවරයා අන්දුන් කුන්දුන් විය.
“මොකක්ද මේ කියන්නේ. මොන විමලේ ද?”
“ඇයි සර් අර වැවේ තිබිලා ගොඩගෙන තිබුණේ….”
ස්ථානාධිපතිවරයාගේ මතකය කෙමෙන් අවදි විය.
“ආ…. ඔව්… ඔව්. අර උල්හිටිය වැවේ තිබිලා ගොඩ ගත්ත බොඩිය නේද. බයිසිකලෙත් හම්බ වුණේ ඒකද…?”
“ඔව් සර්…“
“හරි ඉතින් ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නෙ?”
“ඒ මරණයට මමත්….”
ස්ථානාධිපතිවරයා ජෝන්ට කතාව කියන්නට ඉඩ දුන්නේය. මෙතෙක් වේලා සිතේ ගුළි කරගෙන මැරි මැරී ඉපදුණ කතාව ජෝන් ස්ථානාධිපතිවරයා හමුවේ එකක් නෑර පවසන්නට විය.
විමලසිරි කුලී වැඩ කරමින් ජීවත් වූ අහිංසකයෙකි. වැඩ අවසන් වීමෙන් පසු ඇඟේ පතේ මහන්සි යන්නට ඔහු මදුවිත තොල ගෑමට පුරුදු ව සිටියේය. වෙරි මරගාතේ නිෙවසට ගොඩ වදින විමලේ කුමක් හෝ දෙයක් කියමින් නිතර දෙවේලේ බිරියට තඩි බෑවේය. පරුෂ වචනයෙන් බැණ වැදුණේය. මෙය ඇයට ඉවසුම් නො දන්නක් වූවාය.
තමාට සැමියාගෙන් සිදුවන හිරිහැර තාඩන පීඩන ඇය ඔහුගේම මිතුරකු වූ ජෝන්ට කීවේ හඬා වැලපෙමින්ය. ඒ වන විටත් ජෝන් සහ ඇය අතර ද කිසියම් හිතවත්කමක් ගොඩ නැඟී තිබුණේය. මේ නිසා ඇය ජෝන් කෙරෙහි විශ්වාසය තැබුවේය.
“මේ මිනිහගෙන් මට හරි කරදරේ.”
විමලයට පාඩමක් ඉගැන්විය යුතු බව ජෝන් සිතුවේය. ඉන්පසුව ඔහුගේ බිරිය සමඟ තමාට සතුටින් ගත කිරීමට ඉඩ ලැබෙනු ඇතැයි ජෝන්ට වැටහුණේය.
“මම දන්න කියන කෙනෙක් ඉන්නවා වැලිමඩ පැත්තේ. මිනිහගෙනුත් සපෝට් එකක් ගන්න පුළුවන්.”
විමලෙගේ බිරියගේ කීම මත වළපල්ලට යැවීමේ සැලසුම සැකසුණේ එතැන් පටන්ය. ඒ සඳහා වැලිමඩ පදිංචි පුද්ගලයාව ගෙන්වා ගැනීමට විමලෙගේ බිරියට හැකි විය.
“මේ වැඩේ කෙරෙන්නම ඕනේ. උඹටත් ගාණක් දෙනවා.”
වැලිමඩ පදිංචි පුද්ගලයාත් ඊට කැමැත්ත පළ කළේය. ඒ රුපියල් පනස්දාහක මුදලක් ලැබෙන නිසාය.
විමලෙ තදින්ම මත්පැනට ඇබ්බැහි වීම මොවුන්ගේ සැලසුම දියත් කිරීමට මහත් පහසුවක් ගෙන දුන්නේය. ජෝන් තම මිතුරා වූ විමලෙට අඩියක් ගසන්නට කතා කළේ සැලැස්මේ මුල් අදියර ලෙසය. විමලේ ජෝන්ගේ ඉල්ලීම පසෙක දැම්මේ නැත. කවදත් බීමට ලොල් වූ ඔහු සිය යතුරුපැදියෙන් වැව අසලට ගියේ අසුරු සැණෙකිනි. මත්පැන් බෝතලයක් ද අතැතිව ජෝන් එතැනට පැමිණියේය. වැලිමඩ මිතුරා ද ජෝන් සමඟ එක්වීය. වැවේ දියනෑම සඳහා සකසා තිබූ පඩිපෙළ පහළ වාඩි වී විමලේත් ජෝනුත්, වැලිමඩ මිතුරාත් මත්පැන් බෝතලය ටිකෙන් ටික හිස් කරන්නට වූහ.
“තව එකක් ගහපන් ……..” ජෝන් නිතරම විමලේගේ වීදුරව පිරෙව්වේය. විමලෙත් මිතුරාගේ ඉල්ලීම අහක නොදැම්මේ මත්පැනට තිබූ අධික ගිජුකම නිසාය. එක දිගට මත්පැන් පානය කළ නිසා විමලසිරි මොහොතකින් වෙරි විය. ජෝන් සිය මිතුරා වූ වැලිමඩ පුද්ගලයාට ඇහෙන් ඉඟියක් කළේය.
ඒ සමඟම විමලේ ඇළට වැටුණේය. පඩිපෙළ මත සිටි මිතුරන් විමලේ දිය ගිල්වාගෙන සිටියේය. වෙරි මරගාතේ දැඟලූ විමලේ මොහොතකින් නිහඬ වෙද්දි මිතුරන් ඔවුන්ගේ දෑත් විමලගෙන් ඉවතට ගත්තේය. මොහොතකට පසු විමලේ නොපෙනී ගියේය.
“මේ බයික් එකට මොකද කරන්නේ.”
“ඕක ඔතැන තිබ්බොත් අපි මාට්ටු වෙයි. ඕකත් උස්සලා වැවට දාමු.
විමලේගේ යතුරුපැදිය ඔසවා වැවට දැමූ ඔවුන් කිසිවක් නොවූ සේ එතැනින් පිටව ගියහ.
සිද්ධියෙන් පසුදාම වැලිමඩ පුද්ගලයා ද කොන්ත්‍රාත් මුදලින් කොටසක් රැගෙන වැලිමඩ බලා පිටත්ව ගියේය. දින දෙකක් ගතවිය. කිහිප දෙනකු වැව අසළ එක් රොක් වී සිටි බව ජෝන්ට පෙනුණේය. ජෝන් ද ඒ අසළට ගියේය.
“කාගේද මෝටර් බයික් එකක් වැවට වැටිලා.” කිසිවකු කියනු ජෝන්ට ඇසුණේය. ඒ විමලේගෙ බයිසිකලය බව ජෝන් දැන සිටිය ද ඔහු ඊට පිළිතුරක් නොදී එතැනින් මඟ හැරියේය. පළමුවරට ඔහුගේ සිතට කිසියම් බියක් දැනෙන්නට විය. තවත් දවස් දෙක තුනක් ගත විය. වැවට කිලෝමීටරයක් ඈතින් නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් ගොඩ ගසා තිබිණි. එය සැලවූ බොහෝ පිරිස් මළ සිරුර තිබූ තැනට ගියේ පොරකමිනි. ඒ අතර විමලගේ බිරිය ද වූවාය.
“සර් මේ මගේ මනුස්සයා. එයා දැන් දවස් ගාණක් තිස්සේ ගෙදර ආවේ නෑ. මම පොලීසියට පැමිණිල්ලකුත් දාලා තිබුණේ.”
ඇය හඬා වැළපෙමින් නිලධාරින් ඉදිරියේ කීවාය. සිරුර හඳුනා ගැනීමෙන් පසු ඔහුගේ මරණය කෙසේ සිදුවීදැයි අනාවරණය කර ගැනීම සඳහා මළ සිරුර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කෙරිණි.
සිරුර නරක්ව තිබූ හෙයින් මරණ පරීක්ෂණයේදී ලැබුණේ විවෘත තීන්දුවක්ය. පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ෂණ පැවැත්වූවද විමලේ මියගිය වැවට වැටීමෙන් හෝ නැතහොත් ඔහු මරා දමා ඇළට දැමුවේද යන්න හරිහමන් තීරණය පොලීසියට ලැබුණේ නැත. ඒ නිසා විමලෙගේ මරණය අභිරහසක් විය.
පොලීසියට විසඳා ගැනීමට නොහැකිව තිබූ විමලෙගේ මරණය මිනීමැරුමක් බවට තහවුරු වන්නේ ජෝන් පොලිසිය හමුවට පැමිණ කළ ප්‍රකාශයත් සමඟය.
“එදායින් පස්සේ මට නින්දා ගියේ නෑ සර්. මම කරපු අපරාධය මට මැවී පෙනුණා. අන්තිමට ජීවිතේ නැති කරගන්න කියලා හිතාගෙන මම වහ බිව්වා. ඉස්පිරිතාලේ හිටියා. ඒත් මැරුණේ නෑ. අන්තිමට මේක මගේ හිතට වදයක් වුණා. ඒ නිසයි මම තීරණය කළේ පොලිසියට ඇවිත් ඇත්තම කියලා මගේ හිත හදා ගන්නවා කියලා.”
ජෝන් අවසානයේ කීවේය. නිලධාරින් ජෝන්ගේ ප්‍රකාශය සටහන් කර ගත්තේය. ඊළඟට නිලධාරින් ගියේ විමලගේ බිරිය සොයාගෙනය. ඇය ඇඟලුම් සේවිකාවක් වූවාය. නිලධාරින් ඇගෙන් ප්‍රශ්න කළෙන් ඇයට ද ඇත්තම කියන්නට සිදුවිය. කතාව අවසානයේ ඇගේ දෑතට ද විලංගු වැටුණේය.
“කෝ ගේම ගහපු අනිත් එකා.”
නිලධාරීන් ජෝන්ගෙන් මෙන්ම සැකකාරියගෙන් ද විමසීය. ඒත් ඒ වනවිටත් ඔහු සිය ගම්බිම් බලා පිටත්ව ගොස් අවසන්ය.
“ඔය වැඩේ කරන්න කීයක් ඌට දුන්නද?”
වැඩේ ඉවර වුණාට පස්සේ රුපියල් පනස්දාහක් ඉල්ලුවා. විසිදාහක් ඒ වෙලාවෙම දුන්නා. තවත් පහළොස්දාහක් එකවුන්ට් එකට දැම්මා.”
නිලධාරි එම තැනැත්තා සොයා වැලිමඩ බලා පිටත්ව ගියේ ඉන් පසුවය. විමලේ දියේ ගිල්වා ඝාතනය කිරීමේ චෝදනාව මත ඔහුගේ බිරියත්, විමලගේ මිතුරා වූ ජෝන්වත් අත්අඩංගුවට ගත් නිලධාරීන් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
තවත් අනියම් සම්බන්ධතාවයක් මෙසේ නිමා විය. බොහෝ මෙවන් සම්බන්ධතා අවසන් වන්නේ මෙලෙසය. එක්කෝ දිවි අහිමි වීමෙනි. නැතහොත් බන්ධනාරාගාරගත වීමෙනි. මෙහි විශේෂත්වය වන්නේ තම සැමියා ඝාතනය කිරීම සඳහා ඔහුගේම බිරිය විසින් ම කොන්ත්‍රාත්තුවක් ලබාදීමය. එවන් ගැහැනුන් ද අද සමාජයේ සිටිති. ඇය ද එවන් කාන්තාවකි. අවසානයේ ඇයට සිදු වූයේ සිපිරි ගෙදරට යෑමටය.
TEXT – මනෝලි සුබසිංහ
