පොත් පත් පවා දිය වී ගොසිනි. ඔවුන් හුස්ම ගන්නේ මියෙන්න බැරිකමටය. අරණායක, අම්බලන්කන්දේ නිමේෂ් පේන්ට් වැඩ කළේ සිය මවුපියන් වෙනුවෙන් සිහින නිවාසයක් ගොඩනඟන්නය. ඔහුගේ අපරිමිත කැපකිරීමෙන් ඔහුටම කියා නිෙවසක් සෑදුවත් දැන් ඒ නිෙවස කොන්ක්‍රීට් ගොඩක් පමණි. “අම්මගේ තාත්තගේ සතුට වෙනුවෙන් තමයි මම මේ ගේ හැදුවේ. දැන් ගේ තිබ්බ තැනක්වත් නෑ. වැඩක් නෑ කතා කරලා.” යනුවෙන් පැවසුවේ අපේ දෑසට ද කඳුළු නංවමිනි. මේ මිනිසුන් එතරම්ම අපේක්ෂා භංගත්වයකින් හා අවිනිශ්චිතතාවකින් බැට කමින් සිටින්නේ අහිමිවීමේ වේදනාව පමණටත් වඩා ඔවුන්ව රිදවා ඇති නිසාවෙනි.
කෙසේ නමුත් දේපළ නම් කවදා හෝ උපයා ගත හැකිය. ජීවිත අමිලය. මරණයේ හිනිපෙත්තටම ගොස් ජීවත් වීමේ අමිල වාසනාව ලබා ගත් පහළ කඩුගන්නාවේ සිදුවූ ඛේදවාචකයට මුහුණ දුන් වෙෙළඳසැල් සේවිකාවක් වන චන්ද්‍රිකා නිශාන්ති පවසන්නේ සිය දියණියගේ හා ස්වාමියාගේ වාසනාව නිසා දිවි ගලවා ගත් බවයි. ඇය මේ නාය යාමත් සමඟ ගොඩනැඟිල්ලක බීම් දෙකක් අතර පැය කීපයක් සිරවී සිටියේ ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමිනි.”මං පැය තුන හතරක් ඇතුළේ හිටියා. එළියට එන්න බැරුව. මට හුස්ම ගන්න එහෙම පුළුවන්කම තිබුණා. කට්ටිය බැකෝ එකක් දාලා කඩමු කියද්දි, මගේ ඇඟට වැටෙයි කියල මං බය නිසාම ඇස් දෙක වහගෙන නිදාගත්තා. මගේ දරුවගෙයි, මහත්තයගෙයි වාසනාවක් තියෙනවා නම් මම බේරෙයි කියලා හිත හදා ගත්තා.”
සිය අසල්වැසියාගේ වේදනාව අබියස සංවේදී වීම ශ්‍රී ලාංකිකයාට අමුතු දෙයක් නම් නොවේ. සෑම විටම ආපදාවට පත් ජනතාව බේරා ගැනීමට ලාංකිකයන් එක් වූයේ එක මවකගේ දරුවන් ලෙසිනි. මේත් එවැනිම වීරයන් දෙෙදනකුගේ කඳුළු කතාවක්. බණ්ඩාර මැණිකා යනු රජතලාව ප්‍රදේශයේ පදිංචි දෙදරු මවකි. ඇය පවසා සිටියේ “රජතලාව නාය යනවත් එක්කම එකපාරටම “අපිව බේරගන්නකෝ” කියලා කෑ ගහන සද්දයක් ඇහුණා. ඒ අඳෝනාවට මගේ පුතාලා දෙන්නා දුවගෙන ගියා. ගල් පස් කඩාගෙන ගියා. ගෙවල් යට වුණා. අන්තිමට මගේ එකම දරුවෝ දෙන්නත් පස්වලට යට වුණා” ඇය පවසා සිටියේ ආයාසයෙන් හැඬුම් පාලනය කරගනිමිනි.
මේ අතරින් ඌව පරණගම ඛේදවාචකයෙන් දිවි ගලවාගත් අයෙක් පවසන්නේ ඔවුන් ජීවිත බේරා ගත්තේ ඔවුන්ගේ චූටි නම් සුරතලාගේ බිරුම් හඬ නිසා බවයි. “එයා දොරට ගහලා අපිට කතා කරලා අනතුරු ඇඟවීමක් කළා. චූටි නැතිනම් අපි මැරිලා.” යනුවෙන් කඳුළු සලමින් පවසන්නේ චූටි නම් සුනඛයාව මාධ්‍යයටද හඳුන්වා දෙමිනි.
ගලහ පාරේ නිල්ලඹ කුරුස හංදියේ ඛේදවාචකයෙන් එකම නිෙවසේ මව පියා හා දරුවන් දෙෙදනා පස්වලට යට වූ අතර ඔවුන්ගේ සුරතලා ටොම් දිවි ගලවා ගනියි.මේ අනතුරින් පසු ටොම් තමන්ගේ පවුල සෙව්වත් ඔහුට කිසිවකු හමු වූයේ නැත. ” ටොම් ඇස්වල කඳුළු පුරවාගෙන හිටියා. ඌට ඉව තියෙනවා ඌ තමයි නිවැසියන් යට වෙලා හිටපු තැන පෙන්නුවේ.”යනුවෙන් ප්‍රදේශවාසියකු පවසා සිටියේය. සතා සිවුපාවාට පවා දරාගත නොහැකි කාටත් අනේ අපොයි කියැවෙන මෙවැනි වේදනාත්මක සිදුවීම් තවදුරටත් ලෝකයට අවැසි නැත.
ජීවිත කියන්නේ ජීවිතය. වටිනාකම අමිලය. පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නාය යාමෙන් මියගිය පුලතිසි නම් තරුණයාගේ බාප්පා පවසන්නේ පුලතිසි ඇඹිලිපිටියේ සිට ඩ්‍රයිවර් සමඟ නුවර ආ බවත් කඩුගන්නාවෙන් තේ බොමින් සිටින විට ගලකට යටවී මිය ගිය බවත්ය. මේ අනතුර සිදුව ඇත්තේ අනවසර ලෙස කිසිදු ප්‍රමිතියකින් තොරව සාදා ඇති ගොඩනැඟිලි නිසා බවයි. එය සත්‍යයක් නැත්තේ ද නැත. කෙසේ නමුත් මියගියවුන්ට නැවත ජීවිතය දිය නොහැකිය. ජනාධිපති අනුර කුමාර මහතා පවසන්නේ මියගිය අය රටට අංකයක් පමණක් නොවන බවයි.
එකම කාලපරාසයක සමස්ත රටටම මෙවැනි විපතක් ඇති වූ පළමු වතාව මෙයයි. අප මින් පාඩමක් ඉෙගන ගත යුතුමය. මිනිසා යනු සොබාදහමේ කොටසක් මිස සොබාදහම මිනිසාගේ කොටසක් නොවන වග දැන්වත් තරයේ මතක තබා ගත යුතුය. .”සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැත.”යනුවෙන් ගම්මු කීවේ කට කහනවාට නොවේ. වර්තමාන මිනිසා තාක්ෂණයත්, මුදලත් මත සියල්ල තීරණය කරන්නේ නොමැරෙන මිනිසුන් ලෙසය. ඔවුන් පරිසරය විනාශ කළේ, සතුන් මරා දැම්මේ, මහපොළොවට පොරබැද්දේ අසීමිත වූ තණ්හාවෙනි. කාලයක් තිස්සේ සොබාදහම පාලනය කිරීමට උත්සහ කළ මිනිස් සංහතියට සොබාදහම යහපත් පිළිතුරක් ලබා දී ඇත. ලාංකිකයන් ලෙස නිරන්තරයෙන් පරිසරයට සංවේදී වීම දැන් හෝ ආරම්භ නොකළොත් නුදුරු අනාගතයේ මීට වඩා දරුණු ව්‍යසනවලට මුහුණ දීමට සිදුවනු ඇත.
TEXT – රසාංජලී වාසල
