දිට්වා කුණාටුව මරණයේ කුණාටුවක් වන්නට මහා කාලයක් ගියේ නැත. දිට්වා වින කළේ මුළු රටටමය. ගම්මාන පිටින් පොළොවට මිහිදන් වූයේ පණ ගැහෙන මිනිසුන් සමඟය. ඔවුන්ට දැනුණු වේදනාවේ හෝ බියේ තරම අපට සිතා ගැනීමටවත් නොහැකිය. ඇතැම් විට සමහරුන් තවමත් පස් යට හුස්ම ගන්නවා විය හැකිය. මේ තත්ත්පරය වන විටත් දරුවන්ට මවුපියන් අහිමිව ගොසිනි. ඇතැමුන් තවමත් අතුරුදන්ය.”අනේ මහත්තයෝ අපිට මොකුත් එපා. ජීවිතේ විතරක් බේරලා දෙන්න.”,
“මගේ පවුලේ කවුරුත් ඉතුරු වෙලා නෑ.””මට ඉතුරු ඇඳිවත විතරයි.”අපිට දැන් යන්න එන්න තැනක් නෑ.”මෙවැනි අඳෝනාවල අඩුවක් නම් නැත. මේ හැමෝටම කතාවක් ඇත. ඒ ඇසෙන කතා සොඳුරු නැත. ඒවා කඳුළු කතාය.
පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ අධික වර්ෂාපතනයත් සමඟ රට පුරා ගංගා, ඇළ දොළ, වැව් පොකුණු නොසිතූ අන්දමින් වාන් දමන්නට පටන් ගත්තේ කාට කාටත් බියක් ඇති කරමිනි. නොවැම්බර් 29 වන විට රට පුරා ක්‍රම ක්‍රමයෙන් ගංවතුර තත්ත්වයක් ඇති වී තිබුණේ නොසිතූ ලෙසය. අනුරාධපුර – පුත්තලම මාර්ගයේ ධාවනය කරමින් තිබූ බස් රථයක් කලාඔය පාලම අසලදී මාර්ගයෙන් ඉවතට ගසාගෙන ගියේ එක් විදේශීය කාන්තාවක් ඇතුළු මගීන් 60 දෙනෙක් සමඟය. ක්‍රමයෙන් බස් රථය ජලයෙන් යට වන්නට වූයේ මගීන්ගේ ජීවිත අවදානමට දමමිනි. මෙම අනතුරින් දිවි ගලවා ගත් මගියෙක් පවසා සිටියේ” බස් රථය යනකොට වතුර ගලලත් තිබ්බා. එපා කියද්දි බස් රථය දැම්මා. බස් එක ඉස්සරහට පස්සට ගන්න බැරි වුණා. බස් එක ඇතුළට වතුර ආවා. අපිව බේරගන්න නේවි එකෙන් තුන්දෙනෙක් ආවත් අපහසු වුණා. අපි බස් එක උඩට නැග්ගා. ඊට පස්සේ නිෙවසක වහලයකට නැග්ගා. ඒ වහලේ ඇස්බැස්ටෝස් ෂීට්වලින් හදලා තිබ්බේ. අපි බලාගෙන ඉද්දී අනිත් වහලවල් ගසාගෙන ගියා.”රාත්‍රියක් පුරා ඇස්බැස්ටෝස් වහලයක් මතට වී දිවි රැකගත් ඔවුන් නිරුපද්‍රිතව බේරුණේ ආරක්ෂක අංශවලට පින්සිදු වන්නටය.
මේ අතරේ කුණාටු රාත්‍රියේ පොල් ගසක් මතට වී දිවි ගලවා ගත් පුද්ගලයකු ගැන සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහකට ලක් විය. වැස්සත් සමඟ සිය ගව පට්ටිය බේරා ගැනීමට පැමිණි මේ වීරියවන්ත මිනිසා ජලපහර වැඩි වීමත් සමඟ පොල් ගසකට නැඟ තිබුණේ තමන්ගේ ජීවිතය බේරා ගැනීමටයි. ඔහු පවසා සිටියේ බේරා ගැනීමට බෝට්ටු ආවත් වතුර පාර සැර වැඩි නිසා බෝට්ටු ආපසු ගිය බවයි. ” රෑ වෙද්දි හොඳටම වහිනවා ඉන්නම බෑ. කන්න දේකුත් නෑ තැඹිලි කඩාගෙන බිව්වා. සීතලට දත් ටික ගැහෙන නිසා කුරුම්බා ඇට්ටි හප හපා හිටියා. හිත හදන් හිටියේ උදේවත් ආවේ නැත්නම් වතුරට පනිනවා කියලා. එහෙම ඉද්දි තමයි චොපර් එකක් ඇවිත් බෙල්ට් දාලා මාව බේරගත්තේ.” කට කට ගා වෙව්ලන කුණාටු රාත්‍රියක පොල් ගසකට වී ජීවිතය බේරා ගන්නට තරම් ඔහුට තිබූ ශක්තිය සිතාගැනීමටවත් නොහැකිය.
ගෙදර බුදුන් අම්මා
ලේ කිරිකර දුන් අම්මා අප වෙනුවෙන් ජීවිතය දීමට වුවත් දෙවරක් සිතන්නේ නැත. බදුල්ල පස්සර අටේ කණුව ප්‍රදේශයේ නමුණුකුල කන්ද නාය යාමත් සමඟ එම ප්‍රදේශයේ වාසය කළ පුද්ගලයන්ගේ නිවාස සියල්ල විනාශ වී ගියේ බලාගෙන හිඳිද්දීය. දේපළ පසෙක තබා සිය දරුවන් තිදෙනා බේරා ගැනීමට රුදුරු ජල කඳ සමඟ පොර බැදීමට ශිරානි මල්කාන්ති දෙවරක් සිතුවේ නැත. “ගෙට වතුර එනකොට මම බබාලා තුන්දෙනාවත් අරන් , පොඩි පුතා අක්කලාගේ ගෙදරට දෙනකොටම විශාල ගලක් පහතට වැටුණා. ඒත් එක්කම හුම්මානයෙන් උඩට එනවා වගේ විශාල වතුර කඳක් උඩට විසි වුණා. පස් කන්ද කඩාගෙන එනකොට මගේ දරුවෝ දෙන්නා ගහගෙන යනවා මම දැක්කා. මම වතුරට පැනලා මගේ දරුවො දෙන්නව කොහොමහරි උඩට අරගෙන ආවා. මට මොන දේ නැති වුණාත් දරුවන් තුන්දෙනා ඉන්නවා කියන සතුට තියෙනවා. සියල්ල අහිමිව තිබියදීත් දරුවන් දෙදෙනා බේරා ගැනීම නිසා ඇය පසුවන්නේ මහත් සැනසීමකිනි.
තාත්තගේ ආදරේ නිහඬයි ගැඹුරුයි
පිය සෙනෙහසේ නාමයෙන් පස් අතර සැඟවුණු දියණිය සොයන පියකුගේ වේදනාත්මක කතාවක් මහනුවර, රජතලාව ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි. නාය යාමෙන් නෙල්සන් රත්නායකගේ බිරියත්, එකම දියණියත් පස් යට මිහිදන්ව ගියේ නෙල්සන්ගේ ආත්මයම කඩා වට්ටමින්ය. කම්කරු රැකියාව සඳහා ඔහු නිෙවසින් පිටව ගියේ පවුල යන්තමින් හෝ සතුටින් තැබීමටය. ඛේදවාචකයේ ආරංචියට උන් හිටි තැන් අමතක වූ නෙල්සන් නිෙවසට පැමිණෙන විටත් නිෙවසක් තබා නිෙවසක් තිබූ ස්ථානයක් හෝ සොයා ගැනීමට නොහැකි විය.”මගේ වයිෆ්, දරුවා මෙහෙම මිහිදන් කරන්න බෑ. ඒගොල්ලෝ ඉන්න ඕනි. මේවා අයින් කරන්න අමාරුයි. එයාලව කොහොම හරි සොයා දෙන්න.” නෙල්සන් තවමත් සුන්බුන් අතරේ වැළලී ගිය සිය පවුල සොයන්නේ අන්තිම වතාවට හෝ ඔවුන්ගේ ආදරණීය මුහුණු දැකගන්නටය.
ගම්මාන නාය යාම්
සෑමදේම පොළොවටම සමතලා කරමින් කළ හදිය සුළුපටු නැත. පසුගියදා කන්දේ බණ්ඩාර දෙවි වැඩසිටි යහන්ගල පාමුල පිහිටි නෙළුම්මල ගම්මානයටම පාංශුකූලය දෙන්නට සිදු වූයේ ඛේදනීය ලෙසය. එදා දෙවියන් වැඩ සිටි යහන්ගල අද අමු සොහොනකි. දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ අධික වර්ෂාපතනය නිසාවෙන් විසිහත් වැනිදා පාන්දර පහයි දහයට පමණ කුපිත වූ ජල කඳ යහන්ගල කන්ද පාමුල සිට කිලෝමීටර් පහක් හයක් දක්වා දුරකට නාය ගියේ නෙළුම්මල ගමේ පවුල් පහළොවක පුද්ගලයන් තිස්පස් දෙනෙක් අමු අමුවේ පස් යට සඟවා ගනිමිනි. උපන් ගමට වූ ඛේදවාචකය ආරංචි වූ සැනින් ආරියඥාන ස්වාමින් වහන්සේ සමඟ පැමිණි ගම්වාසීන් ඔවුන් බේරා ගැනීමට තැත් කළත් ඒ වන විටත් බොහෝ පිරිසක් මෙලොව අතැර ගොස් තිබුණි. අවසානයේ ඔවුන්ගේ හිත මිතුරන්ට සිදු වූයේ සමුදීමක් හෝ නොතියා නික්ම ගිය ඥාතීන්ගේ නිසල සිරුරු දෙස බලා සුසුම් ලන්නටය. හාස්කම නම් මුළු ගමක් පස් යට මිහිදන් වෙද්දී ගම්මානයේ මැදකට වන්නට පිහිටා තිබූ කුඩා නිෙවසක තණකොළ ගහකට හෝ හානියක් නොවීමය. “මමයි දුවයි විතරයි ගෙදර හිටියේ. උදේ පහයි දහයට වගේ මේක වුණේ. ඊට පහුවදා උදේ අපිව හාමුදුරුවො ගමේ අයයි ඇවිත් බේරගෙන ගෙනිච්චා.”ඒ නිෙවසේ පදිංචිකාරිනිය මෙලෙස අදහස් දක්වා තිබුණි. මේ විපතින් කම්පා වූ අරියඥාන ස්වාමින් වහන්සේ පවසා සිටියේ “නෙළුම්මල ගම නකල්ස් කඳු පාමුල තිබෙන සුන්දර ගම්මානයක්. ගම්මු විශ්වාස කළා ගම්භාර දෙවිවරු යහන් ගලේ අරක්ගෙන ඉන්නවා කියලා. පුද පූජා පවා තිබ්බා. ගම රැක්ක දෙවිවරු කොහේ වැඩියාද කියලා හිතා ගන්න බෑ.”යහන්ගලේ දෙවියන්ට හෝ වළක්වා ගනු නොහැකි වූ සොබාදමේ නෙළුම්මල ගම්මානයේ කඳුළු කතාව කාගේත් හදවත මොහොතකට නතර කරයි.
මියගිය සිිහින
දිට්වා සමඟ ජීවිත බේරුණත් ඔවුන්ගේ සිහින වළපල්ලටම වැටී අවසන්ය. ඔවුන්ගේ නිවාස සුන්නද් දූලි වී අවසන්ය. දාඩිය මහන්සියෙන් උපයා සපයා ගත් යාන වාහන ගංවතුරට ගසාගෙන ගියේ, පස්කඳුවලට යට වූයේ බලාගෙන ඉඳිද්දීමය. පාසල් යන දරුවන්ගේ
