Thursday, February 5, 2026
Epaper
Home විශේෂාංගඅමතක කරන්න බැහැ අමතක වෙන්න ඕනෑ

අමතක කරන්න බැහැ අමතක වෙන්න ඕනෑ

by Shanaka Lakehouse

ගංගාව, ගං ඉවුර, ගං දෑල අපේ ජීවිතයේ සොඳුරුතම මතක සටහන් එක් කරන තෝතැනි වුවත් ගංවතුර අපේ රටේ මිනිසුන්ගේ ජීවිතවලට පසුගියදා එක් කළේ අඳුරුතම මතක සටහන් පෙළකි. එය අත්වින්දවුන්ට මෙන්ම බලා සිටියවුන්ටද බියජනක, රුදුරු අත්දැකීම් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එවන් කඨෝර අත්දැකීමකින් පසුව ගංවතුරෙන් පීඩාවට පත් අපේම ජනතාවගේ මානසික සුවය නැවත නඟා සිටුවීමද පහසු කාරණයක් නොවේ. ඒ පිළිබඳ ඔබගේ මනසට සුවයක් එක් කිරීමට ප්‍රවීණ දේශක උදයා දේවමුල්ල තරුණී අප සමඟ අදහස් දැක්වූයේ මෙලෙසිනි.

ගංවතුරෙන් පීඩාවට පත් වූවන් ඒ අඳුරු මතකයේ වේදනාව නැති කර ගන්නේ කොහොමද?

එය පහසු කාරණාවක් නොවේ. එය පියවරෙන් පියවර කළ යුතු දෙයක්. අපේ ජීවිතවල අප මුහුණදුන් සුන්දර දේවල් අමතක කරන්න අපි කවුරුවත් කැමැති නැහැ. හැබැයි අපේ ජීවිතවල අප මුහුණ දුන් අසුන්දර, අප්‍රසන්න සහ බියජනක දේවල් අමතක කරන්නට අපි බොහොම ආසයි.

හැබැයි, කවුරු කොහොම කිව්වත් අපිට මේ කිසිදෙයක් පහසුවෙන් අමතක කරන්න නම් බැහැ.

අපේ මේ මනසේ තියෙන සුන්දරතම සහ භයානකම දේ තමයි මේ, ”මතකය”. මතකයේ සුන්දර දේවල් වගේම අසුන්දර දේත් එක රැස්වෙලා තියෙනවා. ඒවායින් අසුන්දර දේවල් අමතක වෙලා, සුන්දර දේවල් පමණක් මතකයේ ඉතිරි වෙනවට අපි කැමැතියි. ඒත්, සමහර වෙලාවට වෙන්නෙම මේකෙ අනික් පැත්ත. ඒ අනුව සුන්දර දේවල් යටපත් කරමින් අසුන්දර දේවල් නිතරම මතකයට එනවා.

ඇත්තටම අපට කිසිම දෙයක් අමතක කරන්න බෑ. ඕනෑම දෙයක් අමතක වෙන්න ඕන.

උදාහරණයක් ලෙස මේ මහා විපතට මුහුණදුන් මේ විපතෙන් තමන්ගෙ ජීවිතේ තිබුණු වටිනාම දේවල් අහිමි වී දැඩි මානසික කාංසාවක පසුවන කෙනකුට ඒ දේවල් අමතක කරන්නැයි අපි කිව්වොත් කුමක් වේවිද? එහිදී අහිමි වීම් අමතක වීම වෙනුවට ඒ අහිමිවීම් නැවත නැවතත්, මතකයට ගලාගෙන එන්න පටන් ගන්නවා. එහිදී අපි තේරුම් ගත යුතු වන්නේ හිතේ තිබෙන අමිහිරි මතක නැවත නැවත සිහිපත් වීම නතර කර ගැනීමෙන් මිස ඒ මතක අමතක කළ නොහැකි බවත්ය.

ඒ සඳහා ඒ සිත්වලට සතුට දැනෙන සිතුවිලි ඇතුළු කළ යුතුයි. එය මිනිත්තුවකින් දෙකකින් සිදු කළ හැක්කක් නොවේ. උපක්‍රමශීලීව, ඉතා සියුම්ව පියවරෙන් පියවර මෙය සිදු කළ යුතුයි.

උදාහරණයක් ලෙස මව අහිමි වූ දරුවකුට මවුගුණ ගී අහන්න ලබුණොත් පවතින කාංසා තත්ත්වය තවදුරටත් වැඩි වීම මිස අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකියි. ඒ නිසා ඒ දරුවාට එවන් තත්ත්වයකදී කැමැති සෙල්ලම් භාණ්ඩයක්, බෝනික්කෙක් තෑගි කළ හැකියි. නැත්නම් සතුට උපදවන මිහිරි ගීතයක් ශ්‍රවණය කරන්නට සැලැස්විය හැකියි. එයින් ඒ දරුවාගේ දුක්ඛිත මතකය තරමක් දුරට ඈත් කළ හැකියි. ඔබ ලබාදෙන ඒ තෑග්ගෙන්, ගායනා කරන මිහිරි ගීතයෙන් දුක්ඛිත සිතුවිලි අඩපණ වී ඒ දරුවාගේ සිතෙහි සතුට රෝපණය වනු නිසැකයි.

එසේ වුවත් එක්වරම සිත සතුටින් පිරී ඉතිරී ගොස් පවතින දුක සහමුලින්ම අමතක වන්නේ නෑ. එය රබර් බෝලයක් දිය යට දැම්මාක් සේ නැවත ඉස්මතු වෙනවා. එයට හේතුව ඒ දරුවාට අහිමි වී තිබෙන්නේ මිහිරි ගීතයකින්, සෙල්ලම් කාරයකින් අමතක කළ හැකි දෙයක් නොවන නිසායි. ඒ නිසා මොහොතකින් නැවතත් දරුවාගේ සිත දුකින් පිරී යනවා. ඒ නිසා අපි නැවත නැවතත් ඒ දුක්ඛිත මතක අමතක වන ආකාරයෙන් සොඳුරු තිළිණවලින් ඒ දරුවාගේ සිත සතුටු කරවිය යුතුයි. මෙය සැලසුම්සහගතව, ක්‍රමානුකූලව සිදු කළ යුත්තක්. දරුවකුගේ වගේම ඕනෑම වයසක පසුවන කාංසාවෙන් පෙළෙන අයෙකුට සිත ප්‍රතිනිර්මාණය කළ යුත්තේ ඒ ආකාරයටයි.

දුකෙන් පිරුණු හිතකට නැවත දුක ඇතුල් වීමට ඇති ඉඩකඩ අහුරනවා වගේම “අමතක කරන්න” කියන වචනය ඔවුන් සමඟ නොකියා ඉන්නටත් කටයුතු කළ යුතුයි. ඇත්තටම තැළුණු පෑරුණු, රිදුණු, වැටුණු හිත්වලට උපදෙස්වලින් පලක් නැහැ. අවවාදවලින් වැඩක් නැහැ. අවවාද, උපදෙස්වලින් සිදු වන්නේ පරණ මතකය අලුත් කිරීම පමණයි. එතුළින් පරණ අමිහිරි මතකය අලුත් වනවා මිස හිත හැදෙන්නේ නෑ,

මෙහිදී ජනමාධ්‍ය සතු කාර්යභාරය ගැනත් සඳහන් කරමු…

පශ්චාත් ආපදා තත්ත්වයකදී එම ආපදාව, වේදනාව නැවත ප්‍රතිවාදනය කිරීම නොකළ යුතුයි. ඒක flash back තත්ත්වයක්. හිත අතීතයට නැවත ගෙනයාමක්. හරියට කළුවර නිසා නොපෙනෙන තමන් අකමැති දෙයක් ටෝච් එළියකින් නැවත පෙනෙන්නට සලස්වනවා වැනි හැඟීමක්. යටපත් කළ යමක් හාරා නැවත පෙන්වීමක් වැනි දෙයක්.

එහෙත් ඒ ඛේදවාචකය නැවත හිත තුළ පෝෂණය නොකිරීම වගේම ඒ ආපදාව හිතෙන් ඈත් කිරීමට ක්‍රියාකාරකම් නිර්මාණය කිරීම අනිවාර්යෙන්ම සිදු විය යුතුයි. ඒ සඳහා ප්‍රමුඛ කාර්යයභාරයක් පැවරෙන්නේ ජනමාධ්‍යයටයි. පශ්චාත් ආපදා සමයේදී ආපදාවේ අමිහිරි මතකය නැවත සිහිපත් නොකරමින් ආපදාවට ලක් වූවන්ගේ සිත් නිවීමට ජනමාධ්‍ය කටයුතු කළ යුතුයි.

ආපදාවත් සමග විද්යුත්, මුද්‍රිත ඇතුළු සියලුම මාධ්‍යයන් විසින්, ආපදාවේ තරම ඊට මුහුණ නොදුන් අය වෙත පෙන්වීමට සහ දැනුම්වත් කිරීමට කටයුතු කළා. රටක් – ලෝකයක් මේ ආපදාවට පත්වූවන් වෙනුවෙන් කැපවෙන්නට සහ, ඒ විනාශයන් සමනය කරන්නට ඉදිරිපත් වුණේ, මැදිහත් වුණේ ඒ දැනුම්වත් කිරීම් නිසායි. නමුත්, දැන් රට තිබෙන්නේ ප්‍රතිසාධන මට්ටමේ. දැන් විය යුත්තේ ඒ අමිහිරි මතකය නැවත මතක් කිරීම වෙනුවට, ඒ අමිහිරි මතකයන්ගෙන් ක්‍රමානුකූලව විපතට පත්වුණු ඒ හිත් සහනයට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වීමයි. එයද පෙර කළ කැපවීමට නොදෙවෙනි මැදිහත්වීමකින් කිරීම සියලු ජනමාධ්‍යයන් සහ සියලු රටවැසියන්ගේ වගකීම් සහගත කාර්යයක් වනු ඇත.

ඒ සඳහා අප කණ්ඩායම් ලෙස මෙන්ම තනි තනිව හෝ ආපදාවන්ට ලක් වූවන්ගේ සිත් සැනසීම වෙනුවෙන් කටයුතු කළ යුතුයි. ඔවුන්ට ද්‍රව්‍යාධාර මෙන්ම මානසික ප්‍රථමාධාර ද මේ මොහොතේ නිසැවකම අවශ්‍ය වෙයි.

මේ සඳහා ඔබ මනෝ වෛද්‍යවරයකු, මනෝ චිකිත්සකවරයකු හෝ මනෝ උපදේශකවරයකු වීමට අවශ්‍ය නොවේ. ඔවුන්ට ඇහුම්කන් දීම, ඔවුන්ගෙන් ඒ සිදුවීම් ගැන ප්‍රශ්න නොඇසීම, ඒ අමිහිරි සිදුවීම් පුනරුච්චාරණයට ඉඩ ප්‍රස්ථා නොසැලසීම, අමිහිරි මතක අමතක කිරීම වෙනුවෙන් ඔවුන් හා නිතරම කතාබස් කිරීම, එයින් ඔවුන්ගේ ජීවිතයට නව බලාපොරොත්තු ඇතිවන ආකාරයෙන් හැසිරීම මෙන්ම දුක, කාංසාව, භීතිය ඇතිවන ආකාරයේ කිසිවක් ඔවුන් සමඟ කතාබස් නොකිරීමට අප වග බලා ගතයුතුය. අපි ඔවුන් වෙනුවෙන් දුක් වනවා නොව, ඔවුන්ව තේරුම්ගෙන ඔවුන් සමඟ සිටින බව අප පෙන්වා දිය යුතුය. නිසැකවම අපි ඔවුන්ගේ සමීපතම ආදරණීයයන් විය යුතුය.

TEXT – පසිඳු මිහිරාන් රැටියල

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?