Thursday, February 5, 2026
Epaper
Home විශේෂාංගවීරයන් මිය යන්නේ නැත

වීරයන් මිය යන්නේ නැත

by Shanaka Lakehouse

වීරයන් කිසි දිනක මිය යන්නේ නැත. ඔවුන් මිය ගියද ඔවුහු අප හදවත්හි සදා ජීවත් වෙති. ඔවුන් ගැන නිතර කතාබහ කෙරෙයි. එවන් වීරයින්ට උදාහරණ බොහෝමයකි. අපේ රටේ පිනට පහළ වූ වීරයින්ගේ ලැයිස්තුව ද දිනකින් කියවා නොහැකි තරම් දිගු වනවාට සැකයක් නැත. වීරයෙක් ලෙස අප හදවත්හි නිදන්ගත වූ මෑත කාලීන වීරවරයා අන් කවරෙකු හෝ නොවේ.

පසුගියදා මහා ගංවතුරෙන් විපතට පත් අපේම රටේ මිනිසුන් රැසක් උපද්‍රවයකින් තොරව බේරා ගත් ඔහු සිය පණ නල පිදුවේ මිනිස් ජීවිතය රැසක පණ නළ රකිමිනි. වීරයින්ගේ හැටි එහෙමය. ඔවුන් පණ නළ පුදන්නේ අනුන් වෙනුවෙනි. ඒ වීරත්වය ඔවුන්ට එන්නේ හදවතින්මය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් නිර් මාල් අසංක සියඹලාපිටිය ඒ අයුරින් පසුගියදා දිවි පිදුවේ ගංවතුරින් මිනිසුන් රැසකගේ පණ නළ බේරා ගත් මෙහෙයුම අතරතුරදීය.

ඔහු ඉතා කැපවීමෙන් රාජකාරිය කළ දක්ෂ නිලධාරියෙක් බව ඔහුගේ බිරිඳ මාධ්‍ය හමුවේ පවසා තිබුණි. රාජකාරිය වෙනුවෙන් සිය පණ නළද පූජා කළ ඔහු මෙලොවින් සමු ගත්තේ පුංචි පුතු සහ බිරිඳ ද මෙලොව තනි කරමිනි. එහෙත් අද ඔහු රටේම වීරයෙකි. අපේ තාත්තා වීරයෙක් යැයි කියන්නට ඕනෑම පුතෙක් බෙහෙවින්ම කැමැතිය.

ඉඳින් නිර්මාල් සියඹලාපිටියගේ පුතුට තමන්ගේ තාත්තා වීරයෙක් යැයි ආඩම්බරයෙන් ලොවට කිව හැකිය. ඒ බව මුළු ලොවක්ම පිළිගන්නවාට සැකයක් නැත.

නිර්මාල් පැදවූ හෙළිකොප්රටය එදා ඔහුට මහා මාර්ගයට පතිත කරන්නට පවා ඉඩක් තිබුණි. එහෙත් එදා ඔහු ඒ මාර්ගයේ උන් සාමාන්‍ය වැසියන්ගේ ජීවිතය ගැන දෙවරක් සිතන්නට ඇත. එනිසාම ඔහු හෙළිකොප්ටරය රැගෙන අසළ ඔයකට පතිත කළේ විරුවෙකු සතු වීරත්වය මොනවට ප්‍රදර්ශනය කරමිනි.

ඉඳින් ඔහු වීරයෙකි. ලෝකය සදාතනික නොවූවත් වීරයන් ලොව තුළ සදාතනිකය. ඒ නිසා නිර්මාල් සියඹලාපිටිය මියැදුණ ද ඔහු අප හදවත්හි සදා නොමියෙනු ඇත. සඳුන් ගසින් කැපී අප්‍රාණික වන සඳුන් දැවයෙන් අසීමිතව සුවඳ හමන්නාක් සේ ඒ සුවඳ සදා නොමැකෙන බව සැකයක් නැතිවම කිව හැකිය.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?