Thursday, February 5, 2026
Epaper
Home විශේෂාංගවැටුණු තැනින් නැඟිටිමු !

වැටුණු තැනින් නැඟිටිමු !

by Shanaka Lakehouse

ව්‍යසනයක බලපෑම කියන්නේ ඕනම රටක්, ඕනම නගරයක්, ඕනම ගමක්, ඕනම ප්‍රජාවක් වෙනස් කරන්න පුළුවන් දෙයක්. ගංවතුර, නායයෑම්, කුණාටු මේ ඕනම ව්‍යවසනකාරී තත්ත්වයකට අපි ආදරය කරන ස්ථාන වගේම අපේ චර්යාවන් සම්පූර්ණයෙන් කනපිට හරවන්න පුළුවන්.

පහුගිය නොවැම්බරයේ අග භාගයේ ලංකාව හරහා හමා ගිය ‘දිට්වා’ සුළි සුළඟ සම්පූර්ණ රටක්, එවැනි ව්‍යවසනකාරී තත්ත්වයකට ඇද දමන්නට සමත් වුණා. ඒ නිසාවෙන් පවුල් 509,680කින් පුද්ගලයන් 1,814,534ක් පමණ දිස්ත්‍රික්ක 25 පුරාම පීඩාවට පත්ව ඇති අතර මරණ සංඛ්‍යාව තියුණු විදිහට ඉහළ ගිහින් තියෙනවා. එක් අවස්ථාවකදී, DMC විසින් මරණ දහකට ආසන්න බව තහවුරු කළ අතර, 345 දෙනෙකු පමණ තවමත් අතුරුදන් වී තිබෙනවා. දස දහස් ගණනක් අවතැන් වෙලා ඉන්නවා.

දිට්වා ගොඩනැඟිලි සහ ගොඩනැඟිය හැකි දේවල්වලට අමතරව මිනිසුන්ට කිසිදා ප්‍රතිස්ථාපනය කළ නොහැකි දේවල් අහිමි කළේ ඒ ආකාරයට. හැබැයි මේ කියන්න යන්නේ එතරම් ව්‍යසනකාරී තත්ත්වයක වුණත් ඔයාට පොඩි හරි ආරම්භයක් තියෙන බව. ව්‍යසනයක් අපට දුර්වල දේවල් දෙනවා වගේම අනාරක්ෂිත දේ සහ අප නැවත ආරම්භ කළ යුතු ස්ථානය පෙන්වනවා. යථා තත්ත්වයට පත්වීම කියන්නේ ගොඩනැඟිලි අලුත්වැඩියා කිරීම පමණක් නෙමෙයි. සිදු වූ දේ තේරුම් ගැනීම, අපට දැනෙන වේදනාව පිළිගැනීම සහ ඉදිරියට යාමට ශක්තිය සොයා ගැනීමත් යථා තත්ත්වයට පත් වීමේ කොටසක්. අපේ හිත් ඇතුළෙ දුක සහ බලාපොරොත්තුව යන දෙකම තියෙන මේ වගේ මොහොතක, අපට නැවත නැඟිටින්නත් මේ කොටස් දෙකම අවශ්‍ය බව ‘ව්‍යසනය’ අපිට පෙන්නලා දෙනවා.

මවුපියන්ට දරුවො, දරුවන්ට මවුපියෝ, තමන්ගේ සම්පූර්ණ පවුලම, දුක් වෙන්නවත් කිසිවෙක් ඉතුරු නොකර පවුලෙ සියලු දෙනාම මරණයට පත් කළ, ඔවුන්ව සාක්ෂියක්වත් ඉතුරු නොකොට රැගෙන ගිය නාය යාම් සහ ගංවතුර තර්ජන අබියස ලාංකික මනුෂ්‍යත්වය නැඟිටින විදිහ අපිට මේ වෙනකොට පේන්න, ඇහෙන්න තියෙන දෙයක්. දැන් මනුෂ්‍යත්වය වගේම මිනිසෙක් විදිහට නැවත ශක්තිමත් ව නැඟිටින්න කාලය ඇවිත්.

සිදු වූ ව්‍යසනයෙන් පීඩනයට හසු වූ ඔබ සුවය ලැබීමේ පළමු කොටස සිතිවිලි ශක්තිමත් කර ගැනීමයි. බොහෝ දෙනෙකුට ඉක්මනින් නැවත ගොඩනැඟීමට අවශ්‍යයි වගේම ඒ තුළින් ජීවිතේ යථා තත්ත්වයට ගෙන එන්න පුළුවන්. නමුත් පළමුවෙන්ම අපි නතර වී අප මුහුණ දුන් දේ තේරුම් ගත යුතුයි. අපට අහිමි වූ දේ ගැන කතා කළ යුතුයි. අපේ බිය බෙදා ගැනීමට සහ එකිනෙකාට සහයෝගය දැක්වීමට කාලය සහ අවකාශය වෙන් කළ යුතුයි. සෑහෙන පිරිසක් අතරින් මම දිවි ගලවා ගත්ත විදිහ, ජීවිතේ රැකගත්ත විදිහ කතා කරනවනම්, ඒකට සවන් දෙනවනම් අපි නොහිතන විදිහට අපිව ශක්තිමත් වෙනවා. ඇත්තටම ගොඩනැඟිලි හෝ, මාර්ග ගොඩනැඟීම වඩා මනස සහ හදවත සුව කිරීම වැදගත්. ඒ කියන්නේ චිත්තවේගීය ප්‍රකෘතියකින් තොරව, ශක්තිමත්ම ගොඩනැඟිල්ලක් තුළ සිටියත් මිනිසුන්ට නැවත සැබවින්ම ආරක්ෂිත හැඟීමක් ඇති කළ නොහැකියි. ඒ නිසා අපි වටේ ඉන්න, අපි එක්ක ඉන්න හැමෝටම සවන් දෙමු. ඒ වගේම අපේ කතන්දර බෙදා ගමු.

ඕනෑම වැටීමකින් ශක්තිමත්ව නැඟීටීම ආරම්භ වන්නේ සිදු වූ දේ සහසුද්දෙන්ම පිළිගැනීම තුළින්. විවිධ හේතු නිසා අපි වැටෙනවා. හිත් බිඳෙනවා. වේදනාවෙන් පීඩිත වෙනවා. මේ හැමදේම මනුෂ්‍ය ස්වභාවයක්. වේදනාව වළක්වා ගන්න එක එක දේවල් කරනවට වඩා එය පිළිගැනීම අපිව සුවපත් කරනවා. මේ ධනාත්මක චින්තකයන් බහුතරයක් ප්‍රකාශ කරන, ලෝකයක් විශ්වාස කරන කරුණක්. සෑම පසුබෑමකින්ම කුඩා හෝ පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. එම පාඩම් භාවිත කිරීමෙන් කුඩා පියවර, කුඩා පුරුදු සහ වඩා හොඳ සීමාවන් හරහා අපිට සෙමින් වුණත් නැවත ගොඩනැඟෙන්නට සැබෑ ශක්තියක් නිර්මාණය වෙනවා. ඒ වගේම ඕනෑම පසුබෑමකදි අපි නිවැරදි පුද්ගලයින් සමඟ ඉන්න හුරු විය යුතුයි. අපේ කතාව පිළිගන්න, අපේ ප්‍රගතිය එක්ක ගොඩනැඟෙන්න ශක්තියක් වෙන මිනිස්සු ඒ අතර සිටිය යුතුයි.

අදටත් ලෝකේ වේදනාවෙන් ගොඩනැඟුණු අතිශය සුන්දර මිනිස්සු, නගර, රාජ්‍යයන් ති‍ෙයනවා. බොහෝ දුරට මිනිස්සු ගොඩනැඟෙන්නෙම වේදනාව මතින්. හොඳම උදාහරණය ජපානය. ව්‍යසනයක ගිලිච්ච හැබැයි අද වෙන කොට ලෝකයේ ප්‍රබලතම තත්ත්වයකට එන්න නැඟී සිටි රටක්. අධිෂ්ඨානය, නවෝත්පාදනය සහ දිගුකාලීන සැලසුම්කරණය සමඟ ඕනම කෙනෙක්, තැනක් නැවත ගොඩනැඟිය හැකි බවට තියෙන ප්‍රබලම උදාහරණයක්. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ, ජපානයේ නගර නටබුන් වුණා. නාගරික ප්‍රදේශවලින් 60% කට වඩා විනාශ වුණා. කාර්මික නිෂ්පාදනය යුද්ධයට පෙර තිබුණු මට්ටමෙන් 10% ට වඩා පහත වැටුණා, මිලියන ගණනක් අවතැන් වුණා. හැබැයි දශක කිහිපයක් ඇතුළත, ජපානය ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය බවට පරිවර්තනය වුණා. වේගවත් කාර්මිකකරණය, තාක්‍ෂණ සංවර්ධනය සහ අධ්‍යාපනය සහ යටිතල පහසුකම් සඳහා උපායමාර්ගික ආයෝජන ජපානය මේ තත්ත්වය දක්වා මෙහෙයවනු ලැබුවා. ප්‍රවාහන පද්ධති නැවත ගොඩනඟා, 1964 අධිවේගී දුම්රිය පවා හඳුන්වා දුන්න ජපානය, මෝටර් රථ සහ ඉලෙක්ට්‍රොනික කර්මාන්තවල ගෝලීය ප්‍රමුඛයෙකු බවට පත්වුණා. ජපානයේ මේ කතාව, රටකට සම්පූර්ණයෙන්ම විනාශය ජය ගත හැකි බවත්, ඔරොත්තු දීමේ හැකියාව, නවෝත්පාදනය සහ එකමුතුකම තුළින් ශක්තිමත්ව නැඟී සිටිය හැකි බවත් ස්ථිර කරන ප්‍රබල සාක්ෂියක්. ජපානේ හිටියෙත් අපි වගේම මිනිස්සු ටිකක්. ඔවුන් හිටියෙත් අතිශය වේදනාකාරී කාලයක් පසු කරමින්. නමුත් ඔවුන් සියල්ලගේ එකතු වීම කාලය මතින් වේදනාව ඵල දරන බව ලෝකෙට ඔප්පු කළා.

මේ වෙලාවේ අපේ ලංකාවත් එහෙම නැඟිටින ගමන් තියෙන රටක්. රටක් විදිහට නැඟිිටින්න අපිට පුළුවන් කියන එක දිනෙන් දින ඔප්පු වෙන රටක්. ඒ කියන්නේ අපිට තනි තනිවම ගොඩනැඟෙන්නත් පුළුවන් කියන එක. කාලෙට ඉඩ දෙන්න. ඔයා ඇතුළෙ ඇවිළෙන ගින්න ඇවිළිලා නිමිලා යන්න ඉඩ දෙන්න. හැමදේම ඇති වෙනවා වගෙම නැතිවෙනවා. ආයෙමත් අරමුණක් ඇති කරගන්න. ගහක් කැපුවොත් ආයෙමත් දලුලනවා. ඔයාට පුළුවන් ! වැටුණු තැන මතක තියා‍ෙගන නැගිටින්න. හැමෝම ඉන්නවා ඔයා වටේට. ජීවිතේ අර්ථය තේරුම් ගන්න. දැන් වැඩ කරන්න පටන් ගන්න. ඔයාව මානසිකව ශක්තිමත් වෙනකම් අත් නොහැර අල්ලගෙන ඉන්න. මතක තියාගන්න හැම කළු වලාකුළකම රිදී රේඛාවක් තියෙන බව ! ඉතින් අපිට ජය !

TEXT – රුවංගා දිසානායක – කැලණිය විශ්වවිද්‍යාලය

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?