මාත්, තාත්තාත්, අම්මත්, නංගීත් ඇලහැර ඉඳලා මින්නේරි ඔය මිටියාවතේ රෙසිවේසමේ පදිංචියට එන්නෙ 1978 මැද කාලයේ. එතකොට නංගි කිරි බොනවා. නොවැම්බර් මාසයේ දිනක අම්මා ආපහු ඇලහැර යනවා කිරි බොන නංගිවත් අරන්. ඒ කලින් හිටිය සෝමියල් ගමේ අස්වනු කරලා තිබ්බ සෝයා ගෝණි දෙක තුන විකුණ ගන්න. ණය බේරලා සොච්චමක් අරන් එන්න.
අපි පදිංචියට ආව තැන කිලෝමීටර් තුනකින් මෙහාට ගෙයක් නෑ. අපි අලුත් පැත්තකට ආව ගමන් නිසා රණවක මාමලා ඇර අඳුනන කිසිවෙක් නෑ.
එදා හවස් වෙනකොට ගෙම්බො, හූනො, පත්තෑයො, කැරපොත්තො ගේ පුරා දුවන්න ගත්තෙ හරිම අසාමාන්‍ය හැසිරීමක් පෙන්නමින්. රේඩියෝ එකේ කිවුවා හුළඟක් එනවා කියලා. ඒ කාලෙ සන්නිවේදන මඟ වෑර්ලස් එක විතරමයි. හය විතර වෙනකොට වැටෙන්න ගත්ත මහ වැස්ස හත හතහමාර වෙනකොට දැවැන්ත වැසි අනෝරාවක් බවට පත් කළේ භයංකාර හුළඟක් වෙල් යායට එකතු කරමින්. අට අටහමාර විතර වෙනකොට වරිච්ව් ගෙදර පොල් අතු වහලෙ භාගයක්ම හුළඟ අරන් ගියා. තාත්තා ගෙදර තිබ්බ මේසෙ යට මාව හැංගුවෙ ආරක්ෂාවට.
අට විතර වෙනකොට ඉස්‍තෝප්පුවෙ පොල් අතු පලේ ගැලවිලා ඇවිත් දොර වහ ගත්තා. ටික වෙලාවක් යද්දි වහලය සම්පූර්ණයෙන්ම ගැලවිලා ගියා. මතකයේ ඡායා මේ අවදි කරන්නෙ පසුකාලීනව තාත්තා වරින් වර අලුත් කළ ඒ අත්දැකීමේ අලුත් වුණ හැඩතල එක්ක.
තවදුරටත් විකල්ප තිබ්බෙ නෑ.” පුතේ අපි රණවක මාමලගේ ගෙදර යමු. ඔයා මගේ බෙල්ලෙ එල්ලිලාම ඉන්න. මම වැටුණත් ඔයා මාව අත් අරින්න එපා. මම ඔයාව අත අරින්නෙ නෑ කිසිම හේතුවකට.”
මාව පිටේ එල්ලා ගත් තාත්තා දොරට හේත්තු වී තිබූ ඉස්තෝප්පුවේ පොල් අතු පියස්සෙන් රිංගා හිමින් එළිියට එන පළමු නිමේශයේදීම රෝල් වී ගොස් බිම වැටුණා. එතකොට දරා ගන්න බැරි හුළඟ. හිතාගන්නකො වෙල් යායක කෙරවළකට කුණාටුවක බලපෑම.
වත්තෙ මෙහා කෙරවලේ ඉඳන් කරත්ත පාරට ගොඩ වෙන මීටර් දෙසීය වගේ දුර යන්න තියෙන්නෙ බන්ට් එක දිගේ. වෙල් යාය මැද දැවැන්ත මාරුතයක බන්ට් එක උඩ ගමනක් කියන්නෙ මිනි වල අතින් කපා ගැනීමක්. එතකොට හුළග අනිවාර්යයෙන්ම පැයට කිලෝමීටර් 60-70 විතර. හුළඟ ආවරණය වන පැත්තෙන් බන්ට් එක යටින් දැන් අපි යන්නෙ. කර වටක් වතුරෙ. වැලි ඇල ගිල්ම දීලා පැය දෙක තුනට. තැන් කීපයකදිම තාත්තා වතුර යට නොපෙනී ගියත් මාවත් අරන් උඩ ආවෙ මරණය වමතින් දකුණතට මාරු කරමින්. එතනින් එහාට නිරාවරණ වූ වෙල් යාය මැදින් තාත්තා මාව එල්ලාගෙන බඩගාමින් වැටෙමින් කකුල්වල ලේ ගලමින්, මුවාවෙමින් මේ යන්නේ මරණය අතරින් ජීවිතය හොයාගෙනය.
කිලෝමීටර් දෙකහමාරක පමණ දුර යන්නට ගත කළ කාලය පැය තුනක් හෝ හතරක් වන්නට පුළුවන. ඒ යන අතරමඟ තාත්තා බිම වැටුණ වාර අනන්තය. එහෙත් ඔහු හෝ මා නොඇඬුුවෙමු. “පුතේ මම ඔයාව අරන් යනවා” යැයි ඔහු කීවේය.
මහ රෑ රණවක මාමලාගේ ගෙදර දොර විවර වුණේය. එදා රෑ එළි වෙනවිට රටම මළගමක් වී තිබුණි.
පහුවදා තාත්තා පයින්ම අම්මා සොයා ගියේය. දවස් කීපයකට පසු අපි ගෙදර එනවිට එතන තිබ්බේ මැටි ගොඩක්ය. සුන්බුන් අතරින් මාගේ ආසම සෙල්ලම්බඩුව වූ රෝස පාට මවුත්ඕගන් එක බැබළෙමින් තිබුණේය. ඔයේ වතුරෙන් තාත්තා එය හෝදා දුන්නේය. මවුත් ඕගන් එකේ නාදයට තාත්තාගේ ඇස් දිලිසුනේය. එහෙත් උයන්නට වළඳක් හෝ අඳින්නට ඇඳුමක් ඉතුරු වී නොතිබුණේය. අපි ඉල්ලන් කෑවා නොව සිඟමනේ යෙදුණා මෙන් වුණේය.
එය 1978 වසරේ මඩකලපුව හරහා රටට ඇතුළු වූ දැවැන්තම සුළි සුළඟය. ඇතැම් තැනක වේගය පැයට සැතපුම් 140 ක් බව කියවුණේය. ජීවිත දහසකට ආසන්න ගනණක් බිලි වුණේය.
පස් ගොඩක් වූ සුන්බුන්වලින් පොඩ්ඩක් එපිටින් අපි ආයෙත් මැටි ගෙයක් අටවා ගත්තෙමු. ගංවතුරෙන් කැඩෙන කැඩෙන පාරට තාත්තා ගෙවල් හතරක් හෝ පහක් හැදුවේය. පොත්පත්, ඇඳුම් සියල්ල ජිවිතයේ එක එක කාලවලදී තවත් දෙවතාවක් පමණ වතුරේ ගහගෙන ගියේය.
එදා ඇඳිවත පමණක්ම ඉතුරු වූ මා 1990 ගණන්වල පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කලා අංශයේ දෙවැනියා ලෙස තේරී නීති පීඨයට ගියේය.
දරුවනි, සියල්ල නැති වී ගියද ජීවිතය බේරී තිබේ නම් අනාගතය ඔබට බාරය. ලස්සනම මල් පිපෙන්නෙ කටු පඳුරුවලය.
මිරිකෙන තරමටම ලැබෙන සාරය රසයි මගෙ දුවේ පුතේ.
මේ මොහොතේ ඔබේ ඉගෙනීම වෙනුවෙන් ජනාධිපති අරමුදලේ සිට මේ රටේ දුප්පත්ම වැඩිහිටියා දක්වා ආධාර කරනවා. මේ වේදනාවෙන් ඔයාලා ගොඩ යන්නම ඕනෙ. ලෝකෙ ඉස්සරහටම ආවෙ පට්ටෙටම කටුකාපු උන්. සොබාදහමට පරදින්න එපා. ලෝකෙට බය වෙන්න එපා.
ලෝකය කඩා වැටුණත් ඉගෙන ගන්න.
ගලාගිය ගං වතුරට සෝදාහරින්න බැරි වුණ තරම් ආත්ම ශක්තියක් ඔබ තුළ ඇති බව හිතට ගන්න. මියගිය තාත්තලා අම්මලා වෙනුවෙන් නැඟිටින්න.
මහා කරුවල මැද ඉටිපන්දම් ආලෝකයක් ඉතුරුව ඇත. සියල්ල ගසාගෙන ගියත් ඔබේ ජීව්තය බේරී ඇත. මියැදුණ ආදරණීයයන් වෙනුවෙන් ඔබ කළ යුතු එකම එක යුතුකමක් ඇත.
ඔය ඉන්නා අවදානම් වටාපිටාවෙන් එතෙර වන්න. ඒකට පහුර ඉගෙනීම පමණමයි.
මේක කියනව තරම් ලේසි නෑ. ඒත් කරලා පෙන්නන්න පුළුවන්. මම ඒක හිමින් කළා. දරුවනි අපි සැබෑ මිනිසුන්ගේ කතාව දුම්බර මිටියාවත්වල, ගංගා ඉවුරු මත ලියමු. මම මගේ කතාව හැදුවෙ මින්නේරි ඔයේ මඩ කන ගමන්.
එදා අපි හිටිය තැන මේ සැරේ අඩි තිහක් විතර වතුර අල්ලල මගෙ හිතේ. කට්ටිය මැරිලත් ඇති දෙයියනේ. විස්තරයක් දන්නෙ නෑ. මං උපාධි දෙකම ගත්ත වෙලාවල්වල තාත්තා BMICH එකේ කණු බදාගෙන ඇඬුවා. මං ආසයි මගේ රටේ දරුවොත් ඒ වගේ තාත්තලාව, අම්මලාව, මියගිය ආත්මයන්ව අඬවනවට.
දරුවනි මම ආදර්ශවත් නෑ කවදාවත්. ඒත් කියවාගෙන අහක දාන්න තරම් සුදුසු වැඩිහිටියො අපි.
අපි කුහක ඇති. ඒත් මේ කතා ඇතුළෙ කඳුළු නැත්තෙම නෑ. මං දැන් ඉන්නෙ තායිලන්තෙ. ඒ වළං හෝදන ගමන් නෙමෙයි පුතේ දුවේ.
මින්නේරි ඔයෙන් එතෙර වෙලා මෙහෙට අරන් ආවෙ අධ්‍යාපනය විතරමයි. ගොඩවෙයල්ලා ඔය මඩ ගොඩෙන්. උඹලාට පුළුවන්.
1978 දී මවුත්ඕගන් එක විතරමයි ඉතුරු වුෙණ් හොඳේ. හැබැයි ඒකෙන් ආව වේදනාබර නාදය මාව ඒ මඩ වළෙන් එගොඩ කළා.
ගං වතුර තෝ පරාදයි. නිදහස් අධ්‍යාපනය තාම ඉතුරුයි.
ඉඳහිට වැටෙන කඳුළු ඉතුරුව ඇති ගලක් වැනි හදවතට කුලුගෙඩි පහරවල් එල්ල කරන බව දැනේ. දරුවනි නැගිටපියවු!
ආදරණීය පැටවුනේ අන්න ඉස්කෝල හෝදනවා.
