Thursday, February 5, 2026
Epaper
Home විශේෂාංගනිවේදකයෙක් වෙන්නට මූලික හයිය දුන්නේ අපේ අම්මා

නිවේදකයෙක් වෙන්නට මූලික හයිය දුන්නේ අපේ අම්මා

ප්‍රවීණ නිවේදක චමින්ද ගුණරත්න

by Shanaka Lakehouse

“පොඩි දුවගේ සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙළයි පිය බිරිඳගේ සෙනේ විලයි මගේ නිවන මගේ පැල්පතයි” යන සොඳුරු ගීතය මවකගේ සෙනෙහස, දරුවන්ගේ ආදරය කැටිවුණු පුංචි පවුලක මහිමය මැනවින් කියා පායි.

අද තරුණි අම්මාවරුනේ විශේෂාංගය හරහා කතා කරන පවුලේ සිනා වැල් පිරි දුවෙක් නොවුණත් පියකරු කටහඬක් සහිත පුතෙක් නම් සිටියි. ඔහුගේ කට හඬ නෑසූ කෙනෙක් ඔහුගේ හඬ නොදන්නා කෙනෙක් මෙසිරිලක සිටිය නොහැකි යැයි කිව හැකි තරමටම ඒ කටහඬ අපට හුරුපුරුදුය. ඒ අන් කවුරුත් නොව ජාතික රූපවාහිනියේ ප්‍රවීණ නිවේදක චමින්ද ගුණරත්නය. මෙවර තරුණී අම්මාවරුනේ සමඟ අප සමඟ සාකච්ඡා මණ්ඩපයට ගොඩ වූයේ ඔහුය. මේ ඔහු පවසන ඔහුගේ මෑණියන්ගේ ආදරණීය කතාවයි.

“මගේ අම්මාගේ නම මාලනී වඩුඅංග. මට මල්ලි කෙනෙක් ඉන්නවා. ඉතින් අපේ අම්මා අපිව පණ වගේ රැක්කා. අම්මා අපිට පුදුම ආදරයක් සෙනෙහසක් දැක්වුවා. අම්මා ටිකක් සැරයි. ඒත් අපි හැම තිස්සේම අඩියක් හෝ ඉදිරියට යනු දකින්නට අම්මා නිතරම ආසා කළා. ඒ වෙනුවෙන් ඇය අපව දිරිමත් කළා. ඒත් කවදාවත් කිසිම දෙයකට ඇය අපට බල කළේ නෑ.”

දරුවන්ගේ සතුට පමණක් දකින්නට කැමැති ලොව එකම චරිතය අම්මාය. තාත්තාටත් වඩා නිතරම දරුවන් සමඟ ගැටෙන අම්මාට දරුවන්ගේ හැකියාවන් ඕනෑ එපාකම් ගැන මනා අවබෝධයක් ඇත. ඉදින් චමින්ද ගුණරත්න අද නිවේදකයෙකු ලෙස ලෝකයට කටහඬින් විකුම් පාන්නේ එදා මවගෙන් ලැබූ නියත විවරණ නිසා යැයි චමින්ද ගුණරත්න විසින්ම පවසන්නේ මෙයාකාරයෙනි.

“ඇත්තටම මට නිවේදකයෙක් වෙන්නට මූලික හයිය දුන්නේ අපේ අම්මා. මං ළදරු පාසල් යන කාලේ ඉඳන්ම අම්මා මට කවි කතා කියලා දුන්නු හැටි මට අද වගේ මතකයි. අපේ අම්මා නිතරම වාගේ පොත්පත් කියවනවා. ඒ නිසාම ඇය සතුව විශාල දැනුම් සම්භාරයක් තිබුණා. ඒ කාලේ ගෙදරට පත්තරයක් ගෙනාවොත් මුල සිට අග දක්වා එය කියවීම ඈ සතු පුරුද්දක්. ගෙදරට කඩෙන් බඩුවක් ඔතාගෙන ආපු පත්තර කොලයක් වුණත් ඇය අත්හරින්නේ නැතිව කියවනවා. ඉතින් ඒ පත්තර කොලයක කුමන හෝ ළමා කවියක් තිබුණොත් ඇය එය මට තාලයක් සමඟ පාඩම් කරවනවා. ඒ වගේම පෙර පාසලේදී ඒ කවිය හැම දෙනාම ඉදිරියට ගිහින් ගායනා කරන්නේ අම්මාගේ ඇවිටිල්ල නිසාමයි. ගමේ දහම් පාසලේ ළමා සමිතියේදීත් ඒ ආකාරයෙන් මං සමිතිය ඉදිරියට ඇවිත් කවි කතා කීවා. ඉතින් ඒ ඉදිරිපත් කිරීම් වෙනුවෙන් අම්මා මාව නිතරම දිරිමත් කළා. අද මං රටක් හඳුනන ප්‍රසන්ටර් කෙනෙක් වෙන්නත් එදා අම්මාගෙන් ලැබුණු ඒ පන්නරය වැදගත් වුණා කීවොත් නිවැරදියි.”

” ඒ වගේම ඉගෙන ගන්න ගියාමත් අම්මා මට පෙර ඒ පාඩම ඉගෙන ගන්නවා. ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙනුත් අම්මා මට බොහෝ පාඩම් කියා දුන්නා. පාසලේදී පන්තියේදී ගුරුවරු ඉගැන්වුවත් අම්මාගේ ඉගැන්වීම් ශිෂ්‍යත්වය සමත් වන්නට මට විශාල රුකුලක් වුණා. ඉතින් අම්මා කියන්නේ අපේ ජයග්‍රහණ දෙස බලා සතුටු වූ කෙනෙක්. අපේ ජයග්‍රහණ වෙනුවෙන් වුවමනාවෙන්ම කටයුතු කළ අම්මා නිතරම අපට නිවැරදි මාවත පෙන්වා දුන්නා”.

මවු තුරුලේ වැඩෙන කිරි කැටි දරුවාගේ කිරි සුවඳ මවු සිතක නොමැකී පවතින්නේ අමරණීය මතකයක් ලෙසය. ඒ කිරි සුවඳ ලැබෙන්නේ අම්මාගේම සෙනෙහස නිසා වැගිරෙන ක්ෂීරය නිසා නොවේද? ඉදින් කිරිකැටි සමයේ දරුවකුගේ මතක සැමරුම් ළඟ තබාගෙන අදටත් සහසක් මවුවරු ආස්වාදයක් ලබති. මවක‌ගේ දාරක ස්නේහයේ තරම ඒ සා විසල් බව කිව යුතුමය. මේ චමින්ද ගුණරත්න කියන එවන් කතාවකි.

“මං පුංචි කාලේ නාවපු බේසම, පුංචි කාලේ ඇඳපු ඇඳුම් දෙක තුනක් අදටත් ඉතිරිව තිබෙනවා. ඒ සියල්ල අම්මාගේ ආදරය නිසාම පරිස්සම් කළ මතක සටහන් යැයි කිව යුතුයි. ඒ වගේම මට අවුරුදු පහළොවක් වෙද්දී අපේ තාත්තා නැති වුණා. එය අපේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් කීවත් වැරදි නෑ. ඉන්පස්සේ අම්මා අපව වෙනදාටත් වඩා ප්‍රවේසම් කළා. එදා ඉඳන් අම්මාට තාත්තාගේ වගකීම් සම්භාරය පවා අප වෙනුවෙන් ඉටු කරන්නට සිදු වුණා. ඇය එය නොපිරිහෙළා ඉටු කළා. ‌අපේ අම්මා බොහෝ දේවල් උපේක්ෂාවෙන් දරාගෙන අපට ඒ දුක සහ පීඩනය නොපෙන්වා සිය වගකීම් මැනවින් ඉටු කළ දිරිය මවක්.”

මහා විශාල වෘක්ෂ හැදී වැඩෙන්නේද තවත් විසල් වෘක්ෂයන්ගේ සෙවණ ලබමිනි. අද සුවිසල්ව වැජඹෙන විසල් රුක් එදා අතු පැළයක්ව සුළං පහරට හසු වෙද්දී පැද්දෙන්නට හෝ නොදී ආරක්ෂා කළේ විසල් මහ වෘක්ෂයෝය. මවුපියෝ දරුවන්ට විසල් වෘක්ෂයෝ මෙන් සෙවණ ලබා දෙති. අවවාද උපදෙස් දෙති. ඒවා පිළිගන්නට එකල මැළිවන දරුවන් එම අවවාදවල වටිනාකම් තේරුම් ගන්නේ වැඩිවියට පත් වූ පසුවය. එහෙත් චමින්ද ගුණරත්න මවකගේ අවවාද උපදේශ නිසි වයසේදීම වටහා ගන්නට තරම් වාසනාවන්ත වූවෙකි.

“කාටවත් කරදයක් නැතිව ජීවත් වන්න යැයි අම්මා නිතරම මට අවවාද කළ සැටි මට මතකයි. අපි හැමෝගෙම ජීවිත එක වගේ නොවන බවත් විවිධ හැල හැප්පීම්වලට ජීවිතයේ මුහුණ දිය යුතු බවත් ඒවාට මුහුණ දීමට හයිය තිබිය යුතු බවත් අම්මා නිතරම අපට කියා දී තිබෙනවා. ඒ වගේම කිසිම දෙයකින් අධෛර්යවත් වන්නට එපා අධෛර්යවත් වුණත් නැවත නැඟී සිටිමින් ඉදිරියට ගමන් කරන්නට මහන්සි විය යුතු යැයි ඇය අපව නිතරම දිරිමත් කළා. අම්මාගේ මේ උපදේශ අදටත් මගේ ජයග්‍රහණ වෙනුවෙන් ඉවහල් වී ඇති බව කිව යුතුයි.”

ළමා අවදියේදීම දරුවන් බිරිය හැර පියා මෙලොවින් සමුගනිද්දී මහා මේරු පර්වතය තරම් දුක් ගිනි උසුලමින් සිය දරු දෙදෙනා රැකගත් මවක් ලෙස දරුවන්ගේ ප්‍රශ්න හමුවේ සිය මවුතොමෝ තමන්ට ශක්තියක් වූ සැටි චමින්ද ගුණරත්න විස්තර කළේ මෙයාකාරයෙනි.

“විවාහයෙන් පස්සෙත් මගේ දුක්ගන්න රාල වුණේ අපේ අම්මා. ජීවිතයේ සාමාන්‍ය ස්වභාවය මෙය යැයි පවසමින් ඇය නිතරම මගේ ජීවිතයට ශක්තියක් වුණා. ජීවිතයේ මොන ප්‍රශ්නෙ ආවත් අම්මාට පැවසීම මගේ පුරුද්දක්. ඉතින් ඒ හැම ප්‍රශ්නයක්ම උපේක්ෂාවෙන් දරා ගන්නට ශක්තියක් වුණේ අපේ අම්මා.”

පුංචි කාලයේ පටන් මවගේ ආදරය සෙනෙහස මැද වැඩෙන පුතෙක් විවාහයෙන් පසුව තවත් මවකගේ හැසිරීම සිය බිරියගෙන් දකියි. කුඩා කල තමන් වෙනුවෙන් මවක් කරන කැප කිරීම් කොතරම්දැයි ඔහු සියැසින්ම අවබෝධ කර ගන්නේ මේ කාලයේදීය. මේ චමින්ද ගුණරත්න සිය බිරිය මවක් ලෙස දකින අයුරු විස්තර කළ ආකාරයයි.

“මගේ බිරිය ඉනෝකා කුලතුංග. අපට දැන් දරුවන් තිදෙනක් සිටිනවා. ඉතින් දරුවන් දෙදෙනක් හැදූ වැඩූ මගේ අම්මාව මම ඇයගෙන් දකිනවා. ඇය දරුවන්ට පහනක් වෙමින් ආලෝකය ලබා දෙනවා. දරුවන් ඉපදෙන විට අම්මා කෙනෙක් ලෙස ඇය කළ දරාගැනීම මම මගේ ඇස් දෙකෙන් දැක්කා. ගැහැනියක් ලෙස ඒ දරා ගැනීම හරිම පුදුමාකාරයි. දරුවාට කුමන හෝ අසනීපයක් වුණොත් ඔවුන්ගේ අම්මා ලෙස ඇය කරන කැප කිරීම හරිම විස්මිතයි. ඒවා අම්මා කෙනෙක්ටම සුවිශේෂී වූ ලක්ෂණ යැයි කීවොත් නිවැරදියි. නිතරම දරුවන්ගේ ප්‍රශ්න හමුවේ ඇය ඒ ප්‍රශ්න උපේක්ෂාවෙන් දරා ගනිමින් විසඳුම් ලබා දෙන ආකාරය මා දකිනවා. ඇය ඒ තැන්වලදී බුද්ධිමත්ව කටයුතු කරනවා. ඇතැම් දවස්වල මං උදේ රස්සාවට යද්දී දරුවන් නිදි. ආයෙමත් ගෙදරට එන විටත් දරුවෝ නිදි. ඉතින් ඒ හැම වෙලාවකම ඇය දරුවන් වෙනුවෙන් විශාල වගකීම් සම්භාරයක් ඉටු කරනවා.”

චමින්ද ගුණරත්න පසුගියදා වසරේ හොඳම ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ බව ද අපට සැල විය. සැබැවින්ම ඔහු වෘත්තිය දිවියේ සාර්ථකත්වයට පත් වූ දිරිය මිනිසෙකි. ඒ සාර්ථකත්වය පිටුපස සෙවණැල්ලක් මෙන් රැඳී සිටින සිය බිරිය ගැන ඔහු පළ කළේ මෙවන් අදහසකි.

“මගේ දරුවන් බලාගෙන, මගේ ඕනෑඑපාකම් ඉටු කරමින් මා සමඟ ජීවත් වීම ගැන මා ඇයට ස්තුතිවන්ත වෙනවා. රැකියා ජීවිතයේ කාර්යබහුලත්වය සමඟ මට රැකියාවේ ඉදිරියට ගමන් කරන්නට එය විශාල පන්නරයක්. ජීවිතයේ හැම දෙයක්ම සුමටව ගලා ගෙන යන්නේ නෑ. ඒත් හැම ප්‍රශ්නයක්ම දරා‌ගෙන ඇය මගේ සාර්ථකත්වයට රුකුලක් වෙනවා කීවොත් නිවැරදියි.”

බතක් ඉදෙනතුරු ඇති වන පවුලේ අඩදබර කෙටි කලකින් නිවී යන්නේ දෙන්නා අතර ඇති අන්‍යෝන්‍ය අවබෝධය නිසා බව කිව යුතුය. පවුල් ජීවිතයේ මොනයම් ප්‍රශ්න තිබුණද ඒවා විසඳා ගනිමින් පවුල් ජීවිතය සාර්ථකව ගෙවන ආකාරය ගැන චමින්ද ගුණරත්න පැවසුවේ මෙවන් කතාවකි.

“අපේ අම්මා නිතරම කීවේ විවාහයෙන් පස්සේ තමන්ගේ බිරියව පරිස්සම් කර ගන්නා ලෙසයි. මං අපේ අම්මාගේ ඒ අවවාදය තරයේ සිතට ගෙන කටයුතු කරනවා. අපේ ජීවිතයේත් ප්‍රශ්න, මතගැටුම් ඇති වන තැන් නැතිවා නොවේ. මොන ප්‍රශ්නයක් ආවත් අපට සුළු මොහොතකට වඩා තරහ වෙලා ඉන්න බෑ. සුළු මොහොතකින් අප ප්‍රශ්නය ගැන සුහදව කතාබස් කර එය විසඳා ගන්නවා. ඉතින් සාකච්ඡා කිරීම හැර පවුල් ජීවිතයක් සාර්ථක කර ගැනීමට වෙනත් විසඳුමක් නෑ කියා මා විශ්වාස කරනවා.”

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?