මේ ලෝකයේ සිදුවන දේවල් සිතා ගන්න බහැ. සිතන දේ සිදුවන්නේ නැහැ. නොසිතූ මොහොතක අපට විශාල සතුටුදායක ආරංචි ලැබෙනවා. තවත් නොසිතූ මොහොතක හදවත කම්පා කරවන ශෝකජනක ආරංචි ලැබෙනවා. අප මවුබිමට මේ මොහොතේ එළඹී ඇත්තේ එවැනිම ඉතාමත් කටුකආරංචි ලැබෙන සමයක්.
බුදුන් දේශනා කරන ලද පරිදි ප්‍රියයන්ගෙන් වෙන්වී සිටීම දුකකි. වේදනාවකි. මේ මොහොතේ අප රටෙහි ජනතාවගෙන් ඇතැමුන්ට තමා ජීවිතයේ වැඩි වශයෙන්ම ආදරය කරන ලද මව අහිමි වී තිබෙනවා. ඇතැමුන්ට තම ලෝකයේ වීරයා අහිමි වී තිබෙනවා. තම දෙනෙත් මෙන් සුරැකි දරුවන් මවුපියන්ට අහිමි වී තිබෙනවා. ඔව්. ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක්. නමුත් මේ මොහොතේ අප බුද්ධිමත් ලෙස කටයුතු කළ යුතුයි. ඔබෙන් වෙන් නොවූ ඔබේ ප්‍රියයන් ආරක්ෂා කිරීමට දැන් අවස්ථාව එළඹී තිබෙනවා.
ආපදා තත්ත්වය හමුවේ වැඩිහිටියන්ගේ සහ දරුවන්ගේ මානසික මට්ටම
ඇති වූ ව්‍යසන තත්ත්වය හේතුවෙන් මිනිසුන්ගේ දේපළ, හිත මිත්‍රාදීන් අහිමි වීම නිසාවෙන් ලොකු කුඩා සියලුම දෙනා ඉතාමත් කම්පන තත්ත්වයකින් පසු වන බව නොරහසකි. ඔවුන් අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවයකට මුහුණ දී තිබේ. කුඩා දරුවන් තම සාමාන්‍ය දින චර්යාවෙන් මිදී ජීවත් වන්නේ ඉතාමත් අසීරුවෙනි. ඕනෑම ව්‍යසන තත්ත්වයකදී පුද්ගලයින් විවිධ මානසික ප්‍රතිචාර දක්වයි. බිය වීම, දුක් වීම, කලබල වීම්, නිරන්තරයෙන් ව්‍යසන තත්ත්වය සිහිපත් වීම් එවැනි මානසික ප්‍රතිචාර වේ. එයින් නින්දේ අපහසුතා වැනි තත්ත්වයන් ඇති වේ. මේවා සාමාන්‍ය ආතති ප්‍රතිචාර ලෙස මනෝවිද්‍යාව තුළ හඳුන්වයි. එනම්; ලොකු කුඩා සියල්ලන්ගේම මෙම මහා ව්‍යසනය හමුවේ මානසික සුවය ගිලිහී ගොස් ඇති බව සඳහන් කළ යුතුය.
මවුපියන්ගේ බිඳවැටුණූ මානසික තත්ත්වය හමුවේ දරුවන්ගේ ආරක්ෂාව
මවුපියන්ගේ මානසික මට්ටම මේ මොහොතේ ඔවුන්ට පැවරී ඇති අසීමිත වගකීම්, ඔවුන්ගේ අහිමිවීම් හමුවේ ඉතාමත් දුර්වල තත්ත්වයක පවතියි.එමෙන්ම බොහෝ විට ආපදා කඳවුරුවල ඉතා සීමිත විවෘත ඉඩ ප්‍රමාණයක බොහෝ පිරිසක් ජීවත් වේ. එමෙන්ම දරුවා නොහඳුනන විවිධ පුද්ගලයින් සමඟ සමීප වීමට උත්සහා දරයි.
මේ හේතුවෙන් ඇතැම්විට දරුවා නොදැනුවත්වම තමාගේ අධීක්ෂණයෙන් ගිලිහී යාමට අවකාශය නිර්මාණය වේ. එවැනි පරිසරයක් තුළ ඔබේ දරුවා ළමා අපචාරයකට ගොදුරු වීමට අවකාශයක් නිර්මාණය වේ.
මවුපියන් දැනුවත් විය යුතුයි
මවුපියනි; ඔබට ඔබගේ දේපළ හා සමීපතමයන් අහිමි වූ බව සත්‍යයකි. නමුත් ඒ පිළිබඳ කනස්සලු වෙමින් සිටීමේදී ඔබේ දරුවා ඔබෙන් ගිලිහීමට අවස්ථාව නිර්මාණය වේ. එයින් ඔබේ වටිනාම සම්පතත් ඔබට අහිමි විය හැකිය. ඔබට ලැබෙන ආධාර හා දීමනා මඟින් ඔබට ඔබේ ජීවිතය නැවත ගොඩනඟා ගත හැකිය. නමුත් මෙම මොහොතේ ඔබේ වටිනාම සම්පත අනතුරේ වැටුණහොත් ඔබට නැවතත් කිසිදිනක ඒ වටිනාම සම්පත ගොඩනඟා ගත නොහැකිය. එමනිසා පෙරටත් වඩා වැඩියෙන් තමාගේ දරුවන් පිළිබඳ මනා අධීක්ෂණයකින් පසුවන්න. ඔවුන්ගේ සුළු හෝ වෙනස්කමක් (කතා නොකර සිටීම, නිරන්තරයෙන් බියෙන් පසු වීම,තැති ගැනීම) ඇත්නම් ඒ පිළිබඳ අවධානය යොමු කරන්න. දරුවන් සෑම විටම (ආධාර ලබා ගන්නා අවස්ථාවල, ස්නාන අවස්ථාවල, නින්දේදී)තනි නොකිරීමට වගබලා ගන්න. එමෙන්ම වයස් සීමාවන්ට සුදුසු පරිදි ඔබේ දරුවාට ස්වයං ආරක්ෂාව සපයා ගන්නා ආකාරය උගන්වන්න. අනවශ්‍ය යමක් සිදු වුවහොත් වහාම මවුපියන් දැනුවත් කිරීමට ඔවුන් දිරිමත් කරන්න.
සුරක්ෂිත මධ්‍යස්ථාන තුළ ළමා ආරක්ෂණය සහතික කිරීම සඳහා සිදු කළ හැකි දේ
රාත්‍රී කාලයේ නිදන ස්ථානවලට මනා ආලෝකයක් ලබා දීම, දරුවන්ට තම මවුපියන් සමඟ නිදාගැනීමට පහසුකම් සකස් කිරීම, දරුවන් අන්‍යයන් සමඟ නිදි නොකරවීම, නොහඳුනන කිසිඳු පුද්ගලයකුට ආපදා කඳවුරුවලට ඇතුළු වීමට අවසර ලබා නොදීම, දැඩි නිරීක්ෂණයකින් පසු වීම, දරුවා හුදෙකලා නොකිරීම.
ඔබේ දරුවා ආරක්ෂා කර ගැනීමේ වගකීම ඔබ උරමත පැවරී තිබේ. ඒ පිළිබඳ සුළුවෙන් නොතැකීමට කාරුණික වන්න. එමෙන්ම මෙවැනි ව්‍යසන තත්ත්වයක් හමුවේ ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික වැඩපිළිවෙළක් දියත් කිරීම ද ඉතාමත් වැදගත් වන බව සිහිගැන්වීමට කැමැත්තෙමි. එමෙන්ම දරුවාටම වෙන්වූ ළමා ආරක්ෂණ ප්‍රදේශ නිර්මාණය කළ හැකිය. සුදුසු පාසල් ක්‍රියාකාරකම්වල නිරත වීමට වැඩසටහන් සංවිධානය කිරීම, ඔවුන්ගේ සාමාන්‍ය දින චර්යාවන් එලෙසින් පවත්වාගෙන යාමට උපකාර කිරීම, කණ්ඩායම් ක්‍රියාකාරකම්වලට යොමු කිරීම ද මෙවැනි අවස්ථාවක ඉතාමත් අගනා වැඩසටහන් වේ.
TEXT – ටිරුණි ඉමායා වීරසිංහ
