කාලගු ණ විපත්වලදී පැතිර යන අතීසාරය, සමේ රෝග සහ උණ සමනය කරගන්නට ගෙමිදුලෙන් සොයාගත හැකි පහසු විසඳුමක්…
මේ දිනවල අප රට පුරා බලපවත්නා අයහපත් කාලගුණ තත්ත්වය (තද වැසි, ගංවතුර, නායයෑම්) හේතුවෙන් බොහෝ ප්‍රදේශ අවතැන් වී ඇත. මෙවැනි විපත්තිදායක අවස්ථාවන්හිදී, පිරිසුදු පානීය ජලය හිඟ වීම සහ අපිරිසුදු පරිසරයට නිරාවරණය වීම නිසා රෝග ගණනාවක් පැතිර යෑමේ අවදානමක් පවතියි. ජලයෙන් බෝවන අතීසාරය (පාචනය), සමේ ආසාදන, සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ ඉන් ප්‍රධාන වේ.
වැල්පෙනෙල යනු පඳුරු ලෙස, වැල් ලෙස බිම දිගේ පැතිරී යන ශාකයකි. එහි පුංචි සුදු මල් සහ බැලූන් ආකාරයේ පොත්තක් තුළ ඇති කුඩා ඇට සහිත ගෙඩි දැකිය හැකිය. ගම්බදව මෙන්ම ඇතැම් නාගරික ප්‍රදේශවල ද මෙය පහසුවෙන් සොයාගත හැකිය. ආයුර්වේදයට අනුව මෙහි වේදනා නාශක, ප්‍රති-ආසාදන සහ විෂබීජ නාශක ගුණ පවතියි.
වැල්පෙනෙල භාවිත කරන ආකාරය
1. දරුණු අතීසාරය (පාචනය) සහ උදර රෝග සඳහා ආරක්ෂාව
ගංවතුරෙන් අපවිත්‍ර වූ ජලය පානය කිරීමෙන් හෝ භාවිත කිරීමෙන් ඇතිවන ප්‍රධානම රෝගී තත්ත්වය වන්නේ අතීසාරයයි.
භාවිතය: වැල්පෙනෙල කොළ මිටක් හොඳින් සෝදා පිරිසුදු වතුර කෝප්ප දෙකක් සමඟ තම්බා, එය වතුර කෝප්පයක් පමණ වන විට එය පෙරා ගන්න. දිනකට දෙතුන් වරක් මෙම තැම්බූ වතුර පානය කිරීමෙන් අතීසාරය පාලනය කර ගත හැකිය.
2.සමේ රෝග, කැසීම් සහ ආසාදන සඳහා සහනය
අපවිත්‍ර ජලයේ නිරන්තරයෙන් ගැටීම නිසා සමේ ඇතිවන බිබිළි, කැසීම් සහ දිලීර ආසාදන වැළැක්වීමට හා සමනය කිරීමට.
භාවිතය: වැල්පෙනෙල කොළ කොටා සාදාගත් යුෂ හෝ තලපය, කැසීම ඇති ස්ථානවල සහ ආසාදනය වූ සම මත ආලේප කරන්න. එය සම සිසිල් කරමින් ක්ෂණික සහනයක් ලබා දෙයි.
3. උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ ඇඟපත වේදනාවට
අවතැන්වීමේදී සීතලට නිරාවරණය වීමෙන් ඇතිවන උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ ඇඟපත වේදනාව සමනය කරගැනීමට
භාවිතය: වැල්පෙනෙල මුල් සහ කොළ කොටස් ටිකක් ගෙන, එය හොඳින් තම්බාගත් වතුරෙන් ඇඟ සේදීම (ඖෂධීය නානය) මඟින් සිරුරේ වේදනාව සමනය වී, උණ තත්ත්වයෙන් සහනයක් ලැබේ. එසේම මෙම තැම්බූ වතුරේ වාෂ්පය ඇල්ලීමෙන් සෙම්ප්‍රතිශ්‍යාවට සහනයක් ලබාගත හැකිය.
වැල්පෙනෙල කැඳ: හොඳින් සෝදා ගත් වැල්පෙනෙල කොළ සිහින්ව කපා ගන්න. සිහින්ව ගාගත් පොල් ටිකක් ගෙන වැල්පෙනෙල කොළ ටික සමඟ එකට දමා බ්ලෙන්ඩර් කරගන්න. ඉන්පසුව එම යුෂ ටික මිරිකා ලබාගන්න. කැකුළු සහල් මිටක් ගෙන එය පිස ගන්න. එයට වැල්පෙනෙල අඹරා ගත් යුෂ එක්කර හොඳින් උණු කරගන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණු දමා පානයට ගන්න.
වැල් පෙනෙල සම්බෝල : හොඳින් සුද්ද කරගත් වැල්පෙනෙල සිහින්ව කපා ගන්න. ඉන්පසුව එයට රතුලූනු ගෙඩි කිහිපයක්, අමු මිරිස්, තක්කාලි කපා එක් කරගන්න. ඉන්පසුව සිහින්ව ගාගන්නා ලද පොල් එක් කරගන්න. ලුණු දමා හොඳින් දෙහි යුෂ ටිකක් එක් කරමින් මිශ්‍ර කර ගන්න. ඉන්පසු ආහාරයට එක් කර ගන්න.
මෙවැනි ස්වාභාවික ව්‍යසනයන්ගෙන් අනතුරුව දරුණු ලෙස වසංගත පැතිරීම බහුලවේ. එම වසංගත තත්ත්වයන් සමනය කරවා ගනිමින් මිනිසාගේ නීරෝගිකම රැක ගැනීමට පැරැණ්ණන්් ද අනුගමනය කළ අත් බෙහෙතක් ලෙසින් වැල්පෙනෙල භාවිත කිරීම සිදු කර ඇත. එනිසාවෙන් වැල්පෙනෙල අපගේ කෑම වේලට සසහ පාවිච්චියට ගනිමු. මෙම ව්‍යාසන අවස්ථාවේදී නීරෝගිව සිටීමට සිතට ගනිමු.
ස්ත්‍රීන් සහ පුරුෂයින්ගේ කායික දුබලතාවය සහ බෙලහීනතාවය, ධාතු ශක්ති වර්ධනය කර ගැනීමට, මෙම ශාකයේ පස් පංගුවම කැඳ වශයෙන් හෝ පානය කළ හැක. තවද පුරුෂයින්ගේ ආණ්ඩ වෘද්ධි සහ හර්නියා වැනි රෝග අවස්ථාවන්හි පෙනෙල ගහේ පස් පංගුවට වතුර පත අටක් දමා, එකට සිඳවා, දින හතක් එක දිගට ගැනීමෙන් එම රෝග තත්ත්වයන් මග හරවා ගතහැක.
TEXT – තරුෂි පතිරණ
