Monday, December 22, 2025
Epaper
Home ගෘහ අලංකරණයනිවෙස හැඩ කරන වෝල් හැන්ගර්

නිවෙස හැඩ කරන වෝල් හැන්ගර්

by Shanaka Lakehouse

දින දසුනේ ඉගිළී ගිය පිටු අතරින් නැවතත් එළැඹෙනුයේ අලුත් බලාපොරොත්තු පිරුණු නැවුම් වසරකි. වසරත් සමඟින් අලුත් වන සෑම දෙයක් සමඟම ඔබේ නි‍ෙවසට ද අලුත් පෙනුමක් එකතු කරන්න හැකි නම් එය කොතරම් අපූරුද? ඔබේ අතින්ම ඉතා පහසුවෙන් සකසා ගත හැකි පයිප් ක්ලීනර් වෝල් හැන්ගර් (pipe cleaner wall hanging) එකක් නි‍ෙවසේදීම සකසා ගත හැකි අයුරුයි මේ. මෙමඟින් නි‍ෙවසට නව පෙනුමක් මෙන්ම අලුත් ආදායම් මාර්ගයක් ලෙසට ද දියුණු කරගත හැකිය.

පයිප් ක්ලීනර් වෝල් හැන්ගර් (pipe cleaner wall hanging) එක සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය

පයිප් ක්ලීනර් (pipe cleaner) (කහ, කොළ, දුඹුරු)

ග්ලූගන්

ග්ලූ ස්ටික්

මාකර් පෙන් එකක්

කාඩ්බෝඩ්, ලී හෝ ප්ලාස්ටික් රවුම් දෙකක්. (ප්‍රමාණ දෙකකින්)

 

නිර්මාණය කිරීම

1. මුලින්ම කාඩ්බෝඩ්, ලී හෝ ප්ලාස්ටික් රවුම් දෙක දුඹුරු පාට පයිප් ක්ලීනර්වලින් සම්පූර්ණයෙන්ම ඔතා ගන්න. මෙම රවුම් ලොකු සහ පොඩි ලෙස ප්‍රමාණ දෙකකින් යුක්ත විය යුතුය. පසුව එය ලොකු රවුම මත කුඩා රවුම එක මත එක සිටින සේ තබා අලවා ගන්න.

2. කහ පාට පයිප් ක්ලීනර් දෙකක් ගෙන ඒ දෙක එකට එකතුකර මල සාදා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට සරිලන මිනුමක් සහිත උපකරණයක් (මාර්කර් පෙන් එකක්) එය එක ළඟ සර්පිලාකාර ලෙස ඔතා ගන්න.

3. පසුව එය පෑනෙන් ඉවතට ගෙන එහි කෙළවරයන් දෙක ගෙන ගැටයක් දමා ගන්න. එක් කෙළවරක් ගෙන සර්පිලාකාර රවුම ඇතුළෙන් දමා අනිත් පැත්තෙන් ගෙන නැවතත් කෙළවරයන් දෙක හොඳින් අඹරවාගන්න.

4. එය කවාකාර ලෙස නමා ගනිමින් මලේ පෙති හැඩය සහිතව සකසා ගත යුතුය.

5. පසුව දුඹුරු පාට පයිප් ක්ලීනර් කැබැල්ලක් ගෙන එය රවුමට නවා ගනිමින් මලේ මැද කොටස සකසා ගත යුතුය.

6. මෙලෙස අප මල් තිහක් සාදා ගත යුතුය.

7. පසුව රවුම් දෙක එක මත එක තබා අලවා ගත් සැකිල්ල වැනි කොටස ගෙන කොළපාට පයිප් ක්ලීනර් තුනක් ගෙන ලොකු රවුම මත සමාන්තරව අලවා ගන්න. එයට දකුණතින් සහ වම්පසින් කුඩා රවුමට අනෙක් කොළ පාට පයිප් ක්ලීන් කැබලි දෙකද තබා නටු ලෙස අලවා ගන්න.

8. පසුව එම අලවා ගත් නටුවලට ඔබට කැමැති ආකාරයට සාදාගත් පයිප් ක්ලීන‍ර් මල් අලවා ගත යුතුය. තිහ සමාන වන ලෙසට තුනට බෙදී යන අයුරින් නටුවට අලවා ගන්න.

9. එලෙස සකසා ගත් පයිප් ක්ලීනර් වොල් හැන්ගර් (pipe cleaner wall hanging) එක බිත්තියේ එල්ලීම සඳහා ද පයිප් ක්ලීනර් දුඹුරු පාට කොටස් කැබැල්ලක් රවුම පිටුපස කොටසට අලවා ගන්න.

මෙම බිත්ති සැරසිල්ල ඔබගේ නි‍ෙවස, කාර්යාලය, වෙ‍ෙළඳසල අලංකාරවත් වනවාට අමතරව අලුත් අවුරුද්දට තෑගි වශයෙන් මෙන්ම උපන් දින ත්‍යාගයක් ලෙසද ලබා දීමට හැකියාව ඇත.

මෙම නිර්මාණය ඉතාමත් කෙටි වේලාවකින් කරගත හැකියි. එසේම තමාට කැමැති වර්ණ සහ හැඩතල යොදා ගන්නත් පුළුවන්. මෙය මානසික සුවතාව සඳහා මෙන්ම අමතර ආදායම් මාර්ගයක් සකසා ගැනීමට ද කදිම අදහසක් වේවි.

TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?